UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවත්වීම සඳහා ආහාර ගන්නවා ද? ආහාර සඳහා ජීවත් වනවා ද?

ජීවත්වීම සඳහා ආහාර ගන්නවා ද?

ආහාර සඳහා ජීවත් වනවා ද?

" ලෝකය මුහුණ දී සිටින මෙම බරපතළ අර්බුදයන්ට එකම විසඳුම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආහාර ප්‍රතිපත්තියයි. උන්වහන්සේ අවධාරණය කොට වදාළේ ආහාර ගත යුතු ජීවිතයේ පැවැත්ම සඳහා ම මිස ජීවත් විය යුතු වන්නේ ආහාර ගැනීම සඳහා නොවන බවයි. ජීවත් විය යුතු තමන්ගේත්, අනුන්ගේත් යහපත පිණිස ය. ආත්මාර්ථය ද, පරාර්ථය ද ධර්මානුකූලව පවත්වාගෙන යාම සඳහා ය. එම ආකල්පයෙන් කටයුතු කරන විට ආහාර පිළිබඳ ව අධික තෘෂ්ණාවක්, බැඳීමක් ඇති වන්නේ නැත."

මිනිසා ජීවත් වන්නේ ආහාර ගැනීම සඳහා ද? ආහාර ගන්නේ ජීවත් වීම සඳහා ද, මේ, බුද්ධිමතුන්ගේ අවධානයට යොමු විය යුතු වැදගත් වූ ද, කාලීන වූ ද ප්‍රශ්නයකි.

වර්තමාන ලෝකයේ දැඩි අර්බුදයකට ලක්ව ඇති ආර්ථික ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න සියල්ලටම පාදක වන්නේ මෙකී ආහාර පිළිබඳ ප්‍රශ්නයයි. විශේෂයෙන් ජීවත් වන්නේ කෑම සඳහාය’ යන ආකල්පයෙහි වැඩි පිරිසක් කටයුතු කිරීම තුළ නිර්මාණය වූ ප්‍රශ්නයකි. මේ වන විට ලෝකයේ බිලියන හයකට වැඩි ජනගහණයක් සිටිති. සම්පත් සීමිත යැයි කීවාට ලෝකයේ තිබෙන ඒ සම්පත් ප්‍රමාණය මේ ජනගහණය පහසුවෙන් පවත්වාගෙන යාම සඳහා හොඳටම ප්‍රමාණවත් ය. සම්පත් මදි යැයි කියන්නේ පෙර කී මිත්‍යාකල්පය කරපින්නාගත් වැඩි පිරිසක් ඒ ලෙස ම කටයුතු කරන්නට යාම නිසා ය. ඒ අනුව එක් පිරිසක් විශාල සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳින අතර, තවත් විශාල ප්‍රමාණයක් ඉතා අවම ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගනිති. තවත් පිරිසක් කුසට නිසි ආහාරයක් හෝ නොලැබෙන තරමට දරිද්‍රතාවයෙන් පෙළෙති.

ලෝකය මුහුණ දී සිටින මෙම බරපතළ අර්බුදයන්ට එකම විසඳුම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආහාර ප්‍රතිපත්තියයි. උන්වහන්සේ අවධාරණය කොට වදාළේ ආහාර ගත යුතු ජීවිතයේ පැවැත්ම සඳහා ම මිස ජීවත් විය යුතු වන්නේ ආහාර ගැනීම සඳහා නොවන බවයි. ජීවත් විය යුතු තමන්ගේත්, අනුන්ගේත් යහපත පිණිස ය. ආත්මාර්ථය ද, පරාර්ථය ද ධර්මානුකූලව පවත්වාගෙන යාම සඳහා ය. එම ආකල්පයෙන් කටයුතු කරන විට ආහාර පිළිබඳ ව අධික තෘෂ්ණාවක්, බැඳීමක් ඇති වන්නේ නැත. එවිට අනවශ්‍ය ලෙස ආහාර පරිභෝජනයක් සිදු වන්නේ ද නැත.

බුද්ධාවවාදය නම්, ප්‍රත්‍යවේක්ෂා කොට ආහාර ගත යුතු බව ය. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ සිහි කල්පනාව උපදවා ගෙන ආහාර ගැනීම ය. මෙහි සිහි කල්පනාව උපදවා ගන්නවා කියන්නේ

“යාවදේව ඉමස්ස කායස්ස ඨිථියා යාපනාය’

‘මේ ශරීරයේ පැවැත්ම සඳහා මම ආහාර ගනිමි’ කියන අදහසයි. එසේ නොමැතිව රසයට ගිජු වී, රස තෘෂ්ණාව සන්තර්පණය කිරීම සඳහා නොවේ. ශරීර වර්ණය සහ ශෝභාව ඇතිකර ගැනීම සඳහා ද නොවේ. සමාජ තත්ත්වය පෙන්වීම සඳහා ද නොවේ. ආහාර ගත යුතු ශරීරයේ සෞඛ්‍ය සම්පන්න පැවැත්ම සඳහා පමණි.

මෙහි දී පැහැදිලි කරගත යුතු දෙයක් තිබේ. එනම්, මැනවින්. සිහි කල්පනාව ඇතිව ආහාර ගන්නා ක්‍රමය යන්න “වැළඳීම” යන වචනයෙන් ගම්‍ය වන බව ය. ‘කනවා’ කියන වචනයෙන් ගම්‍ය වන්නේ සාමාන්‍යයෙන් බුද්ධියෙන් තොරව ආහාර ගැනීම ය. සත්තුද කෑම කති. ඒ වගේ ම නූගත් මනුෂ්‍යයා කරන්නේ ද කෑම ය. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ‘කන්න එපා. වළඳන්න’ යනුවෙනි. වළඳන පුද්ගලයා එනම්, සිහියෙන්. බුද්ධියෙන් ආහාර ගන්නා පුද්ගලයා

‘ආහාර මත්තඤ්ඤුතා’ ආහාරයේ පමණ දනී, ස්වභාවය දනී. මෙහි දී පමණ දැනීම ඉතා වැදගත් ය.

“ඉධච්ඡා පරමා රෝගා’ මනුෂ්‍යයා පෙළෙන බරපතළ ම රෝගය කුසගින්න බව සම්බුද්ධ දේශනාවේ සඳහන් වේ. එම රෝගයට ඖෂධය නම් ආහාරය යි.ඒ අනුව ආහාර කියන්නේ බෙහෙතක් මිස වෙන කිසිවක් නොවේ.

බෙහෙත යනු ලෙඩට ගන්නා ප්‍රතිකාරයයි. ලෙඩට ගන්නා ප්‍රතිකාරයට ප්‍රමාණයක්, වේලාවක් තිබේ. ආහාර ගත යුතු ද මේ විදියට ය. අපේ ආහාරයට වේලාවක් ද, ප්‍රමාණයක් ද තිබේ. සමහරු සිතුණ වේලාවට පමණ ඉක්මවා ආහාර ගනිති. කුමක් සඳහා ද?. රස නහර පිනවීම ම පරමාර්ථය කර ගනිමිනි. ඊළඟට තෝරමින් ආහාර ගනිති. තවත් කෙනෙක් සමාජ තත්ත්වය පෙන්වීමට ආහාර ගනිති. කවර අරමුණක් මුල් වූ වද මේ සියල්ලෙහි අවසානය බරපතළ ය..

අද ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් දියවැඩියාව, රුධිරයේ අධික තෙල් තැන්පත් වීම ආදි රෝගාබාධයන්ට ගොදුරුව සිටින්නේ දිවට රස සොයමින් බොහෝවිට සීනි සහ තෙල් භාවිතයෙහි කෑදර වීම නිසා ය. එහෙත් ප්‍රත්‍යවේක්ෂා කරගෙන ආහාර ගන්නා විට මේ ආහාරය මට සුදුසු ද? ගුණද? අගුණ ද? ප්‍රමාණවත් ද? නොවේ ද? යන්න පිළිබඳ සිතයි. ආහාරය ගැන පමණක් නොවේ. වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ගැන ද සිතයි. එවිට සෞඛ්‍ය සේ ම ආර්ථිකය ද එක්තරා ප්‍රමාණයකට සුරක්ෂිත ය.

රසයට මුල්තැන දුන්න ද අද බොහෝවිට රස – වස දෙකම සමාන වී තිබෙන බවක් පෙනෙන්නට තිබේ. රස, වස වී, වස නිසා රෝගී බවට පත්ව තිබේ.

ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ රස පෙන්වමින් ජනතාව මුළා කොට රස නහර උද්ධීපනය කරයි. ව්‍යාපාරිකයෝ ආහාරයට විවිධ රස කාරක, සුවඳ වර්ග හඳුන්වා දෙයි. ශාකමය ආහාර වලට සත්ත්ව මාංශමය රස හඳුන්වා දෙයි. මේ රසායනික ද්‍රව්‍ය බොහෝවිට පිළිකා කාරක ය. එහෙත් සිහියෙන් යුතු ව තමන්ගේ ආහාරය ගන්නා කෙනා කිසි දිනෙක මේ ආගාධයෙහි නොවැටේ.

විනය පිටකයේ ආහාර ගැනීම පිළිබඳව නීති රීති සිය ගණනක් අන්තර්ගත ය. මේ සිය ගණනින් ප්‍රත්‍යවේක්ෂා කොට ආහාර ගැනීමේ ක්‍රමය අනුගමනය කරනවා නම්, ආහාර නිසා ලෙඩ රෝගවලට, ගොදුරු වන්නේ නැත.

අද ලෝකයේ ‘ටේබල් මැනර්ස්’ – ‘කෑම කාමරයේ චාරිත්‍ර’ යනුවෙන් සංකල්පයක් විවිධ ජාතීන් අතර නිර්මාණය කරගෙන තිබේ. එහෙත් ලොව ඉහළම ටේබල් මැනර්ස් තිබෙන්නේ බුද්ධ දේශනාවේ ය.

ගිහි පැවිදි දෙපාර්ශ්වය වෙනුවෙන් අප තථාගතයාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ආහාර ගැනීමේ පුරුදු අමතක නොකළ යුතු ය.

අද සමාජයේ සියයට පනහකට බොහෝ පිරිසකට දියවැඩියාව ය. පිළිකා රෝගීන් නැති ගමක් සොයා ගන්නට නැති තරම් ය. මේ තරම් භයානක ලෙඩ රෝගවලට අප මුහුණ දී සිටින්නේ වැළඳීම අමතක කොට කෑමට පුරුදු වීම නිසා ය.

‘ආරෝග්‍ය පරමා ලාභා’ ලොකු ම ලාභය නිරෝගිකම ය. එය අප සැමට උරුම ය. ලබා ගත හැකි දෙයකි. ඊට සතයක් හෝ වියදම් වන්නේ නැත. අවශ්‍ය සිහි බුද්ධිය පමණි.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]