UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහමෙහි පැනෙන සුවිසෙස් ලකුණු

දහමෙහි පැනෙන සුවිසෙස් ලකුණු

විජ්ජාචරණ යනු බුදු ගුණයකි. එහි විජ්ජා යන්නෙන් උසස් ම දැනුම හෙවත් යථාභූත ඥානය අදහස් වෙයි. චරණ යනු උසස් හැසිරීම හෙවත් නිසි පිළිවෙතයි.

මේ බුදු ගුණය බුදුදහම මැ පිළිබිඹු කරයි. ජීවිතය හා ලෝකය පිළිබඳ උසස් දැනුම, අවබෝධය නොවේ නම් ඇත්ත ඇති හැටියෙන් දක්නා නුවණ (යථාභූත ඤාණ දර්ශනය) පිණිස මිනිසා යොමු කරලීම බෞද්ධ චින්තනයේ එක් අපේක්ෂාවකි. උසස් චරණය, හැසිරීම නොවේ නම් නිසි පිළිවෙත හෙවත් ඉහත කී ඤාණ දර්ශනය වෙත යන මාර්ගය පෙන්වා දීම බුදුසමයෙහි අනෙක් අපේක්ෂාව ය. මෙකී අපේක්ෂාවන් සාධනය කරගනු පිණිස වන විරාගී දර්ශනයක් හා විරාගී චරණයක් බුදුසමය තුළ දක්නා ලැබෙයි.

බුදුසමය වූ කලී සමකාලීන භාරතීය ආගමික හා දාර්ශනික චින්තාවන් අතර එයට ම ස්වාධීන වූත්, සුවිශේෂී වූත් ලක්ෂණයන්ගෙන් සමන්විත වූවකි. ලෝකයේ බොහෝ ආගමික චින්තාවෝ ආත්මවාදී වෙත්. එනම් නිත්‍ය වූ, ස්ථිර වූ, සදාකාලික වූ ආත්මයක් ඇතැයි උගන්වනු ලැබේ. මෙම ප්‍රමුඛතම ආගමික ලක්ෂණයන්ගෙන් බැහැර වූ , ලෝකයේ ප්‍රධානතම ආගමික චින්තාව ප්‍රකට වන්නේ බුදුදහමෙනි. එහි ලා සර්වබලධාරී දෙවියකු පිළිබඳ විශ්වාසයෙන් සපුරා බැහැර ව පැහැදිලි ව ම මානව කේන්ද්‍රීය වූ ධර්මයක් , එනම් මිනිසා මුල් කොටගත් දහමක් ඉගැන්වෙයි. මිනිසත් බවක් ලැබීම නම් දුෂ්කර ය. දුර්ලභ යැයි උගන්වන බුදුසමය වූ කලී මිනිසෙකු වූ බුදුරදුන් විසින් මිනිසුන්ට ඔවුන්ගේ ම ජීවිතයේ යථාර්ථය හා විමුක්තිය පෙන්වා දෙනු පිණිස දේශනා කරන ලද්දකි. සියල්ලට සිත ප්‍රධාන ය. ලෝකය සිත විසින් ම ඇදගෙන යනු ලැබේ යැයි උගන්වන බුදුසමය ලෝකයේ ආගමික දර්ශනවාදයන් අතර අතිශයින් ම මනෝවිද්‍යාත්මක වූ ඉගැන්වීම යැයි විද්වත්හු පෙන්වා දෙති.

චින්තනයට මුල්තැන දුන් , මානව කේන්ද්‍රීය වූ බුදුදහම අනුව සාංසාරික වූ මේ පැවැත්ම නම් දුක් සහිත ය. මිනිසා ඉදිරියේ ඇති සියලු ප්‍රශ්න අභිබවා දුක් සහිත පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය මූලික වෙයි. එනම් ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණ ආදී අනේකවිධ ව්‍යසනයන්ගෙන් යුක්ත වන බැවින් අසාර ය. සැප ලෙස සලකාගෙන විඳිනු ලබන සියල්ල තාවකාලික ය. ඇතිවීමක් නැති බැවින් අතෘප්තිකරය. එබැවින් ලෝකය දුක මත පිහිටියේ ය. එකී දුක් සහිත, අනිත්‍ය, අසාර පැවැත්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් බුදුසමය ප්‍රකට කරයි. එකී දුකින් අත්මිදෙනු පිණිස වන අනුපූර්ව ලක්ෂණයෙන් යුක්ත වූ මධ්‍යම ප්‍රතිපදාවක් බුදුසමය නිර්දේශ කරයි. එ වූ කලී අවශ්‍යයෙන් ම ආචාර විද්‍යාත්මක වූ ධර්ම මාර්ගයකි. පිළිවෙත් පිරීමකි. පුද්ගලයාගේ චරිත සංවර්ධනය පිණිස ආචාර ශික්ෂණය අත්‍යවශ්‍ය යැයි සලකනු ලැබීම ද බුද්ධ ධර්මයෙහි සුවිශේෂී ලක්ෂණයකි. බුද්ධ ධර්මයෙහි දැක්වෙන ධ්‍යාන, සමාපත්ති, අභිඥා , මාර්ගඵල ආදී කවර අධ්‍යාත්මික ප්‍රතිලාභයක් වුව ද ආචාර ධර්මයන් අනු පිළිවෙළින් පූර්ණය කිරීම මත රඳා පවත්නේ ය. භෞතික වශයෙන් මෙලොව ප්‍රගතිය උදාකර ගැනීමේ දී ද ආචාර ධර්මානුකූල වීම අවශ්‍ය බව බුදුසමය උගන්වයි.

බුදුසමය ශ්‍රැතියට ම වහල් වීමෙහි දොස් දකියි. පරතෝඝෝෂය, ධර්ම ශ්‍රවණය බුදුසමයෙහි සත්‍ය ඥානය ලබා ගැනීමේ එක ම මග ලෙස නොසැලකේ. එය හුදෙක් උපකරණයක් ලෙස පමණක් මඟ පෙන්වීම් වශයෙන් ප්‍රායෝගික ව අදාළ කරගත යුතු යැයි සැලකෙයි. හුදු තර්කයට ම වහල් වීමෙහි ද දොස් දක්නා බුදුසමය සහේතුක සකාරණ තර්කයෙහි ප්‍රාථමික ප්‍රයෝජනතාව පමණක් පිළිගනියි. එය ද භාවිත කළ යුත්තේ සම්මුතිය තේරුම් කරනු පිණිස උපකරණාර්ථයෙන් පමණකැයි උගන්වයි. මෙසේ පාරම්පරික සම්ප්‍රදායෙහි මෙන් ම භාෂාමය තර්කනයෙහි ද එල්බ නොගැනීම බෞද්ධ චින්තනයෙහි සුවිශේෂ ලක්ෂණයක් වෙයි.

බුදු සමය මැදුම් පිළිවෙතින් දහම් දෙසයි. (පටිච්ච සමුප්පාදය) ශාස්වත චින්තනය ගත් මහණ බමුණෝ ආත්මයක් ඇතැයි සැලකුවෝ එම ආත්ම තැවීමේ පිළිවෙත අනුව ගියහ. උච්ඡේද චින්තනය ගත් මහණ බමුණෝ ආත්මයක් නැත. ඇත්තේ මෙලොව පමණකැයි සලකා ගත්තෝ මෙලොව හැකිතාක් කම් සැප විඳිය යුතු යැයි ඉගැන්වූහ. එය කාම සුඛල්ලිකානුයෝගයයි. බුදුසමය එම උභයාන්තය ද බැහැර කරයි. මැදුම් පිළිවෙත ම උගන්වයි. (ආර්ය අෂ්ටාංගික මාර්ගය) මෙසේ දර්ශනයක් වශයෙන් මෙන් ම මාර්ගයක් වශයෙන් ද, මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා සිටිම ද බෞද්ධ චින්තනයේ සුවිශේෂීතාවයක් වේ.

නිදහස් නිවහල් චින්තනයට, විමංසනයට වැටකොටු බැඳි යුගයක අවංක, අව්‍යාජ, බුද්ධිමත්, සත්‍ය ගවේෂීන්ගේ මනදොළ සපුරාලීමට බුදුසමය සමත් වූයේ ය. සිතීමේ හා විමසීමේ නිදහස ඉතා උසස් ලෙස ලබාදීම, විචාර පූර්වක බුද්ධි පරිපාකය ඇගයීම ඊට හේතු විය. යම් ප්‍රකාශයක සත්‍ය සත්‍යභාවය තමන් විසින් ම සිතා විමසා දැන දැක පසක් කරනු පිණිස මඟ පෙන්වීම මේ අනුව බෞද්ධ චින්තනයේ සුවිශේෂී ලක්ෂණයක් වෙයි. ධර්මය ‘ඒහි පස්සික’ ය. ‘එව බලව‘ යි පෙන්විය හැකි ය. එය විවෘත ය. එම මාර්ගයෙහි ගමන් කිරීමෙන් තම තමන් විසින් ම ප්‍රත්‍යක්ෂ කොට අධිගම වශයෙන් සත්‍යය පසක් කළ යුත්තේ ය යනු බුද්ධ වචනයයි.

ජීවිතය හා ලෝකය අරබයා ඒකංගදස්සී වීම බුදුසමයට අනභිමත ය. එනම් එක් පැත්තකින් පමණක් දැක ගැටලු විසඳීම, තීරණ ගැනීම බුදුරදුන් විසින් අනුමත නොකරන ලදී. උන්වහන්සේ පෙන්වා දුන්නේ ඒකංගදස්සී වූවන් තම තමන්ගේ මතයෙහි, තීරණයෙහි හෝ ස්ථාවරයෙහි ඇලී එහි ම එල්බ ගෙන විවාදාපන්න වන සැටි ය. ලෝකය බෙහෙවින් ම දෙපිළෙන් එක පිළකට වැටී අනෙක් පිළ සමඟ ගැටෙන්නේ ය. වාද විවාද කරන්නේ ය. සමකාලීන ශ්‍රමණ බ්‍රාහ්මණයන් එසේ ද්වය නිශි‍්‍රත ව අනේකවිධ තර්ක විතර්ක ගෙනහැර පාමින් ‘තම තමන් පිළිගත් දෘෂ්ටිය ම සත්‍යය, ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිය අසත්‍යයැයි විවාදපන්න ව සිටි පරිසරය තුළ බුදුරජාණන් වහන්සේ අද්වයවාදී වූහ. මධ්‍යම චින්තයක් මත පිහිටා මධ්‍යම ප්‍රතිපදාවක් ඉගැන්වූහ මධ්‍යස්ථ තැනැත්තා ඒකංගදස්සී නොවේ. ඔහුට එල්බ ගත්, පිළිගත් අන්තවාදී මතයක් නැත. කිසිදු මතයකට පක්ෂ ද, විපක්ෂ ද නොවන හෙතෙම විවිධ පැතිවලින් ගැටලු අධ්‍යයනය කරයි. එමගින් ඇති තතු ඇති සැටියෙන් දකියි. බුදුරජාණන් වහන්සේ ඒකසංවාදී නොවන බව ද, විභජ්ජවාදී වන බව ද පෙළ දහමෙහි සඳහන් වෙයි. එනම් බෙදා විග්‍රහ කොට ජීවිතය හා ලෝක පිළිබඳ ප්‍රස්තුත පැහැදිලි කරන බව ය. බුදුදහම පරියාය ලක්ෂණයෙන් යුක්ත ය. එනම් එක ම ආකාරයකින් නොව විවිධාකාරයෙන් විවිධ පැතිවලින් එක ම කරුණ පැහැදිලි කිරීමයි. 

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]