UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් දහම් කරමු මෙ ලෙසින්

පින් දහම් කරමු මෙ ලෙසින්

අප කවුරුත් පින් කරන්නට කැමැතියි. නමුත් පින්වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් නො දනියි.

එනිසා පින් කරන්න කැමැති වුණත්, පිනට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තිබෙනවා නම් ඒ පුද්ගලයා දක්ෂ මල්කරුවෙක් වගෙයි. මල් නෙළන්නට මල් තිබෙන තැන සොය සොයා ගොස් මල් නෙළා මල් දම් ගොතන්නා සේ පින් රැස් කරන්නට උත්සුක වෙයි.

චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක දෙකක් තිබෙනවා. එම දිව්‍යලෝක දෙකෙහි ම අධිපති වූ ශක්‍ර දෙවියන් කලින් මිනිස් ලොව සිටිය කෙනෙක්. ඔහු මිනිස් ලෝකයේ දී බොහෝ පින් කළා. දිනක් ලිච්ඡවි කුමාරවරුන් ශක්‍ර දෙවියන් ගැන, බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ගේ අතීත ජිවිත කතාව මෙසේ වදාළ සේක.

එක් කලෙක මගධ දේශයෙහි මචල කියා ගමක් තිබුණා. මේ ගමේ මඝ නමින් තරුණයෙක් සිටියා. මඝ මානවකයා කියලයි ඔහු ප්‍රසිද්ධ වුණේ. හැම දෙනාගේ ම සැප දුක් බලනවා. ඒ වගේ ම ඔහු සිල්වන්ත යි. ඔහු ජීවිත කාලය පුරාම උතුම් ගුණධර්ම හතක් සමාදන් ව සිටියා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට වදාළා.

පින්වත් මහණෙනි, ශක්‍ර දෙවියන් මිනිස් ලොව ජීවත් ව සිටිය දී උතුම් ගුණධර්ම හතක් සමාදන් වුණා. ඒ ගුණ ධර්ම හතනම්

1.) දිවි තිබෙනතුරා මම මව්පිය දෙදෙනාට ආදර භක්තියෙන් යුක්තව උපස්ථාන කරන කෙනෙක් වෙනවා. 2.) දිවි තිබෙන තුරා මම වැඩිහිටියන්ට සලකන, ගුරු දෙගුරුන්ට සලකන, ආදර ගෞරව දක්වන කෙනෙක් වෙනවා.3.) දිවි තිබෙනතුරා මම ඉතා යහපත් මුදු මොළොක් වචන කතාබස් කරන කෙනෙක් වෙනවා. 4. )දිවි තිබෙන තුරා මම කේළාම් නො කියන කෙනෙක් වෙනවා. 5.) දිවි තිබෙන තුරා මම ගිහි ගෙදර වාසය කරද්දී ලෝභ රහිත සිතින් යුතු වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. මම ළඟට ඕනෑම කෙනෙක් යමක් ඉල්ලාගෙන එනවානම්, ඒ ඉල්ලීමට සුදුසු කෙනෙක් වෙනවා. දන්දීම පිණිස අත් සෝදාගත් කෙනෙක් වෙනවා. පරිත්‍යාග කරන කෙනෙක් වෙනවා. 6.) දිවි තිබෙනතුරා මම සත්‍ය වචන කතා කරන කෙනෙක් වෙනවා. 7.) දිවි තිබෙන තුරා මම ක්‍රෝධ සිත් නැති කෙනෙක් වෙනවා. යම් හෙයකින් මා තුළ ක්‍රෝධයක්, තරහක්, වෛරයක් හට ගත්තොත් ඒ ක්ෂණයෙන්ම මම ඒ අකුසලය දුරු කරනවා. බැහැර කරනවා. නැති කරනවා.

මේ ආකාරයට ගුණ ධර්ම හතක් සමාදන් වී එම ගුණධර්ම නො කඩ කොට ආරක්ෂා කොට දියුණු කරගත් නිසා ඔහු ශක්‍ර දෙවියන් බවට පත්වුණා. මෙම ශක්‍ර දෙවියන්ට නම් කිහිපයක් ම තිබුණා. ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

”පින්වත් මහණෙනි, ශක්‍ර දෙවියන්ට මඝවා කියා කියනවා. එයට හේතුව ඔහු මඝ මානවකයෙක් ලෙස මිනිස් ලොව බොහෝ පින් කරමින් ගත කිරීම යි. ඒ වගේ ම ශක්‍ර දෙවියන්ට පුරින්දද කියා කියනවා. එයට හේතුව මොහු මිනිස් ලොව සිටිද්දී සියලු දෙනාට ම ආදර්ශ ඇතිවන පරිදි හැමටම ප්‍රථමයෙන් විවිධාකාරයෙන් දන්පැන් පිදීම යි. ඒවගේ ම ශක්‍ර දෙවියන්ට සක්ක කියනවා. එයට හේතුව මිනිස් ලෝකයේ සිටියදීත් මොහු ඉතාම පිළිවෙළකට, ක්‍රමානුකූල ලෙස හොඳින් සකස්කොට දන්පැන් පිදීමයි. ඒ වගේ ම ශක්‍ර දෙවියන්ට වාසව කියා කියනවා. එයට හේතුව මිනිස් ලොව සිටියදී මොහු දුගී දුප්පත් ජනතාවට නොයෙක් ආකාරයෙන් නිවාස තනවා පරිත්‍යාග කිරීම යි. ඒ වගේම ශක්‍ර දෙවියන්ට, සහස්සනෙත්ත (දහසක් ඇස් ඇති කෙනා) කියනවා. එයට හේතුව ශක්‍ර දෙවියන්ට මොහොතකින් කරුණු දාහක් ගැන සිතන්නට පුළුවන්කමයි. ශක්‍ර දෙවියන්ට දේවානමින්ද කියා කියනවා. එයට හේතුව තව්තිසා වැසි දෙවියන්ගේ ප්‍රධානත්වයට පත් වී සියලු යස ඉසුරින් පිරී දිව්‍ය රාජ්‍යයේ අධිපති බවට පත්වීම යි.

මෙයින් අපට එක දෙයක් පැහැදිලිව පෙනෙනවා. එනම් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිදුන් බවට උපත ලබා සිටින්නේ මිනිස් ලොවේ සිටි මඝ නම් වූ තරුණයෙක් බව. මේ තරුණයා මේ උතුම් ගුණධර්ම හත තුළ පිහිටා මහත් සේවාවක් කළා. විශ්‍රාම ශාලා හැදුවා. පැන් පොකුණු හැදුවා. මංමාවත් හැදුවා. හොඳ දෙයට විරුද්ධ අය ලෝකයේ හැමදාම සිටියා. මඝ මානවකටත් සමහර අය විරුද්ධ වුණා. එයට හේතුව මඝ මානවකගේ සේවා කටයුතු නිසා අනිත් අයගේ ආනුභාවය අඩුවෙලා ගියා. මඝ මානවකගේ කීර්ති රාවය පැතිරිලා ගියා. නමුත් මඝ මානවක ඒ කිසිදු නින්දා අපහාසයකින් කම්පා නොවී තමන්ගේ සේවාව කරගෙන ගියා. තමන් යම් තැනක සේවාවක් කරමින් සිටිය දී එතැනට බාධා කරනවානම්, එතුමා කාටවත් දොස් නො කියා එතැන අත හරිනවා. වෙන තැනකට යනවා. මඝ මානවක එවැනි ආකාරයට තමන්ගේ පුණ්‍ය කටයුතු දිගින් දිගට ම කරගෙන ගියා. තමන් සමාදන් වූ උතුම් ගුණධර්ම හත තුළ රැඳී සිටියා. ඒ හේතුව නිසාම ශක්‍ර දිව්‍ය රාජයා වී උපත ලැබුවා.

අප්‍රමාදය ගැන බුදු, පසේබුදු, මහරහතන් වහන්සේ මහත් ඉහළින් වර්ණනා කොට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අප්‍රමාදය ගැන ඉතාමත් ලස්සන උපමාවක් මෙසේ වදාළා. ලෝකයෙහි සියලු සත්ත්වයන් අතර ඇතාගේ පා සටහන ට වඩා විශාලයි. මේ ඇතාගේ පා සටහන තුළට ඕනෑම සත්ත්වයෙකුගේ පා සටහන ඇතුළු කරන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වගේ ම අප්‍රමාදය නම් වූ මේ එකම ගුණය තුළට සියලු ගුණ ධර්ම ඇතුලු කරන්න පුළුවනි කියා. එනිසා අප්‍රමාදයෙන් ලොව ජයගත් ඒ සියලු උතුමන් නිරතුªරු ව අප්‍රමාදය ප්‍රශංසා කරනවා. උන්වහන්සේලා ගැරහුම් කරන්නේ ප්‍රමාදයට යි.

එමනිසා අපිත් තිසරණය කෙරෙහි මනා කොට සිත පහදවාගෙන සීලාදී ප්‍රතිපත්ති පුරුදු කරමු. මෛත්‍රී, කරුණාදි ගුණ ධර්ම දියුණු කර ගනිමු. දන් පැන් පූජා කරමින් කල්‍යාණ මිත්‍ර ඇසුරේ ධර්මය ශ්‍රවණය කරමින් බණ භාවනා කිරීමට උනන්දු වෙමු.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]