UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසුරට සුදුසු අය ...

ඇසුරට සුදුසු අය ...

මහා මංගල සූත්‍රය යනු ලෝකෝත්තර දිවිය ගත කරන ප්‍රවෘජ්ජිතයාට මෙන්ම, ලෞකික දිවිය ගත කරන ගෘහස්ථයාටද වඩාත් සමීප සූත්‍රයකි. මෙම සූත්‍රයෙහි පුද්ගල දිවියෙහි විවිධ අවදීන් සංවර්ධනය උදෙසා උපස්ථම්භනය වන වටිනා දහම් කරුණු රැසක් අන්තර්ගත ය. එම ධර්ම කාරණා මනාව ජීවිතයට බද්ධ කර ගනිමින් යහපත් ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ.

මෙහි අන්තර්ගත පුද්ගලයාගේ දියුණුවට හේතු වූ පළමු මංගල කරුණ ‘අසේවනාච බාලානං” බාලයන් ඇසුරු නො කිරීමයි. මෙහිදී බාලයන් ලෙස හැඳින්වෙනුයේ වයසින් බාල වූවන් නොව, ගුණ නැණ ආදියෙන් බාල වූවන් ය. මෙලොව පරලොව දෙලොවහිම යහපත පිණිස කටයුතු නොකරන්නෝ ය. ප්‍රාණඝාතාදී අකුසලයන් ප්‍රමුඛ කොටගෙන විවිධ දුෂ්චරිතයන්හි යෙදෙන්නෝ ය.ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ආදිය ප්‍රමුඛ කරගෙන අන්ධකාරයෙන් අන්ධකාරයට ගමන් කරන පිරිසකි. මෙම බාලයන් හඳුනාගත හැකි ලක්ෂණ ත්‍රිත්වයක් අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වේ.

“තීනිමානි භික්ඛවේ, බාලස්ස බාලා ලක්ඛනානි බාල නිමිත්තානි බාලපදානානි කතමානි තීනි ඉධ භික්ඛවේ බාලෝ දුච්චින්තික චින්තීච හෝති දුබ්භාසිතභාසි දුක්ඛත කම්මකාරි”

නපුරු සිතිවිලි, නපුරු වචන ,නපුරු ක්‍රියාවලින් යුක්තවීම බාලයාගේ ලක්ෂණ ය. එවැනි ඇසුරු නොකළ යුතු බාලයන් සිව්දෙනෙකු පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වේ.

අඤ්ඤදත්ථුහර – යමක් රැගෙන යාමට පමණක් උත්සාහ දරන්නා

වචීපරම – වචනය පරම කොට ක්‍රියාවෙන් වියුක්ත තැනැත්තා

අනුපියභාණි – පින ,පව යහපත අයහපත සියල්ල අනුමත කරමින් සුභ පතන්නා

අපායසහාය – විනාශයට මඟ සලසන්නා

මෙම අඤාණ බුද්ධිහීන, දුෂ්ශීල බාලයන් ඇසුරු කිරීම යහපත් පුද්ගලයන්ගේත් විනාශයට හේතු වේ. මෙම බාලයන් හුදෙක් කුණු වූ මසුන් වැනිය. යම් තැනැත්තෙක් කුණු වූ මසුන් කුස තනවලින් දවටා ගෙන යයි ද එම කුසතණ ද දුර්ගන්ධ වේ. බාලයන් ඇසුරු කිරීම ද එලෙස ය.

මංගල සූත්‍රයෙහි බාලයන් ඇසුරු නො කිරීම පටන් දැක්වෙන මුල් ගාථාවන්හි පූර්ව ළමා විය සංවර්ධනයට මනා අනුබලයක් ලබා දෙන්නේ ය.ඔබ ඇසුරු කරන පුද්ගලයා කවරෙක්ද? යන්න ඔබේ ජීවිතයට නිසැකව ම බලපානු ලැබේ. මෙහිදී ඇසුරෙහි ප්‍රමුඛ බලපෑම ඇත්තේ කුඩා දරුවන් හටය. සංවර්ධනය වෙමින් පවතින මනසකින් යුක්ත ඔවුන් තමා හට ඇසෙන දකින ,අත්විඳින, සියල්ල මනසට ගෝචර කර ගනිති. එය චින්තන ධාරා හරහා ක්‍රියාවට නංවනු ලැබේ. බොහෝ විට දීර්ඝ කාලීන චර්යා රටා බවට පත්වනුයේ ද මෙම ළමා වියේ මනසට ග්‍රහණය කර ගනු ලබන දේය.එබැවින් ළමා මනස පෝෂණය උදෙසා හුදෙක් යහපත් පරිසරයක් ගොඩනැගීම අත්‍ය වශ්‍යම කාරණයක් වන්නේ ය. යහපත් සිතුම් පැතුම් ක්‍රියාකාරකම් පූර්ව ළමා අවදියේ ම ළමා මනසට ගෝචර නොවන ලෙස කටයුතු කිරීමට වැඩිහිටියන් වග බලාගත යුතුය. එලෙස නොවීමට නම් දරුවාගේ පරිසරය, ඔහු ඇසුරු කරන පුද්ගලයන් බාලයන් ද, නුවණැතියන් ද, පිළිබඳව තමාම නුවණින් විමසිය යුතුය. දක්ෂ කීකරු, ගුණගරුක දරුවෙකු අපේක්ෂා කරන්නේ නම්. ඔබ හුදෙක් භෞතික ආහාරයෙන් පමණක් දරුවා පෝෂණය නොකළ යුතුය. දරුවාගේ මනස ද ගුණ ධර්මවලින් පෝෂණය කළ යුතුය.එයට හේතුවන ඇසුරක් ගොඩනැඟිය යුතුය. බාලයන්ගේ ඇසුරින් වෙන් කළ යුතුය.

කෙතරම් කාර්ය බහුල වුවද දරුවා කෙරෙහි මනා අවධානයක් යොමු කර අසත්පුරුෂ බාල ඇසුරින් දරුවා වෙන් කරන්නේ නම්, සැබැවින් ම යහපත් දරුවෙකු නිර්මාණය වෙනු ඇත. බාලයන් ඇසුරු නොකිරීම යනුවෙන් අදහස් කරනුයේ බාල ගුණාංගයන්ගෙන් යුත් පුද්ගලයන් ඇසුරු නොකිරීම යන්න ය. එබැවින් පුද්ගලයන්ගෙන් දරුවන් ඈත් කිරීම පමණක් නොව ඔබ ද ඔබ තුළ පවතින මෙම බාල ගති තුරන් කර ගත යුතුම වේ. මන්ද? ඔබ නිවැසියන් යනු දරුවෙකු සමීපවම ආශ්‍රය කරන පිරිස ය.

ඕනෑම පුද්ගලයෙකුගේ දියුණුවට මෙන්ම පරිහානියට මෙම බාල ඇසුර හේතුවන බව අතීත, වර්තමාන සමාජයෙහි අප අත්දකින, අත්විඳින විවිධ සිදුවීම් හරහා පෙනී යයි. නමුත් ඒ සියල්ල ට ම වඩා මෙම බාල ඇසුර කුඩා දරුවෙකුගේ සමස්ත ජීවිතය ම වෙනස් කිරීමට ඉවහල් වේ. එබැවින් පුර්ව ළමාවිය සංවර්ධනය ප්‍රමුඛ කර ගනිමින් පුද්ගල සංවර්ධනයට මෙම බාල ඇසුරින් වෙන්වීම උපයෝගී වන ආකාරය මෙම සූත්‍රය ඔස්සේ දේශනා කර ඇත.

අනුවණ බාලයන් තමා ඇසුරු කරන්නන් විපතට පමුණුවන හෙයින් ද, අයහපතෙහි යොදවන හෙයින් ද, අයහපත උතුම් කොට සලකමින් යහපත් භාෂිතයට කිපෙන බැවින් ද, නොහික්මුණු හෙතෙම නොදැක සිටීම ම යහපත් බව මහා මංගල සූත්‍ර අටුවාව වන පරමත්ථජෝතිකාව දක්වයි.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]