UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෙලෙස් නසන ප්‍රඥාව ලැබීමි ...

කෙලෙස් නසන ප්‍රඥාව ලැබීමි ...

පිළින්දවච්ඡ මහ රහතන් වහන්සේගේ අතීත චරිත කතාව ගැන ප්‍රකාශ කරන කල්හි මෙසේ ප්‍රකාශ කළහ.

හංසවතී නගරයෙහි බොහෝ ධන සම්පත් ඇති කුලයක ඉපදුණ ද එදා වැඩ සිටි පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීමට අවස්ථාවක් නොවී ය. ඒ කෙසේ වූව ද තමාගේ ධනය යොදවා මින් පෙර කිසිවෙකුත් විසින් නොදුන් සර්වපරිෂ්කාර මහා දානයක් පූජා කරමියි අධිෂ්ඨානයක් ඇති කර ගත්හ. එසේ සිතා බුදුරදුන් ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කිරීම පිණිස කුඩ, පාත්‍ර, සිවුරු ආදී භික්ෂූන් වහන්සේලාට කැප වූ භික්ෂූන් වහන්සේලා පරිභෝග කරන්නා වූ යම් පමණ වස්තු වේ ද ඒ සියල්ලක් ලක්ෂය බැගින් කම්කරුවන් ලවා කරවී ය.

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ලක්ෂයක් විෂයයෙහි දානය පූජා කිරීමේ අවස්ථාව ද උදාකරගත්හ. මහත් ගෞරවයෙන් පූජා කළ දානය පිළිගත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටියේ, ‘මා ප්‍රමුඛ ලක්ෂයක් ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා සර්වපරිෂ්කාර මහා දානය පූජා කළ මේ පුරුෂයා සසරෙහි බොහෝ සැප සම්පත් ලබා කල්ප ලක්ෂයකින් මතු ලොව පහළ වන්නා වූ ගෞතම නම් වූ තථාගතයාණන් වහන්සේගේ සසුනෙහි පිළින්දවච්ඡ නමින් ශ්‍රාවකයෙක් ව දේවතාවන්ට ප්‍රියමනාප පුද්ගලයන් අතරින් අග්‍ර වන්නේ ය, යනුවෙනි.

වස්ත්‍ර පූජා කිරීමේ අනුසස්

බුදුරජාණන් වහන්සේට මෙන් ම, ගුණවන්ත මහා සංඝයා වහන්සේ උදෙසා වස්ත්‍ර පූජා කිරීමෙන් අනුසස් අටක් ලදිමි.

උපනූපන් ආත්මභාවයන්හි දී රන්වන් සිරුරක් ඇත්තෙක් වෙමි. රජස් නැත්තෙක් වෙමි. රැස් විහිදෙන ශරීර ඇත්තෙක් වෙමි. ප්‍රතාප ඇත්තෙක් වෙමි. සිනිඳු සිරුරු ඇත්තෙක් වෙමි. සුදු, කහ, රතු පැහැති වර්ණයෙන් යුතු අගනා වස්ත්‍ර ලක්ෂ ගණනින් භවයෙහි උපත ලද සෑම ආත්මභාවයක දී ලැබෙන්නට වීමෙන්, ප්‍රමාණවත් පරිදි පරිහරණය කරමින් අඹුදරු, ඥාති හිතමිත්‍රාදීන් මෙන් ම අගහිඟකම් ඇති ඇත්තන්ට ද පරිත්‍යාග කරන්නෙක් වෙමි. එසේ කිරීමෙන් ලබන්නා වූ මානසික සුවය ද ඉතා ඉහළ ය.

පාත්‍ර පිදීමේ අනුසස්

බුදුරජාණන් වහන්සේට මෙන් ම ගුණවන්ත මහා සංඝ රත්නය උදෙසා පාත්‍ර පිදීමෙන් දහසක් අනුසස් සසර උපදින සෑම ආත්මභාවයක් පාසා ම ලැබුවෙමි.

රන්, මැණික්, රිදී, රන් මැණික් තලි ද හැම ආත්මභවයක දී ම පරිභෝග කරමි. උපද්‍රව, අනතුරු නැත්තෙක් වෙමි. සැමදා කාගේත් ගෞරවයට පාත්‍රවෙමි. ආහාර, වස්ත්‍ර, සයනාසන ලබන්නේ වෙමි. දේපළ, භව භෝග ගින්නෙන්, ජලයෙන්, කෘමි ආදී සත්වයන්ගෙන් විනාශ නොවේ.. චංචල බවින් තොර ස්ථිර සිත් ඇත්තේ වෙමි. සෑම කල්හි ම ධර්මයට කැමැති වෙමි. කෙලෙස් අඩු ය. ආශ්‍රව රහිත වෙමි.

මෙවන් වූ ගුණයෝ දිව්‍ය ලෝකයේ ද, මනුෂ්‍ය ලෝකයේ ද යන සෑම තැන්හි ම ඡායාව වෘක්ෂය හැර නොයන්නාක් මෙන් ම, නො හරිමින් එන්නේ ය.

දැළිපිහියා පිදීමේ අනුසස්

විචිත්‍ර සැරසිලිවලින් සකස් කරන ලද මනා කොට කරන ලද්දා වූ දැළිපිහියා බුදුරජාණන් වහන්සේට හා මහා සංඝයා වහන්සේට පූජා කිරීමෙන් අනුසස් අටක් ලැබී ය.

සෑම ආත්මභාවයක දී ම ක්‍රියාශීලි පුද්ගලයෙකු බවට පත්වෙමි. නො විසිරුණු සිත් ඇත්තෙක් වෙමි. ධර්ම ශාස්ත්‍රයන්හි විශාරද බවට පත්වෙමි. ධෛර්ය ඇත්තෙක් වෙමි. වීර්යය ඇත්තෙක් වෙමි. සිතට එකඟව කටයුතු කරන්නෙකු වෙමි.දර්ශනීය හිසකෙස් ඇත්තෙකු මෙන්ම අකාලයේ කෙස් නො හැලීම. කෙලෙස් සිඳින්නා වූ සියුම් වූ අසම වූ ශුද්ධ වූ ඥානය සෑම කල්හි ම කර්ම බලයෙන් ම ලබන්නෙක් වෙමි.

කැති පිහි පිදීමේ අනුසස්

බාල නොවූ යහපත් ලෙසින් පණ පොවන ලද එනම් යමක් කපා ගැනීමට ප්‍රයෝජනවත් වන්නා වූ පිහියා බුදුරජාණන් වහන්සේට මෙන් ම මහා සංඝ රත්නයට ද ශ්‍රද්ධාව උපදවා ගත් සිතින් පූජා කිරීමේ කුසලයට අනුරූපව අනුසස් පහක් ලැබුවෙමි.

යහපත් සිතක් ඇත්තෙක් වෙමි. වීර්යය වන්ත ද. ඉවසිලිවන්ත ද, අන්‍යයන්ගේ සැපතට කැමැති නම් වූ මෛත්‍රී සහගත වූයෙක් වෙමි. කෙලෙස් නැසීමට හැකියාව ඇත්තා වූ ප්‍රඥාව ලැබීමි.

ඉදිකටු පිදීමේ අනුසස්

කර්මයට අනුරූප පරිදි බුදුන්වහන්සේට හා උත්තම මහා සංඝයාට ඉදි කටු පූජා කිරීමෙන් ආනිසංස හතක් ලබන්නේ ය.

එනම් සැක සිත් නැත්තෙකු වීම. එමෙන් ම අන් අයගේ සැක දුරු කිරීමේ ශක්තිය ඇත්තෙක් වීම. රූප සම්පත්තිය ඇත්තෙක් වීම. දේපළ ඇත්තෙක් වීම. භවයෙහි හැසිරෙන්නා වූ සෑම කල්හි ම තියුණු නුවණක් ඇත්තෙක් වීම. සෑම විටම තැනට සුදුසු නුවණ පහළ වන්නෙක් වීම. එසේ ම මොහඳුර දුරු කරන්නා වූ වජ්‍රමය බඳු කෙලෙස් නසන නුවණ ලැබීමය.

වටාපත් පූජා කිරීමේ අනුසස්

තථාගතයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දහදිය වළක්වා ගැනීම උදෙසා ශෝභන වූ පවන් අතු හෙවත් තල් අතු ද පූජාකිරීමේ ආනිසංස අටක් ලබන්නෙමි.

සීතලයෙන් හිරිහැරයක් නොවීම. උෂ්ණයෙන් පීඩා නො ලබන්නෙමි. ශරීරයේ දාහය නැතිවීමි. සිත තවන්නා වූ අධික රාගයෙන් තොර කෙනෙක් වීමි. ඒ ලෙසින් ම දැඩි ද්වේශයෙන් තොර කෙනෙක් වීමි. නුවණ නැති එනම් මෝඩයෙක් ව උපත නොලැබීම. මාන්නය නැත්තෙක් වීමි. යම් යම් වැරැදි දෘෂ්ඨීන් එනම් වැරැදි විශ්වාස ඔස්සේ නොදුනුවන්නෙක් වීමි.

පෙරහන්කඩ පිදීමේ අනුසස්

බුදුන් වහන්සේ ප්‍රමුඛ වූ මහා සංඝයා වහන්සේට පෙරහරන්කඩ පූජා කිරීමේ අනුසසින් කර්මයට අනුරූප වූ අනුසස් පහක් ලබන්නෙමි.

සෑම දෙනාම ඉක්ම වූ දිව්‍යායුෂය ලැබීම. සොර සතුරු බියක් ඇත්තෙක් නොවන්නේ වෙමි. අවි ආයුධයෙන් හිංසාවක් නොවන්නේ ය. ඒ වගේ ම වස විෂ ආදියෙන් පීඩාවක් නොවීම. පෙරහන්කඩ පිදීමේ අනුහසින් සසර වාසය කළ සැමදා අතුරු මරණයක් නැත්තේ වෙමි.

 

නිකිණි අමාවක පෝය


නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]