UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් - 05 : වරදවා තැබූ සිත අයහපතට හේතුවේ

තෙවළා බුදු වදන් අතරින් - 05

වරදවා තැබූ සිත අයහපතට හේතුවේ

කැළඹුණ දිය සහිත විලක අභ්‍යන්තර පතුළ විනිවිද දැකිය නොහැකිය. එමෙන්ම සිත කැළඹිලි සහගත වූ විට ආත්මාර්ථය, පරාර්ථ හා උභයාර්ථයම දැකිය නොහැකිය. එපමණක් නොව විශේෂ අධිගමයකට ද පත්විය නොහැකිය.

අංගුත්තර නිකායේ පස්වන සූක වර්ගය මිනිස් සිතේ යථා ස්වභාවය මැනවින් නිරූපණය කරන බුද්ධ දේශනාවකි. එම වර්ගයට අයත් මුල් සූත්‍ර හය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ දේශනා කළහ.

මහණෙනි, වැරැදි ලෙස තබන ලද ඇල් වී නංඩුවක් හෝ යව වී නංඩුවක් අතින් හෝ පයින් මැඩීමෙන් අත හෝ පය තුවාල විය හැකිය. තුවාල වීමෙන් ලේ ගලන්නේය. එසේම වැරැදි ලෙස තබන ලද සිතෙන් අවිද්‍යාව නැසීම හෝ විද්‍යාව පහළ කිරීම හෝ නොසිදුවෙයි. එසේම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම ද සිදු නොවෙයි. එහෙත් නිවැරැදි ලෙස තබන ලද ඇල් වී නංඩුවක් හෝ යව වී නංඩුවකින් එසේ නොවෙයි. එසේම නිවැරැදිව පිහිටවන ලද සිතින් අවිද්‍යාව දුරුකළ හැකිය. විද්‍යාව පහළ කළ හැකිය.

එසේම නිර්වාණය ද ප්‍රත්‍යක්ෂ කළ හැකිය. මහණෙනි, ද්වේෂයෙන් දූෂිත සිතකින් යුතුව යමෙක් මියයන්නේ නම්, හිස තබාගත් දෙයක් බිමින් තබන්නාක් මෙන් එම තැනැත්තා ඒකාන්තයෙන්ම නිරයේ උපදින්නේය යන්න ඔහුගේ සිත දැකීමෙන් මට කිව හැකිය. එසේම යමෙකු පහන් සිතින් මිය යන්නේ නම්, ඔහු ඒකාන්තයෙන් ම සුගතියෙහි උපදින්නේය. එයට හේතුව ඔහුගේ සිත ප්‍රසන්න වූ නිසයි.

මහණෙනි, කැළඹුණු, මඩ සහිත දිය ඇති විලෙක ඉවුරෙහි සිටින්නෙකුට එහි හැසිරෙන සිප්පි බෙල්ලන්, සක් බෙල්ලන් හා කැට කැබලිති හා මත්ස්‍යයන් මැනවින් දැකිය නොහැකිය. එයට හේතුව ජලය කැළඹී ඇති නිසයි. එහෙත් නොකැළඹුණු මඩ නොවූ විලක ඉවුරෙහි සිටින්නෙකුට එහි හැසිරෙන සිප්පි බෙල්ලන්, සක් බෙල්ලන් කැට කැබලිති හා මත්ස්‍යයන් මැනවින් දැකිය හැකි ය. එයට හේතුව ජලය නොකැළඹී තිබෙන නිසයි.

එසේම කැළඹුණ සිතක් ඇති තැනැත්තාට ආත්මාර්ථය පරාර්ථය හා උභයාර්ථය දැකිය නොහැකිය. එසේ ම සාමාන්‍ය බුද්ධිය හා ඤාණය ඉක්මවා යන විශේෂ ඤාණයක් ද අත්පත්කරගත නොහැකිය. එයට හේතුව සිත කැළඹී තිබෙන නිසයි. එහෙත් නොකැළඹුණ සිතක් ඇති තැනැත්තාට ආත්මාර්ථය පරාර්ථය හා උභයාර්ථයම මැනවින් දැකිය හැකිය. එපමණක් නොව සාමාන්‍ය බුද්ධිය හා ඤාණය ඉක්මවා යන විශේෂ ප්‍රඥාවක් හෝ ඤාණයක් සාක්ෂාත් කළ හැකිය. එයට හේතුව සිත නොකැළඹී පවතින නිසයි.

අංගුත්තර සූක වග්ගයේ මුල් සූත්‍ර හයෙන් වරදවා තැබූ, ද්වේෂයෙන් මඩනාලද, කැළඹුණු සිතක පවතින ආදීනවත් මනාසේ තැබ,ූ ද්වේෂයෙන් තොර, නොකැළඹුණු සිතකින් ලද හැකි ප්‍රයෝජනත් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් වේ. සූක යන්නෙන් අදහස් වන්නේ ඇල් වී ආදියෙහි අග පිහිටි කුඩා දිගැති සියුම් තුඩ ය. ඇල් වී හෝ යව මිටියක් වැරැදියට තැබුවොත් හෝ එය වැරැදියට ඇල්ලුව හොත් එයින් අත සීරීමෙන් තුවාල විය හැකිය. එසේම වරදවා තැබූ හෙවත් නිසිලෙස පුහුණු නොකළ සිතකින් බොහෝ අනතුරු සිදුවේ.

තම සිත වරදවා තැබීම හේතුවෙන් විද්‍යාව හෙවත් දැනුම උපදවා ගත නොහැකිය. එසේම නිර්වාණය සාක්ෂාත් කිරීමද කළ නොහැකි බව පැවසේ. විද්‍යාව හා දැනුම නැතහොත් ඤාණය හටගන්නේ නිවැරැදිව පිහිට වූ සිතක ය. නිවන් සාක්ෂාත් කළ හැක්කේ එවැනි සිතකට ය. දැනුම හෝ ප්‍රඥාව ඇති වන්නේ තැන්පත් සිතක ය. කැළඹුණු කලබලකාරී සිතක ප්‍රඥාව වර්ධනය නොවේ. එවන් සිතක දැනුම නිෂ්පාදනය නොවේ. බාහිර වශයෙන් කොතෙක් සාමකාමී පරිසරයක් හා භෞතික පහසුකම් තිබුණත්, අභ්‍යත්නර ඥානය වර්ධනය වන්නේ සිත තැන්පත් වුවහොත් පමණි. එබැවින් ඤාණය වැඩීමට අභ්‍යන්තර සාමය අවශ්‍ය වේ. යමක් වැරැදියට ග්‍රහණය කරගත් විට හෝ වටහාගත් විට එහි ප්‍රතිඵල යහපත් නොවේ. අප එදිනෙදා මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවලට මූලික හේතුව යමක් නිවැරැදිව වටහා නොගැනීමයි.

බොහෝදුරට වැරැදි වැටහීම්, විශ්වාස හා අදහස් අප නොමග යවනු ඇත. වැරැදි වැටහීම් හේතුවෙන් විවිධ පුද්ගලයන් සමඟ අමනාපකම් ඇතිකර ගනිමු. සත්‍ය වැටහෙන විට සිදුවූ අයහපත් දෑ ගැන කණගාටුවනවා හැරෙන්නට වෙන කළ යුතු පිළියමක් නැත. අපේ සිත හොදට හෝ නරකට මෙහෙය විය හැකිය. එය මෙහෙයවන්නා අප ය. එය මෙහෙයවිය යුතු නිවැරැදි දිශාව ගැන අපට අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.

අප ඇසුරු කරන සත් පුරුෂයන්, කල්‍යාණමිත්‍රයන්ගෙන් ඒ සඳහා අපට මගපෙන්වීමක් ලැබුණත් එය මෙහෙයවිය යුත්තේ අප විසින්ය. වැරැදි දිශාවට සිත මෙහෙය වුවහොත් හානිදායක ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවෙයි. එහෙත් නිවැරැදි දිශාවට සිත මෙහෙය වීමෙන් එසේ නොවේ. මරණින් පසුව පුද්ගලයාගේ පැවැත්ම කෙරෙහි ඔහුගේ සිත බලපායි.

ද්වේෂයෙන් මඩනා ලද සිතකින් යුක්තව මිය යන්නෙකු ඒකාන්තයෙන් ම දුගතියේ උපදින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම තැනැත්තාගේ සිත දැකීමෙන් ය. පහන් සිතකින් මිය යන්නෙකු සුගතියෙහි උපදින බව උන්වහන්සේ දේශනා කරන්නේ ද එම ආකාරයට ම ය. මරණින් පසුව සුගතිය හෝ දුගතිය තීරණය වන්නේ එම පුද්ගලයා මිය යන අවස්ථාවෙහි පවතින සිතට අනුරූපව බව මෙයින් පැහැදිලි වේ. මිනිසාගේ මතු භවය තීරණය කරන තීරණාත්මක බලවේගය සිත බව මේ අනුව පැහැදිලි වේ.

අප සිදුකරන යහපත් හා අයහපත් කර්ම අනුව අපගේ සිතෙහි පහන් බව හෝ නොපහන් බව තීරණය වේ. අකුශල කර්ම රැස් කළ පුද්ගලයාගේ සිතෙහි පහන් බවක් ඇති නොවේ. එහෙත් කුශල කර්ම රැස් කළ පුද්ගලයාට එසේ නොවේ. බුදුරදුන් ධරමාන අවදියේ සිටි චුන්දසූකර නම් ඌරු ඝාතකයා මෙන් ම දැහැමි දිවියක් ගත කළ ධම්මික උපාසක තුමාගේ මරණාසන්න හැසිරීම් මගින් මෙය වටහා ගත හැකිය. ඌරන්ට දස වද දී ඌරන් ඝාතනය කළ චුන්ද සූකරට දුගතිය හිමිවූයේ අකුශල ක්‍රියා මෙන්ම නොපහන් සිත නිසයි.

පහන් සිතින් කටයුතු කළ ධම්මික උපාසකයාට සුගතිය හිමිවිය. මේ දෙදෙනාගේ ම පරලොව ජීවිතය කෙරෙහි ඔවුන් දෙදෙනාගේ සිත්වල ඇති ව තිබූ ස්වභාවය බලපෑවේය. ඒ අනුව මරණාසන්න ාමොහොතෙහි පවතින සිතෙහි ස්වභාවය අනුව මතු භවය කවරේද යන්න තීරණය වේ. කැළඹුණ දිය සහිත විලක අභ්‍යන්තර පතුළ විනිවිද දැකිය නොහැකිය. එමෙන්ම සිත කැළඹිලි සහගත වූ විට ආත්මාර්ථය, පරාර්ථ හා උභයාර්ථයම දැකිය නොහැකිය. එපමණක් නොව විශේෂ අධිගමයකට ද පත්විය නොහැකිය.

සිතේ පවතින යමක් විනිවිද දැකීමේ හැකියාව මතුකර ගැනීමට නම් එහි කැළඹිලි ස්වභාවය නතරවිය යුතුය. සිත තැන් පත් වූ තරමටම විනිවිද දැකීමේ හැකියාව තීව්‍රවේ. විවිධ හේතු නිසා කලබල වූ සිතක් ඇති විට කළ යුතු, නොකළයුතු දේ පිළිබඳ වැටහීමක් ඇති නොවේ. කැළඹුණ සිතකින් ගන්නා තීන්දු තීරණ තමාට මෙන්ම අන් අයට ද අහිතකර බව පැහැදිලි කරුණකි. මේ අනුව නිවැරැදි විනිවිද දැක්මක් ඇතිකරගැනීමෙහි ලා තැන්පත් නොකැළඹුණ සිතක් අවශ්‍යය යන්න දීර්ඝ වශයෙන් විස්තර කිරීම අනවශ්‍ය ය.

ඉහතින් දැක් වූ සූත්‍රාගත කරුණු අනුව සිත වරදවා තැබීමෙන් අයහපතක් මිස යහපතක් නොවේ. මරණාසන්න මොහොතෙහි පවතින සිතේ ස්වභාවය අනුව මතු භවයේ පැවැත්ම කවරේදැයි තීරණය වේ. සිතෙහි පවතින විනිවිද දැකීමේ හැකියාව වර්ධනය කරගැනීමට නොකැළඹුණු තැන්පත් සිතක් අවශ්‍ය වේ.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]