UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම නුවණින් මෙනෙහි කරන්න

දහම නුවණින් මෙනෙහි කරන්න

ලෝකවාසීන් දුක හටගන්නා හැටි නොදන්නා නිසා ඇහැට පෙනෙන රූප තුළින් සැප සොයා යනවා. කනට ඇසෙන ශබ්ද තුළින් සැප සොයනවා. දිවට ගන්නා කෑම බීම වලින් සැප සොයනවා. නාසයට දැනෙන ගන්ධයන් තුළින් සැප සොයනවා. ශරීරයට දැනෙන ස්පර්ශයන් තුළිනුත් එලෙසයි.

බුදුරජාණන් වහන්සේ අද ජිවමාන ව වැඩ නොසිටිය ද, ධර්ම විනය දෙක පවතී. ගිහි පැවිදි දෙපිරිස ම ඊට ගරු කළ යුතු ය. වර්තමානයේ යමෙකු ධර්ම විනය දෙකට අගෞරවය කරන මොහොතක් පාසා බුදුරදුන්ට අගෞරව කළා වෙනවා. වර්තමානයේ ඇතැම් පැවිදි අය උතුම් ධර්ම විනයෙන් ඈත් වන බව දක්නට ලැබෙනවා. මේ අකුසල් ගති වර්ධනය වී යෑමෙන් අනාගතයේ යම් දවසක සිවුරත්, පාත්‍රයත් අතුරු දහන්වී බෙල්ලේ කහපාට නූලක් පමණක් ගැටගසා ගත් කාසාව කණ්ඨකයන් බිහිවිය හැකියි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයන් වත්මන් සමාජය විසින් බලවත් විකෘති කිරීම් වලට ලක්කර ඇති බව ඇසීමට හා දැකීමට ලැබේ. ධර්මයට වැරැදි අර්ථ කථනයන් දෙනු ලැබේ. ප්‍රාතිමෝක්ෂශීලයට අදාළ විනය කරුණුවලටත් තම හිතූ මනාපයට අනුව අර්ථයන් දෙයි. මේ වැරැදි කරන්නේ ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ ලොවේ වැඩ ඉන්නවාය කියන කාරණය ගැන අවබෝධයක් නැති ගිහි පැවිදි ඇත්තන් ය.

උපසම්පදා භික්ෂූන් වන අප මේ උතුම් ශීලයේ අර්ථය ජීවිතයට එකතු කර ගැනීමට දැඩි උත්සාහයක් ගන්න පිරිසක් බවට පත්විය යුතු ය. ශීලයක් නැතිනම් සමාධිය නූපදී. ප්‍රඥාව පහළ නොවේ. ඒ උතුම් අරමුණු කෙරෙහි අපේ සිහිය ගිලිහී යන මොහොතක් පාසා ධර්ම විනය දෙකට අගෞරවයක් අපහාසයක් වන්නට පුළුවනි.

ඔබ නගරයේ වීදිවල ගමන් කරන විට දැක ඇති ඉතා දිළිඳු, දුගී ජීවිත ගත කරන අය. එමෙන් අතපය තුවාල වූ, අතපය කපා දැමූ, කටුක දුක් විඳින අය. ඔවුන් මේ තත්ත්වයට පත්වූයේ අතීතයේ කළ අකුසල්වල විපාකයන් වශයෙන් ම ය. කර්මය කර්මඵලයේ විශ්වාසයෙන් බැහැර ව ලෝකය ගමන් කරන විට මිනිසා මිත්‍යා දෘෂ්ටික භාවයේ ගොදුරක් බවට පත් වේ. ඔවුහු උතුම් ධර්මය අත්හැර මිසදිටු බව ගනී. බලන්න මාරධර්මවල හැටි. හරිම දරුණුයි. මාරයාගේ ධර්මය අධර්මයයි.

ලෝකයා දුක හටගන්නා හැටි නොදන්නා නිසා ඇහැට පෙනෙන රූප තුළින් සැප සොයා යනවා. කනට ඇසෙන ශබ්ද තුළින් සැප සොයනවා. දිවට ගන්නා කෑම බීම වලින් සැප සොයනවා. නාසයට දැනෙන ගන්ධයන් තුළින් සැප සොයනවා. ශරීරයට දැනෙන ස්පර්ශයන් තුළිනුත් එලෙසයි. ඔබදෙන දානයක් නිසා මතු භවයේ සැප ලැබෙනු ඇත. නමුත් එහි අවසානය දුකක්ම යි. මතුභවයේ මේ මේ සැප සම්පත් ලැබේවායි බලාපොරොත්තුවෙන් දෙන දානය අයිති වන්නේ අවිද්‍යාවටමයි. කිසි තෘෂ්ණාවක්, ඇල්මක්, බලාපොරොත්තුවක්, නැතිව දෙන දානයන්මයි. අවිද්‍යාව නැතිවීමට හේතු වන්නේ. ඔබ ආහාර පාන මිල මුදල් දන් දෙන විට ඒවා තුළ ඔබේ හිත තුළ තිබූ තෘෂ්ණාව ද අතහැරිය යුතු ය.

පංචකාමයට බැඳී යනවා ය කියන්නේ දුකට බැඳෙනවා කියන එකයි. ඇසෙන් දකින රූපය අතහරින්න. කනට ලැබෙන ශබ්දය අතහරින්න. දිවට දැනෙන රසය බැහැර කරන්න. නාසයට එන ගඳ සුවඳ අත හරින්න. ශරීරයට දැනෙන ස්පර්ශය මෙනෙහි නොකරන්න. මෙසේ කිරීම තමයි නියම මිදීම. එයයි නියම නිදහස. මේ අරමුණුවලට ඇලුණු නිසා මේ ජීවිතය මැරෙනවා කියල දකින්න කැමති නෑ. මරණය කියන්නේ මගේ ය කියල අල්ලාගෙන සිටි සියල්ල අතහැර දැමීමට සිදුවන අවස්ථාවක්. මේ අවස්ථාවේ දී ඔබ සීලයෙන් සම්පූර්ණ නැත්නම් අකුසල් සිත්මයි පහළ වන්නේ. භික්ෂුවක් නිතර ම සමාධිමත් සිතින්මයි ඉන්න ඕනෑ. ඒ සමාධිමත් සිතටයි සැබෑ විවේකය ලැබෙන්නේ. බුදුරදුන්ට මල් පූජා කිරීමේ දී උන්වහන්සේගේ රූප කය නොව උන්වහන්සේගේ ධර්මකය ම දකින්න. ඔබ මල්වල සුවඳට බැඳුණොත් ඒ බැඳෙන්නේ භවයටමයි. මල් සියල්ල පරවී යන අනිත්‍යතාවය ම දකින්න. එයයි නියම ධර්මය.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ පාවා නම් නුවර වැඩ වාසය කළ සේක. එකල්හි නිගණ්ඨනාත පුත්ත පාවා නුවර දී මිය ගියේ ය. ඉක්බිති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භික්ෂූන්ට මෙසේ කීහ. ‘නිගණ්ඨනාත පුත්ත මීට ටික දිනකට පෙර පාවා නුවර දී කාලක්‍රියා කළේ ය.නිගණ්ඨයෝ කොටස් දෙකකට බෙදී ගියහ. ඔවුනොවුන් විරුද්ධ ව වාද කෙරේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලදී. එය නිවන් පිණිස ම පවත්නේ ය. මේ ශාසන බ්‍රහ්ම චර්යය බොහෝ කල් පවත්නේ ද, චිරස්ථිතිය වන්නේ ද, ඒ සඳහා ධර්මය සියල්ලන් විසින් එක්ව කිවයුතු ය. විවාද නොකට යුතුයි. එය බොහෝ දෙවි මිනිසුන්ට යහපත පිණිස වන්නේ ය. කවර ධර්මයක් ද? සියලු සත්වයෝ ආහාර නිසා පවත්නාහු ය. නාමය හා රූපය, නාමස්කන්ධ හතර, නිර්වාණය ගැන අවබෝධය. භව තෘෂ්ණාව භව දෘෂ්ටිය, හා විභව දෘෂ්ටිය. නිත්‍ය වූ ආත්මයක් ඇතැයි ගැනීම, භික්ෂූන්ගේ ඇවතට පැමිණීම දැන ගැනීම, ඇවතින් නැගී සිටීම සමාපත්තීන්හි දක්ෂ බව, සමාපත්තියෙන් නැගී සිටීම, පටිච්ච සමුප්පාදයේ දක්ෂබව, ඉවසීම, කයින් වචනයෙන් පව් නොකිරීම, ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇති බව, භෝජනයේ පමණ දැන වැළඳීම, භාවනා බලය, සති බලය, සමාධි බලය, සමථ හා විදර්ශනා ඥානය, ඒ හා බැඳුණු වීර්යය ද කුසල ධර්මයන් හි කැමති බව ද ආර්ය මාර්ග ඥානය හා ආර්යඵල ඥානය ද වේ.”

මේ දේශනාව අනුව ශාසනයේ චිරස්ථිතිය පිණිස, බොහෝ කාලයක් පැවතීම පිණිස භික්ෂු සංඝයාගේ සමගිය අත්‍යවශ්‍ය ය. එබැවින් සංඝයා භේද බින්න නොවී සමගියෙන් සමාදානයෙන් වාසය කෙරෙත්වා.

කම්ම දායාදෝ කම්ම බන්ධු කම්ම පටිසරණ යනුවෙන් වදාළ පරිදිම පෙර භවයන්හි දී තිබූ සහජ හැකියාවන්, දස්කම්, උපතත් සමග පැමිණේ. සමහරු උපතින් ම, ඥානවන්ත ය. කෙනෙකුට යමක් එක් වරක් කියා දුන් විගස මතක හිටී. මෙරට පමණක් නොව පිටරටවල පවා මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයකු වූ ආචාර්ය කුලසිංහ මහතා තමාගේ හැකියාවන් ගැන කළ ප්‍රකාශය අපගේ සැලකිල්ලට යොමුවිය යුතු ය.

විශාඛා ව, බිම්බිසාර රජු සෝවාන් ඵලයට පත්වන්නේ ශ්‍රවණය කළ දහම ගැන නුවණින් මෙනෙහි කිරීමෙනි. ඒ අයට බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර, තිබුණේ ය. අපට අද එය නැත. බුදුන් වහන්සේගේ අප්‍රමාණ බුදු ගුණ අපේ සිත් තුළ ඇති කර ගැනීමෙන් ඒ අඩුව සම්පූර්ණ කර ගැනීමට පුළුවන.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 02 වනදා අඟහරුවාදා පූර්ව භාග 04.10 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 02 වනදා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 08 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]