UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: නිවැරැදි සතුට ගෙනෙයි සුවසෙත

නිවැරැදි සතුට ගෙනෙයි සුවසෙත

අද්‍යතනයේ වුව ද,සමාජය සතුටු වන ආකාර දෙවර්ගයකි. එකක් නම්, තමන් විසින් ම කැපවීමෙන් ඤාණයෙන් , මිල මුදලකින් හෝ වෙනත් උසස් ආකාරයෙන් ක්‍රියාකොට යමක් වැය කොට සමාජය ට හා අනුන්ට කරදරයක් වේදනාවක් දුකක් නොදී පිහිටක් යහපතක් සිදුකොට ඇතිකරගන්නා සතුටයි.

දෙවැන්න නම්, මිනිසෙකුට හෝ සතෙකුට වේදනාවක්, හිංසාවක්, පීඩාවක් සිදුකොට , එසේත් නැත්නම් අනුන්ට අයත් යමක් ගැනීමෙන් හෝ කපටිකමෙන් රවටා ප්‍රයෝග මගින් තාවකාලික සතුටට පත්වීමයි. වර්තමාන සමාජයේ වැඩි පිරිසක් පළමුව කී ආකාරයෙන් සතුට ලබති. සමාජයට කරදරයක් නොවෙති. අන්‍යයන්ට උපකාර කරති. තමාගේ දෙය පරිත්‍යාග කොට හෝ සිත සතුටු කරගනිති. ඔවුනට පසුතැවිල්ලක් සිත් වේදනාවක් හෝ භයානක රෝගපීඩාදියක් සිදු නොවේ. අතීතයේ දී මිත්‍යා දෘෂ්ටියෙන් උද්දාමයට පත්වී කිසිම ප්‍රයෝජනයක් නොමැති ව නොපෙනෙන දෙයක් යදිමින් පූජා පැවැත්වූහ. ඉතිරි වූයේ අහස පොළොව නුහුලන වේදනාවක් පමණි. අවබෝධයෙන් තොර ව මෝඩකමෙන් ඉහවහාගිය මිත්‍යා දෘෂ්ටිකයෝ අදත් සිටිති.

තමාට නොපෙනෙන බලවේග පසුපස යමින් යාගය යන වචනය නොයොදා සිය ගණන් සතුන් හා කිලෝ ගණන් ධන ධාන්‍ය ගින්නට බාර කරති. ඔවුනට ඉතිරිවන්නේ භය, සන්ත්‍රාසය හා කෲර විපාක පමණක් නොවේද? ඇතැම් ප්‍රදේශවල, රටවල දිනකට සතුන් සිය දහස් ගණන් මරා මුදල් වෙනුවෙන් ,එසේ ම තාවකාලික සැපය වෙනුවෙන් අනුනට විකුණති. එමගින් අඹුදරුවන් පෝෂණය කරති. එක්තරා දිනක මගධ රටේ වැඩවසන බුදුරජාණන් වහන්සේ තමන් අතින් මෙල්ල වන කූඨදන්ත නම්, බ්‍රාහ්මණයෙක් පෙනුණි. උන්වහන්සේ එරට කානුමත නම් ,බමුණු ගමට පන්සියයක් භික්ෂූන් වහන්සේලා සමඟ වැඩ අඹගසක් යට වැඩහුන් සේක. එදින කුඨදන්ත වටේ විශාල පිරිසක් ද සිටියහ. එළුවන්, ගවයන් ආදී සිවුපාවුන් ද , ලිහිණියන් ආදී පක්ෂීන් විශාල වශයෙන් අල්වාගෙන ගිය හෙයින් හත්සියයක් බැගින් තෝරාගෙන මරා මහත් ගින්නක් ඇති කොට ඊට බහාලමින්, යාගයක් කරන්නට පටන් ගත්හ. මේ අතර කානුමත ගමේ සිටින සමහර පිරිස් මෙහි ඇති දුඟද හා අපවිත්‍රකම් දැනගෙන ඊට විරෝධය දක්වා අසල අඹ උයනේ අඹ ගසක් මුල වැඩ සිටි අසීමිත කරුණාවන්ත වූ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ප්‍රසාදයට පත්ව බෞද්ධයෝ වූහ. කූඨදන්ත ගේ දෙවොල ළඟින් බුදුරජාණන් වහන්සේ හමුවීමට යන බොහෝ ජනකාය දුටු කූඨ දන්ත, ඒ පිළිබඳ තොරතුරු අසා තමා ද බුදුන් හමුවීමට යාමට තීරණය කරගත්තේ ය. කූඨ දන්තගේ බිලි පූජාවට සිවු දෙසින් පැමිණි මිත්‍යා දෘෂ්ටික සිය දහස් ගණන් පිරිවර මේ සිද්ධිය දැන බ්‍රාහ්මණයා වෙත ගොස් මෙසේ අයැ ද සිටිය හ. බමුණන් ට ඉමහත් සෙතක් සළසන බ්‍රාහ්මණ තුමනි, ඔබ වහන්සේ ඉතා බලවත් ය. දෙවියන්ගේ ළඟින් ම සිටින සේක. මහජනයා හෙවත් යාග කරන්නන් දෙවියන් වෙත පමුණුවන සේක.

එ පමණ කීර්තිමත් වූ, අපමණ තේජාන්විත වූ ඔබ වහන්සේ අඹ උයනේ සිටින බුදුරජාණන් වහන්සේ වෙත නො වඩින ලෙසත් බැගෑපත් වූහ. එසේ ගියහොත් වයසින්, කීර්තියෙන් පිරිහෙන බවත්, එපමණක් නොව ගැත්තන් වූ අප ද දුකක ට පත්වන බවත්, කී ය. ඔබතුමා ඉතා වැඩිහිටිය හ. තේජාන්විත ය. උසස් ය. වැඩි මහල් ය.ගෞතමයන්ට වඩා කීර්තියෙන් සුපතළ ය. කරුණාකර එසේ නොයන්න. යැයි යළි යළිත් ආයාචනා කළහ. දිනකට ඔබතුමා ළඟට එන බමුණු ආදී සේනාව බොහෝ ය. බුදුරදුන් වෙත ගියොත් ඒ සියල්ල අතුරුදන් වන බවත්, අවශ්‍ය නම්, බුදුන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ඒවි යැයි ද , වැඩි දුරටත් සඳහන් කළහ. මේ සියල්ලටම ඇහුම්කම් දුන් කූඨදන්ත බුදුන් වහන්සේගේ ගුණය කියන්නට පටන් ගත්තේ ය.

අසූ දහසක් පුරවැසියන් අතහැර සිවුගණන් දිග මහා ධන නිධාන අතහැර තරුණ කාලයේ දී ම පැවිදි දිවියට පත් විය.දැන් එම උතුමා මහබඹු සේ දිළිසෙන්නේ ය. ප්‍රසාද ජනක ය. සෑම අයුරකින් ම සිල්වත් වේ. ඔහුගේ ධර්මයට සවන්දීමෙන් සුවාසූ දහසක් දෙවි මිනිස්සු මඟඵල ලබා ගනිති. වචන ඉතා මිහිරි ය. මුලමැද අග මනාසේ පැහැදිලි කරන්නෙහි ය. සැරියුත් මුගලන් මහකසුප් ආදී ප්‍රබලයෝ පිරිවරට එති. තමන්හට විරුද්ධ අය කෙරෙහි බුදුරජාණන් වහන්සේ අවිරුද්ධ වේ. නොදත් අය ප්‍රශ්න විසඳා ගැනීමට පැමිණෙති. බුදුරදුන්ගේ සිරිපතුල් ආදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් ඔබනේ ය. පළමුව ් ඕනෑම අයෙකු හමු වී සුව දුක් විමසති. කනට මිහිරි දේ කියති. මුහුණ පියුමකි. බණ ඇසීමට එන සැමට යක්ෂයෝ පවා ආශිර්වාද කරති. එසේ ලොව පතළ ය. රටේ වැදගත් රාජ ඇමතියන් පමණක් නොව සමඟිය සෝනදණ්ඩ ආදී බමුණෝ ද බණ අසා පැහැදුණ අනුගාමිකයෝ ද වෙති. කුඨදන්තයන් විසින් සඳහන් කළ ඉහත දැක් වූ බුදුගුණවලින් කොටසක් අමාවතුර කතුවරයා ද පාඨකයන්ගේ ප්‍රසාදය ඇතිවන ආකාරයෙන් දීර්ඝ ලෙස දක්වා ඇත.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]