UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැම හිත සුව පිණිස ‘සාහිත’ සත් වසර

සැම හිත සුව පිණිස ‘සාහිත’ සත් වසර

සිරිලක ප්‍රථම මැදි විදුහලෙන් උසස් ලෙස උසස් පෙළ (ලකුණු 298) සමත් වී කොළඹ සරසවියේ නීති පීඨයට නොගොස් ශාස්ත්‍ර පීඨයට ඇතුළු වී එහි ශාස්ත්‍රවේදී (ගෞරව) සිංහල විශේෂවේදී පාඨමාලාවේ විශිෂ්ට සම්මාන (ඒ) උපාධි නිබන්ධනයට හිමිකම් කියූ ඔහු ‘බුදුසරණ’ පුවත්පතින් ලේඛන කලාවට අත්පොත් තැබුවෙකි. මේ සරසවි සිසුවා, පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සමඟ සාකච්ඡා කොට රටක් වටින පොතක් (මාගේ දේශය අවදි කරන හඬ) ලියා එයින් ලද කර්තෘභාග මුදලින් පුස්තකාලයක් හදා සෝම හිමියන්ගේ ම සුරතින් සිය උපන් (මතුගම බෝපිටියේ) ගම් වැසියන්ගේ නැණ පහන් දල්වාලී ය.

ඉනික්බිති ව අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන් සමඟ සාකච්ඡා කොට ‘බුදුසරණ’ පුවත්පතට ලියූ ලිපි ඇසුරෙන් සම්පාදිත ‘විස්මිත විශ්වය සිසාරා’ සහ ‘සක්වළ සක්මන’ පොත් පෙළ මඟින් ලද මුදලින් මුඩුබිමක් පුදබිමක් බවට පත් කරනු ලැබිණ. ඒ සිව් දිගින් වඩින සාධු දනන් උදෙසා පස්යොදුන් රට තම්ඹරැට්ටිය දලුග්ගල කන්දේ අභිනවයෙන් ඉදිකළ ‘චිත්ත විවේකාශ්‍රමය. අද එහි සියයකට අධික පිරිසක් මාසික සීලසමාදානයට සහභාගී වන අතර නුගේගොඩ උත්පලවන්නා මෙහෙණිය ඇතුළු දසසිල් මෑණිවරු දසනමක් පමණ නේවාසික ව භාවනායෝගී ව වැඩවෙසෙති. මෙහි නිර්මාතෘවරයාණන් වන ඔහු ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා ය.

එයින් මතු රාග, ද්වේෂ, මෝහ වඩවන, පුහුදුන් උමතු මනසින් ගොතන සිහින ප්‍රබන්ද වෙනුවට සුවාසූ දහසක් උතුම් ශ්‍රී සද් ධර්මය කැටි වූ බුද්ධ භාෂිත සමාජය තුළ බෙහෙවින් ප්‍රචලිත කරනුවස් සැම හිත සුව පිණිස ‘සාහිත පොත් පියස’ සහ එම ප්‍රකාශන ජාලය ද චාමික මුණසිංහ විසින් ආරම්භ කරනු ලැබී ය. අද එය මුල් අල්ලා දළුලා වැඩී මල් ඵල දරා සුගන්ධවත් වනස්පතියක් ලෙස හුදී ජනයනට සදහම් සිසිල පතුරාලයි.

මෙවර 2018 සාහිත්‍ය මාසය නිමිත්තෙන් මෙම ‘සාහිත පොත් පියස’ මගින් නවතම දහම් පොත් දහයක් සහ සංශෝධිත නැවත මුද්‍රිත කෘති අනූවක් ඇතුළු දම් පොත් සියය (100) ක් එළිදක්වා තිබීම අපගේ සතුටට හේතුවේ. ‘බුදුන් දවස දහම් කථා, නිවන් මග උදම් වැකි, කඨිනය දසපින හා අපායෙන් මිදෙන මග, භාවනා අප්‍රකට ලිපි, භාවනා කමටහන්, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමියන්ගේ සුපසන් ජීවිතය සහ සෝම හිමි නම් දිව්‍ය පුත්‍රයා’ එම අභිනව කෘති අතර වේ.

සාහිත ප්‍රකාශන අතර අප ලියූ ‘ගිහිගෙදරට බුදු බණ 1, 2 “ සහ “කර්මය පලදෙන හැටි 1, 2, 3,4 පොත් පෙළට ද නොම ද පාඨක ආකර්ශනයක් හිමි ව තිබේ. එමෙන් ම අප කල්‍යාණ මිත්‍ර, ප්‍රවීණ පුවත්පත් කලාවේදී සීසර් සුදුසිංහ මහතා විසින් අභිධජ මහා රට්ටගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමඟ සාකච්ඡා කොට ලියනු ලැබූ ‘අවසන් සාකච්ඡා’ ග්‍රන්ථය ද මේ සියවසේ පළ වූ අමරණීය ම කෘති අතරට එක්වනු නො අනුමාන ය. මීට අමතර ව, ශාස්ත්‍රපති පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් සමඟ සාකච්ඡා කොට රමණී සුබසිංහ ප්‍රවීණ මාධ්‍යවේදිනිය සම්පාදනය කළ ‘මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 1, 2, 3” සහ තාරක වික්‍රමසේකර සම්පාදිත ‘නිවැරැදි වත්පිළිවෙත්’, ප්‍රායෝගික බුදුදහම යනාදී කෘති ද උසස් පාඨක සම්භාවනාවට පාත්‍රවනු වටියි. තව ද පිටිගල ධම්මවිනීත, ගල්කිස්සේ සෝමානන්ද, මහරැඹෑවැවේ පාලිත සහ පොල්ගහවෙල මිතභාණී ආදි ධර්මධර යතිවරුන්ගේ ප්‍රථම ග්‍රන්ථාවලෝකනයන් පාඨක ලෝකයාට දායාද කිරීමේ ගෞරවය ද ‘සාහිත පොත් පියස’ ට හිමි වේ. එමෙන් ම සාහිත පියස බෞද්ධ කතුවර පරපුරක් බිහිකිරීමට ද පුරෝගාමී වී තිබේ. ඒ හරහා හලලියේ කරුණාතිලක, අසංක ආටිගල, ඉන්දු පෙරේරා, නෝමන් සිරිපාල හා තිලක කුඩාහෙට්ටි ආදී ලේඛක ලේඛිකාවන්ගේ බොහෝ පොත පත ‘සාහිත පොත් පියසින්’ එළිදක්වා ඇත. වෙසෙසින් අපගේ අවධානයට ලක්විය යුතු විශ්ව බෞද්ධ පරිවර්තන කෘති කිහිපයක් ද මෙමගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර අජාන් චා හිමියන්ගේ ‘නිර්වාණ දේශනා’ ‘භාවනා මාර්ගය හා නිර්වාණාවබෝධය’, අජාන් මහබූවා ඤාණසම්පන්නෝ තෙරුන්ගේ ‘අමරණීය ධර්මය’, ‘සතිය සහ භාවනාව‘ වනවාසී තායි රහතන් වහන්සේලාගේ ‘භාවනා අත්දැකීම්’ ‘සිතේ විස්මිත හාස්කම්’ සහ ‘කායිව් රහත් තෙරණිය’ ආදී විශිෂ්ට කෘති අපගේ මතකයට නැගෙයි. මෙම සත් වසරක ‘සාහිත’ සද් මෙහෙවරට සද් සිතින් අපි තුති පුදමු.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]