UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මතු පරපුරකට - අකුරු කරන්නට සෙවන සදන්නයි - බුදුපුත් මෙහෙවර

මතු පරපුරකට - අකුරු කරන්නට

සෙවන සදන්නයි - බුදුපුත් මෙහෙවර

" සියලු චෛතසිකයෝ සිතින් ම උපදින හෙයින් පහන් වු සිතින් යමක් කීවත්, කළත්, සිතුවත් ඒ සියල්ල කුසල් වෙයි. ඒ කුසල් හේතුවෙන් කෙනෙක් පසුපස ලුහු බඳින්නේ සැපත ය. තම සිරුර නොහැර එන සෙවනැල්ල මෙන් උපනුපන් තැන සුවපත් වෙයි. "

සියලු චෛතසිකයන්ට සිත මුල් වෙයි. එමෙන් ම සියලු චෛතසිකයෝ සිතින් ම උපදියි. ඒ නිසා ම කිලිටි වූ සිතින් යමක් කීවත්,කළත්, සිතුවත් ඒවා අකුසල් වෙයි. ඒ අකුසල් පසුපස දුක ලුහු බඳියි.

එමෙන් ම සියලු චෛතසිකයෝ සිතින් ම උපදින හෙයින් පහන් වු සිතින් යමක් කීවත්, කළත්, සිතුවත් ඒ සියල්ල කුසල් වෙයි. ඒ කුසල් හේතුවෙන් කෙනෙක් පසුපස ලුහු බඳින්නේ සැපත ය. තම සිරුර නොහැර එන සෙවනැල්ල මෙන් උපනුපන් තැන සුවපත් වෙයි.

දස මසක් මව්කුස දරා මෙලොවට බිහිවන බිළිඳා මලක් මෙන් මෘදු ය. මෙළොක් ය. බිළිඳා කුඩා කල ගෙවන විට මව්පිය සහෝදරාදීන්ගේ ඇසුරට ද අනතුරුව බාහිර සමාජයේ ද ඇසුරට දිනෙන් දින පත්වෙයි.

මනුෂ්‍යයා සුසිරිතට හෝ දුසිරිතට යොමුවීමට සමාජ ඇසුර ද බෙහෙවින් බලපානු ඇත. කලණ මිතුරු ඇසුර ම යහමගට යොමු කරයි. එහෙත් අත්දැකීම් කිසිවක් නොමැති ව නිවසින් සමාජයට යොමුවන දරුවා අයහපතට යොමුකරවා ගැනීමට පහසු වෙයි. ඒ මව්පිය ඔවදන් මනා ලෙස පෙන්වා නොදීමේ හේතුව ද විය හැකි ය. කුඩා දරුවාට හොඳ නරක ඇතුළු මූලික පාඩම් සියල්ල කියා දෙනු ලබන්නේ දයාබර මව්පියවරු විසිනි. අවාසනාවකට මෙන් මව්පියවරු වෙතින් එවන් නිසි ඔවදන් නොලැබුණහොත් දරුවාගේ අනාගතය අනාරක්ෂිත වනු ඇත.

සෑම මවකගේ මෙන් ම පියෙකුගේ ද උදාර බලාපොරොත්තුව වනුයේ දරුවා තමන්ට වඩා උසස් තත්ත්වයකට පත් වනු දැකීම ය. එසේ තම දරුවා අති ජාත දරුවකු කිරීමට මව්පියවරු නොගන්නා උත්සාහයක් නොමැති තරම් ය. සිය දහසක් බලාපොරොත්තු සමගින් දරුවා වෙත සුදුසු කල ශිල්ප ශාස්ත්‍ර ලබාදීම ද මව්පියවරුන්ගේ ප්‍රබල අදිටනකි. ඒ නිසා ම දරුවාට සුදුසු පාසලක් සොයා මව්පියවරු අපමණ වෙහෙසක් දරති.

තම දරුවා පාසලට ඇතුළත් කළ පමණින් ම එම දරුවාගේ අනාගතය ගැන යහපත් බලාපොරොත්තු තබා ගත හැකිදැයි මව්පියවරු කල්පනා කර බලා විමසිලිමත් විය යුතු ය. දවසේ පැය පහක්, හයක් පමණ ඉතා සීමිත කාලයක් තුළ පාසල් අධ්‍යාපනය ලබන දරුවාගේ ක්‍රියා කලාපය ගැන නිතර පසු විපරමින් සිටිය යුතු ය. වරින්වර හෝ ගුරුවරුන් වෙතින් සිය දරුවා ගැන සෙවීමෙන්, විමසීමෙන් පසුවෙමින් දරුවාට නිසි රැකවරණය සැලසීම මව්පිය වගකීම වේ.

කිසිවක් නොතේරෙන බව නිසා ම දරුවා අයහපතට යොමු කිරීමට පහසුවන හෙයින් ඊට මාන බලන්නන් වෙත කිසි විටෙක ඒ සඳහා පහසුකම් නොසැලසිය යුතු ය.

ක්‍රම ක්‍රමයෙන් ඤාති හිතමිත්‍රාදීන් ගුරුවරුන් හඳුන්වා දිය යුතු ය. හොඳ නරක නිතර නිතර පෙන්වා දිය යුතු ය. එසේ පෙන්වාදීම නිසා ම දරුවාගේ මව්පියවරු මුල්ගුරුවරු නාමයෙන් පිදුම් ලබති.

දරුවා විවිධ තරග විභාගවලට ඉදිරිපත් ව එයින් සමත් කරවා ගැනීමට දරන මහන්සිය, උත්සාහය, කැපකිරීම පමණක් දරුවකු යහමගට යොමු කිරීමට ප්‍රමාණවත් නොවනබව කල්පනා කළ යුතු ය. දරුවාගේ නැණ පහන් දැල්වීම මෙන් ම, ගුණ දහමින් ද පෝෂණය කිරීම මව්පිය වගකීම බව නිරන්තරයෙන් කල්පනා කළ යුතුව ඇත.

නිසි අධ්‍යාපනයක් නොලැබීම සමාජ ගැටලුවලට මූලික හේතුවක් ලෙස බලපා හැකි ය. එහෙත් සෑම දරුවෙකුටම නිසි අධ්‍යාපනය ලැබීමට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන මුදල සුළුපටු නොවේ. එමගින් යහපත් ප්‍රතිඵල ළඟා කර ගැනීම දරු පරපුරෙහි ම වගකීම ද වේ.

කවර රටක වුව ද වත්මන් දරු පරපුර අනාගත භාරකරුවෝ වෙති. ඒ නිසාම ඔවුන් රටේ ජීවනාලිය ලෙස ද හැඳින්විය හැකි ය. රටක අනාගත වගකීම් සම්භාරය දැරීමට සුදුසු අයුරින් එම දරුවන් ගුණ නැණ බෙලෙන් පෝෂණය කිරීම ගුරු දෙගුරුන්ගේ ප්‍රධාන වගකීමක් වේ.

අපේ රටේ හැදෙන වැඩෙන දරු පරපුරෙහි අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණෙන් මෙරට පූජනීය මහ සඟරුවන ඉතා නිහඬ ව සුවිසාල මෙහෙවර රැසක් සිදු කරති.

ඒ අතර පාසල් දරුවන් උදෙසා පොත්පත් මෙන් ම, පාසල් උපකරණ මාසිකව ශිෂ්‍යාධාර පිරිනැමීම ආදි විවිධ පහසුකම් වෙසෙසින් ම මෙරට පූජනීය මහ සඟරුවන සපයන බව උන්වහන්සේලාටද උපහාර පිණිස කෘතවේදී ව සිහිපත් කළ යුතු වේ.

මෙරට පූජනීය සම්භාවනීය මහ සඟරුවන තමන් වහන්සේලාට ඉතා සුවපත්ව වැඩ සිටීමට අවස්ථාව පැවතිය ද ඒ සියල්ල පසෙකින් තබා අනාගත දරු පරපුර වෙනුවෙන් දුරදර්ශීව සිතා බලා පරෝපකාරයෙහි යෙදීම ආදර්ශවත් ක්‍රියාවක්ම ය.

තමන් වහන්සේගේ සුව පහසුව ඉවත ලා විහාරස්ථ සැදැහැති දායක පිරිස වෙනුවෙන් මෙහෙවර සිදුකරන, ආදර්ශවත් සුවිසල් මෙහෙවරක් සිදුකරන, ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකගේ කැපවීම සමාජයටම මහත් ආශිර්වාදයකි.

ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරාධිපති ඇමරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරය සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මහෝපාධ්‍යාය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඵෙතිහාසික යුග මෙහෙවරක නිරතව වැඩ සිටිති.

ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජාතික, ආගමික, අධ්‍යාපනික හා සාමාජික වශයෙන් සුවිසල් මෙහෙවරක් සිදු කර ඇත.

 

විහාරස්ථ දහම් පාසලේ අධ්‍යාපනය ලබන ප්‍රදේශයේ දරුවන්ගේ ගුණ දහම් පෝෂණය කරනු වස් තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක් 2004 වසරේ දී ඉදිකර වනු ලැබූහ. අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාගේ සුව පහසුව සඳහා තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් 2010 වසරේ දී විහාරස්ථානයේ ඉදි කරවූහ. එසේ ශාසනික චිරස්ථිතිය පතා කටයුතු කරන අතරතුර යටියන ශ්‍රී ජයවර්ධනාරාමයේ දහම් පාසල් ගොඩනැගිල්ලක් ද ඉදිකරවූහ.

වල්පොල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත් 2013 වසරේ දී උන්වහන්සේ ඉදිකරවූ අතර ප්‍රදේශයේ පාසල් සංවර්ධනය සඳහා ගොඩනැගිලි ඉදිකරවීමේ ව්‍යාපෘතියක් උන්වහන්සේ විසින් ආරම්භ කරන ලදී.

ඒ අනුව 2014 වසරේ දී ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ඉදිකර වූ අතර, 2016 දී මහනුවර නියංගොඩ ධර්මාලෝක පිරිවෙනෙහි දෙමහල් ගොඩනැගිල්ල ඉදිකරවූහ. 2016 දී කඹුරාගල්ල පන්නිල ශී‍්‍ර ආනන්ද නාහිමි මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ඉදිකරවූහ. මහියංගනය දඹාන ආදිවාසි ගම්මානයේ පාසල් ගොඩනැගිල්ල 2017 දී ඉදිකරවූ අතර කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ල ද 2017 වසරේ දී ඉදි කරවූහ. අනතුරුව වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලයේ තෙමහල් විද්‍යාගාර පාසල් ගොඩනැගිල්ල ද, තිහාරිය අල් අස්හර් මුස්ලිම් මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගෙඩනැගිල්ල ද, 2017 වසරේ දී ඉදිකර වූ උන්වහන්සේ අලවල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ද ඉදි කරවූහ.

2018 වසරේ දී නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ඉදිකරවූ අතර, මීරිගම ගණේගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල ද ඉදි කරවූහ. අනතුරුව කන්දේගම මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ල ද ඉදි කර වූහ.

වේයන්ගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ලත් ගොරකදෙණිය මහා විද්‍යාලයේ දෙමහල් පාසල් ගොඩනැගිල්ලත් ඉදිකරවා සිසු අයිතියට පිරිනැමූහ. එල්ලක්කල මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිල්ල ඉකුත් ජූලි මාසයේ දී සිසු අයිතියට පත් කළහ.

අනගාරික ධර්මපාලතුමන්ගේ දෙසුමකින් ප්‍රසාදයට පත් පිරිසක් විසින් 1899 දී නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය ආරම්භ කරවූ අතර ආර්.ඩී. ජේමිස් මහතා එහි මුල්ගුරු තුමා විය. දොළේවත්ත නමැති භූමි භාගය මුල්වකවානුවේ දී පාසල ආරම්භ කළ අතර අනතුරුව ශිෂ්‍ය පිරිස වර්ධනය වීමෙන් හලල්පිටියේ ජාකෝලිස් වරුසවිතාන මහතා පිරිනමා ඇති භූමියෙහි පාසල පිහිටවනු ලැබූහ. එම කටයුතු සඳහා චන්ද්‍රසේකර මහතා මුල් වී ඇති බව පාසල් තොරතුරුවල දැක්වෙයි.

නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති ආර්.එම්.පී.බී. රත්නායක මහතා වේ. ඒ මහතා කළ ඉල්ලීමකට අනුව නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයේ දී ආනන්ද නාහිමියන් විසින් ඉදිකරවන ලද තෙමහල් පාසල් ගොඩනැගිල්ල මෙම 26 වනදා කතානායක කරු ජයසූරිය මහතා අතින් සිසු අයිතියට පත් කෙරේ.

වේයන්ගොඩ ජනාධිපති මහා විද්‍යාලයේ සහ රදාවඩුන්න මහා විද්‍යාලයේ තෙමහල් පාසල් ගොඩනැගිලි ලබන වසරේ දී සිසු අයිතියට පිරිනැමීමට ආනන්ද නාහිමියෝ කටයුතු යොදා ඇත.

ඌරාපොල ප්‍රාථමික විද්‍යාලය සහ වීරඟුල ප්‍රාථමික විදුහල හා තිහාරිය මයුරපාද ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ගොඩනැගිලි සඳහා පසුගිය 19,20,21 දිනවල දී මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබූහ.

මනා පෞරුෂයකින් හා ගුණ නැණ දෙකින් යුත් මතු පරපුරක් අපේක්ෂාවෙන් පාසල් ගොඩනැගිලි තනවා පිරිනමන පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් මෙම 26 වන දා පිරිනමනු ලබන්නේ 18 වන පාසල් ගොඩනැගිල්ල වේ.

වෛද්‍ය සිසු දරුවන් ඇතුළු සරසවි සිසුන් හා පාසල් දරුවන් 1260 දෙනෙකු වෙත පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් විසින් මාසිකව ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සඟරජ මාහිමියන් ඇරැඹූ ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් ඔපවත් වූ මහ සඟ පරපුර දැයේ නැණ පහන් දල්වන්නට සිදුකරන මෙහෙවරෙන් මතු පරපුර නැණ ගුණ පිරි පරපුරක් ම වේවා.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]