UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කේසකාරි විමාන වස්තුව

කේසකාරි විමාන වස්තුව

මේ විමාන කථාව දෙ දෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා හා කේසකාරිකා දේවතාවිය අතර වූවකි. අටුවා කථාවත් සමඟ එය මෙසේ ය.

ශක්‍රයා :– ශෝභන දැකුම් ඇත්තිය. නැකත් තරුවලට අධිපති චන්ද්‍රයා යම් සේ බබළයි ද, එසේ ම ඔබ ද මේ ඔබ ගේ ලක්ෂයක් සේවිකා දේවතාවියන් මැඬගෙන බබළමින් සිටින්නෙහි ය. මා ඇතුළු තව්තිසා සියලු දෙවියන් බ්‍රහ්මයා දැකීමෙන් තෘප්තිමත් නො වන්නාක් මෙන් අපි හැම දෙන ද ඔබ දැකීමෙන් සෑහීමකට පත් නො වෙමු. වෛරෝඩි මාණික්‍යමය ටැම් ඇති, රනින් නිම වූ වෘක්ෂයන්ගෙන් හාත්පස වට වී ඇති ඔබගේ මේ විමානය පූර්ව කර්මයකින් පහළ වූවක් ම ය. එම්බා දේවතාවිය, ඔබ කොහිසිට කවර පිනක් කොට මෙහි පැමිණියෙහි ද?

දේවතාවිය :– සක්දෙව් රජුනි, මම මනුලොව මිනිස් දියණියක්ව සිටි දඹදිව කසී රට බරණැස් නුවර, ‘කේසකාරිකා’ නම් වීමි. බුදුන් , දහම්, සඟුන් කෙරෙහි ( ගුණ දැන) පැහැදුනු සිත් (ශ්‍රද්ධා) ඇත්තියක්ව පන්සිල් කඩ නො කොට රකිමින් තුනුරුවන් කෙරෙහි සැක නැති නියත ගතික (සෝවාන් ඵලලාභි) වූවා නිවනෙහි නියත ඇත්තියක්ව මරණින් පසු මෙහි පහළ වූවා වෙමි.

ශක්‍රයා :– දේවතාවිය, එසේ නම් ඔබ ධර්ම සම්පත්තියෙන් ද, පරිවාර සම්පත්තියෙන් ද බබළන්නියක් ව ඔබගේ මෙහි පැමිණීම පිළිගනිමු. මෙසේ ඔබගේ පැමිණීම මනා පැමිණීමෙකි.

සක්දෙවි රජු ඇසූ පැනයට මිනිස් ලොව සිටිය දී ඇය කළ පින් කවරේ දැයි අටුවාවෙහි මෙසේ සඳහන් වේ.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි වැඩ සිටිය දී, දිනක් බොහෝ භික්ෂූන් බරණැස් නගරයෙහි පිඬු පිණිස වඩිමින් එක් බමුණු ගෙයක් සමීපයෙන් යන්නාහු ය. ඒ ගෙහි දොර අසල මවගේ හිස බලමින් සිටි බැමිණි දියණිය සමීපයෙන් මහ මග වඩින ඒ භික්ෂූන් දැක මෑණියනි, ඉතා රූමත් දැකුම්කළු, ප්‍රසාද ජනක, සියුමැලි, තරුණ වයසෙහි ද මුල් අවධියේ සිටින මේ පැවිද්දන් ජරා ජීර්ණ භාවයකින් වැඩුණූ අය නො වෙතියි මට සිතේ යයි තම මෑණියන්ට කීවා ය. මෑණියනි, කවර හේතුවක් නිසා මේ ඇත්තෝ මේ යෞවන වයසේ දී ම පැවිදිවෙත් දැයි මවගෙන් ඇසී ය. දියණියනි, ඔක්කාක වංශික ශාඛ්‍ය කුලයේ ඉපිදී එයින් නික්ම පැවිදි වූ (තරුණ) ශාස්තෘවරයෙක් ලොව දැන් පහළව ඇත. මේ උතුම් මුල, මැද, අග යහපත් වූ අර්ථයෙන් පිරුණ අදහස් ප්‍රකාශ වන සකලාංගයන්ගෙන් සම්පූර්ණ ධර්මයක් පිරිසිදු බ්‍රහ්මචර්යාවෙන් යුතුව දේශනා කරති. මේ තැනැත්තන් ඒ ශාස්තෘවරයාගේ ධර්මය අසා පැවිදි බිමට පත්වූවෝ වෙතැයි ඇය කීවා ය.

මේ වන විට එම විථියෙහි යමින් සිටියා වූ කිසියම් ඵලයකට පත්ව සිටි එක්තරා උපාසකයෙක් මේ දෙදෙනාගේ දෙ බස අසා සමීපයට පැමිණි විට බැමිණි මව “උපාසකයෙනි, මේ කාලයේ බොහෝ තරුණ පුත්‍රයෝ මහත් වස්තු සම්පත් ද බොහෝ ඤාති පිරිස් ද හැර දමා ශාක්‍ය සාසනයෙහි පැවිදි වෙත්. ඔවුහු කවර නම් ඵලයක් දකිමින් මෙසේ පැවිදි වන්නාහු දැයි (දුවගේ පැනයට ද පිළිතුරක් ලෙස) ඇසුවා ය. මෙහිදී ඒ උපාසක තෙමේ මේ තරුණ භික්ෂූහු අල්ප ආස්වාද ඇති පඤ්චකාමයන්හි බොහෝ ආදීනව දැක ඒවායින් නික්මීමේ අනුසස් වටහා ගෙන පැවිද්ද ලැබුවෝ බව තමාගේ ඤාණ ශක්තියේ තරමට විස්තර කර දුන්නේ ය. තිසරණ සරණ යාම, ත්‍රිවිධ රත්නයේ ගුණ, පඤ්ච ශීලය රැකීමෙන් මෙලොව දී හා පරලොව දී හිමි වන ගුණ ද පැහැදිලි කළේ ය. මෙය අසා සිටි දියණිය, කිම, ඔබ විසින් කියන ඔය ගුණ ආනිසංසයන් අපටත් ලබාගත හැකිවේ දැයි විචාළ විට පුළුවන් බව කියා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය (මානුෂීය වුවක් හෙයින් සර්ව සාධාරණ වූවක් බව කියා ඇය තිසරණ සහිත පන්සිල් හි පිහිටෙවුවේ ය.

අනතුරුව මින් මත්තට කළ යුත්තේ කුමක් දැයි ඇය ඇසූ විට ඇයගේ ඥානවන්ත භාවය තේරුම් ගෙන ධර්මාවබෝධයට සමත්වන්නීයයි දැන කයේ දෙතිස් කුණපයන්හි ඇති පිළිකුල් බව හා ඒ වා කමටහනට ගොඩ නගන ආකාරය අනිත්‍ය වශයෙන් දකින ආකාරය හා විදර්ශනාවට නගන ආකාරය කියා දී පිටත්ව ගියේ ය. ඕ තෝමෝ ඔහු කියා දුන් සියලු ධර්ම කරුණු නැවත මෙනෙහි කොට සන්සුන් සිත් ඇත්තීව අඛණ්ඩව පන්සිල් රැක, තව තවත් දහම් අසා නොබෝ දිනකින්ම සෝවාන් ඵලයෙහි පිහිටා පසුකලෙක කළුරිය කොට සක්දෙව් රජුගේ පරිචාරිකාවක (සේවිකාවක්) ලෙස තව්තිසාවෙහි උපනි. සක්දෙව් රජුට එහි දී මැය හමුවී මුලින් කී දෙබස ඇති විය. මේ ප්‍රවෘත්තිය සක්දෙව් රජු මුගලන් තෙරුන්ට කීහ. මුගලන් තෙරනුවෝ බුදුරජාණන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ අර්ථෝත්පත්ති කොට සුදුසු තැන්හි දේශනා කළ සේක.

බුද්ධෝත්තමයකු ඉතා කලාතුරකින් ලොව පහළව පින්කම් කිරීමට දහම් දෙසා දුගතියට යන්නවුන්, සුගතීන්හි ඔසවා තැබීමටත් තිසරණ සහිත ශීලයන්හි පිහිටුවා ධර්මානු ධර්ම ප්‍රතිපත්තීන්හි හසුරවීමට (කුසල් වැඩීමට) අනුශාසනා කරමින් සෝවාන් ආදි සතර මග සතර ඵලයන් ලබා ගැන්මට දිරි දුන් සේක. එහෙයින් අප ද දැනටමත් බුද්ධානුශාසනා පරිදි පින්කම් කොට ධර්මයෙහි හැසිරෙන හෙයින් මරණින් පසු සුගතගාමී උපත මාර්ග ඵලයක් සහිත වූවක් කොට ගෙන සසර දුකින් මිදීමට මෙවන් සත්‍ය කථා ඇතුළත් සූත්‍ර දේශනා උපකාර කර ගමු.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]