UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිම් නැති ගුණ ඇති අම්මා -03 : මට හැමදාමත් නිවන් දකින තුරු  පිහිට ඔබයි අම්මා - පාතේගම ඤාණිස්සර හිමි

මට හැමදාමත් නිවන් දකින තුරු  පිහිට ඔබයි අම්මා - පාතේගම ඤාණිස්සර හිමි

"අප්‍රමාණ දරු සෙනෙහස හදවත පුරවාගෙන දරුවන්ගේ ලෝකය ආලෝකමත් කරන්නට ඇය අපමණ වෙහෙස දරන්නී ය. “අම්මා” වදනින් ඈ ගුණ කෙසේ නම් කියා නිම කරන්න ද? අම්මා තරම් වටිනා කෙනෙක් දරුවෙකුට මේ මිහිපිට තවත් වේද? සංසාරය පුරා ඇයගේ ම සෙවණ ලැබ සෙනෙහස විඳින්නට පතන්නේ ද එහෙයින් ය. මේ ඝෝර සසර මග නිවීම සොයා යන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකගේ පැතුම ද එයම ය. "

හිත සනසාලන බුදු ගුණ ගීයක
මිහිර පෙරා දුන් අම්මා
මට හැමදාමත් නිවන් දකින තුරු
පිහිට ඔබයි අම්මා

ගී පද අතරට මව් ගුණ කැටි කොට පාතේගම ඤාණිස්සර හිමියෝ ඒ ප්‍රාර්ථනාව ම කරති.

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පළමු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරයෙන් පිදුම් ලත් උන්වහන්සේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ විද්‍යාර්ථින්ට දැනුම දෙති. ධර්ම සාහිත්‍ය,සිංහල විචාර, පරිවර්තන කාව්‍ය, පර්යේෂණ ආදී විවිධ විෂයයන් අළලා උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ බොහෝ ය. ඒ අතරින් 2016 වසරේ දී ලියූ බුදුසමය සහ අපරාධ විද්‍යාව පර්යේෂණ ග්‍රන්ථයට රාජ්‍ය සම්මාන ද හිමි විය. මව්ගුණ ගී ද ඇතුළු ව අපමණ බුදු ගුණ කැටිකර පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යමින් උන්වහන්සේ විසින් රචිත ගීත බොහෝ ය. මේසා වෙසෙස් සේවයක් කරන්නට ලද ධෛර්යය පසුපස රැඳෙන්නී අප හිමිපාණන්ගේ මව්තුමිය යි. එතුමිය වැලිගම පිටිදූව සුසිලාවතී ජයසේකර මාතාව යි. මේ පාතේගම ඤාණිස්සර හිමියන් අම්මා ගැන කී කතාව ය.

ලෝකයේ ඉන්න අම්මලා අතරින් හොඳම අම්මා මට ලැබිලා තිබෙනවා ය කියලයි මට හිතෙන්නේ. සංසාරයේ යන ගමන් මගේ හොඳම අම්ම ගේ කුසෙහි තමයි මම ඉපදුණේ. දැනුම් තේරුම් ඇති වයසෙ ඉඳලා වර්තමානය වන තුරු ම අම්මගේ හැසිරීම්, හැඟීම්, සමාජයේ යම් යම් සිදුවීම් ගැන අම්මා දකින ආකල්පය, ආගම දහමට දක්වන සැලකිල්ල, අනෙක් අයට දක්වන ගෞරවය ගැන සිහිපත් කරනවිට මට එහෙම හිතෙනවා.

කිසියම් දරුවෙක් මව් කුස පිළිසිඳ ගන්නේ ඒ දරුවාගේත්. මවගේත් පෙර සංසාරේ කර්ම බැඳීම නිසා .එය පුණ්‍ය කර්ම බැඳීමක් වෙන්නත් පුළුවන්. පාප කර්ම බැඳීමක් වෙන්නත් පුළුවන්. මව්පියන් දරුවන් අතර සමහර විරසකකම්, හොඳ සම්බන්ධකම් ගොඩ නැඟෙන්නේ කර්මය නිසා. සමහර මව්වරු දරුවන් අතහැර යනවා. ද්වේශ සහගතව දරුවන්ට සලකනවා. කර්ම ශක්තිය නිසයි එහෙම පිළිසිඳගැනීම් ඇති වන්නේ. බුදුරජාණන් වහන්සේ විතරයි ඒ ධර්මතාවය උගන්වන්නේ. වෙන කිසිම ආගමක එවැනි ඉගැන්වීමක් නෑ. මම උපන්නෙත් ඒ ධර්මතාවය අනුව කියලා මට හිතෙනවා. එය සංසාර ගත බැඳීමක්. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්තේ කර්මය නිසා නොවෙයි. උන්වහන්සේ ගේ සංසාර ගමන එතැනින් අවසානයි. නිර්වාණාවබෝධය කරන්නට යන ගමනේ සමාජ සම්මතය හැටියට හොඳ අම්මා කෙනෙකුගේ කුසින් ඉපදෙන්නට ඕනෑ. බෝසතාණන් වහන්සේගේ කාර්ය භාරය හැටියට සමාජ සම්මත කුලය, කාලය, දීපය, දේශය,අම්මගේ සමාජ තත්ත්වය බලනවා. ඒ කාලේ සමාජයේ විදිහ එයයි. ජීවක වෛද්‍යවරයාගේ අම්මා සමාජය නොපිළිගත් වෘත්තියක නියැළුණ කාන්තාවක්. බෝසතාණන් වහන්සේගේ අම්මා ඒ වගේ තත්ත්වයට පත් වුණා නම්, බෝසතාණන් වහන්සේ ගේ ධර්මය කොපමණ වටිනාකමක් තිබුණත් සමාජය පිළිගන්න උනන්දු වෙන්නේ නෑ. ඒ නිසා බෝසතාණන් වහන්සේට පස්මහ බැලුම් බලන්නට සිදුවුණා. ඒ තුළ තිබෙන්නේ බෝසතාණන් වහන්සේගේ චින්තනය නොවෙයි. උන්වහන්සේ තුළ කුලමල භේද නෑ. මිනිසා කරන කියන දේ තමයි වැදගත්. ඒත් බෝසතාණන් වහන්සේට තමන්ගේ කාර්ය භාරය සඵල කරගන්න සමාජ සම්මතය දෙස බලන්නට සිදුවුණා.

සාමාන්‍ය මිනිසෙකුට, අන්ත දුගී පවුලක ඉපදිලා ඉහළට ම යන්න පුළුවන්. ඒ වගේ ම ඉහළම තැනක ඉඳලා දුරාචාර නිසා පහළම තැනකට වැටෙන්න පුළුවන්. ඒ අයගේ කර්ම ගමන හුඟක් ඈතයි. සමාජයට එය විශේෂයක් වන්නේ නෑ. සාමාන්‍ය කෙනෙකුට අම්මා උරුම වන්නේ කර්ම ශක්තියටයි. බුදු දහම අනුව උරුම කරුම ලෙස මගේ අම්මා මටම හිමි වෙන්න ඇති කියලා මට හිතෙනවා.

සිංහල සමාජ සංස්කෘතියට අනුව තාත්තගේත් අම්මගේත් සම කාර්ය වුණාට යම් දරු පවුලක් ඉහළට ගියා නම් එහි ලකුණු ලැබෙන්නේ අම්මට. විනාශ වුණා නම්, අවමානයත් අම්මට. අපේ පවුල ඉදිරියට ආවේ අම්මගේ ධෛර්යය, වීර්යය නිසයි. පවුලේ දරුවෝ සතර දෙනෙක් හදාගෙන, ඒ අයට උගන්වාගෙන නිසි මග යවන්න අපේ අම්මා අපමණ දායකත්වයක් ලබා දුන්නා. දරුවන්ට උගන්වන අතරේ ම ආගමික පරිසරයට යොමු කළා. ආගමික පරිසරය තුළ අධ්‍යාපනික පරිසරය හැදුවා. ඒ තත්ත්වය ගොඩනඟා ගත්තෙ පොත පතට සිර කරලා නොවෙයි. අප ඒ කටයුතු නිදහසේ කරගෙන ගියා. අම්මා අවධානයෙන් සිටියා.

මම අද මේ වගේ තැනක ඉන්නේ අම්මා නිසයි. පුංචි කාලේ ඉඳන් මේ දක්වා ආ ගමන තුළ අම්මාගේ කැප කිරීමත් , ධෛර්යත් තිබෙනවා. සමාජයෙන් මට ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙස ගෞරවය ලැබෙනවා. සාහිත්‍යයට සේවය කරනවා කියලා ගෞරව කරනවා. අගය කරනවා. ඇත්තටම ඒ ගෞරවය හිමි වෙන්න ඕනැ මට නොවෙයි. මගේ අම්මාට. මම යම් සමාජ මෙහෙවරක් කරනවා සමාජයට පෙනෙනවා නම්, නොපෙනෙන තැන ඉන්නේ මගේ අම්මා. ඒ නිසා මම අම්මට ණය ගැතියි.

සමාජ සංස්කෘතික සලකණු අනුව අම්මා මට වැන්දත්, හැඟීම් බර වෙලාවට තවමත් මට කියන්නේ ‘රත්තරන් පුතේ’ කියලා. හාමුදුරුවනේ කියලත් කියනවා. රූපවාහිනී වැඩසටහනක මම ධර්ම දේශනාවක් කළත්, කුමක් හෝ වැඩ සටහනකට සහභාගි වුණත් අම්මා එය ආශාවෙන් බලනවා. ගම් පළාතේ මගේ ධර්ම දේශනාවක් තිබුණොත් පැත්තකින් වාඩිවෙලා අහගෙන ඉන්නවා, තනිවම. මේ මගේ පුතා කියලා කාටවත් කියන්නේ නෑ.

මම අම්ම බලන්න මාසයකට වරක් දෙවරක් ගෙදර යනවා. පැවිදි වුණා කියලා අම්මා මොනවා හරි කීවාම ඒ වචන ඉක්මවා යන්නෙ නෑ. හරි වුණත්, වැරැදි වුණත් අම්ම කියන එකතමයි හරි කියන මතයට එනවා.

මගේ අම්මා, සමාජ සේවයට ලැදි කෙනෙක්. සමිති සමාගම්වල කටයුතු කරනවා. අම්මට තියෙන්නේ ඍජු ගතිගුණ. විවෘතව කතා කරනවා. අවංකයි. මා තුළ තිබෙන්නේත් අම්මගේ ගතිගුණ කියලා මට හිතෙනවා.

තමන්ගේ දරුවන්ට වගේම කොයි දරුවටත් මගේ අම්මා හරිම ආදරෙයි. අපට හානියක්, කරදරයක් වුණත්, වෙන දරුවකෙªට කරදරයක් වුණත් අම්මට දැනෙන්නේ එකම විදිහට. පවුලෙ හැම දරුවටම එක වගේ සෙනෙහස ද දෙනවා. මා මහණවෙලා ඉන්න නිසා, විශේෂයක් තිබෙනවා කියලා මට දැනෙනවා.

මම පැවිදි වුණේ පාසලේ හත වසරේ දී. ඒ කාලයේ දැනුම් තේරුම් නැති නිසා සමහර වෙලාවට උපැවිදි වෙන්න හිතුණා. පන්සලේ ඉන්න බෑ කියන කොට, ඉන්න බැරිනම් ගෙදර එන්න කියලා අම්මා කිව්වා. ඒත් මම උපැවදි වුණොත් අම්මගේ හිතට හරි නැතිවෙයි කියලා හිතුණා. අද මම උතුම් මහණ දම් පුරන්නේ අම්මා නිසයි.

සමහර වෙලාවට අම්මා කියනවා ඉඩකඩම් ලියා ගන්න කියලා. ඒ යම් දවසක මට කිසිවක් නැතිවෙයි කියන අදහසින්. ඒත් එහෙම වෙන්නේ නෑ. මම උතුම් චීවරය දරාගෙන ඉන්නේ කැමැත්තෙන්, අවබෝධයෙන්. ඒක මටත් පිනක්. අම්මටත් පිනක්.

මගේ අම්මාට දැන් වයස අවුරුදු හැත්තෑ අටක්. ඒත් අම්ම අපට වඩා නිරෝගි යි. මට මතකයි පුංචි කාලේ අම්මා අපට බණ කතා කියලා දෙනවා. බුදුන් වඳින කොට ලස්සනට ගාථා කියනවා. කට පාඩමින් බොහෝ වේලාවක් ගාථා කියන හැටි දැක්කාම අපට පුදුමයි. අදත් අම්මා හැම පෝයටම සිල් සමාදන් වෙනවා. පින්කම්, භාවනා කරනවා. මම පුරුද්දක් විදිහට පෝය දවසට අම්ම බලන්න ගෙදර යන්නේ නෑ. මම ගියොත් අම්ම සිල්ගන්න යන්නේ නෑ. මම ඒකට කැමැති නෑ.

මට හිතෙන්නේ මට උරුම අම්මා ම තමයි මේ ලැබී තිබෙන්නේ. සංසාරගත බැඳීම් නිසාමයි අම්මා මට ම ලැබුණේ. මගේ ජීවිතය ගොඩනඟන්න අම්මා ලොකු කැප කිරීමක් කළ කෙනෙක්. අම්මා, මගේ අම්මා වීම ගැන මම සතුටු වෙනවා. අපගේ අරමුණු හැටියට මේ සංසාර ගමනේදී තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවන් දකිනතුරු මගේ අම්මා නිතර නිතර හමුවෙන්න, ඒ බැඳීම තිබෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]