UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවන ධර්ම සංගායනාව - 1 කොටස: නිග්‍රෝධ සාමණේරයන්ගේ කතාව

තෙවන ධර්ම සංගායනාව - 1 කොටස:

නිග්‍රෝධ සාමණේරයන්ගේ කතාව

අද අප ඉගෙන ගන්නේ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායකත්වයෙන් පැවැත් වූ තුන්වැනි ධර්ම සංගායනාව පිළිබඳව යි.

භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු සතරවෙනි මාසයෙහි මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ තවත් මහ රහතන් වහන්සේ විසින් පළමුවෙන් ම යම් ධර්ම සංගායනාවක් සිදු කළාද, එය “ථේරියා” ලෙස හඳුන්වනු ලැබුණි. එනම් තෙරුන් වහන්සේලාගේ දෙය යන්න යි. එම ථේරියා වූ ථේරවාදය පමණි. මුල් අවුරුදු සියය ඇතුළත පැවතුණේ.

ශාසනයේ බිඳීයාම

දෙවන ධර්ම සංගායනාවෙන් පසු අන්‍ය වූ ආචාර්යවාදයන් පහළ වුණි. දෙවන ධර්ම සංගායනාව සිදු කළ ඒ ස්ථිවිරයන් වහන්සේ විසින් දස අකැප වස්තුවෙහි පක්ෂ ගත් භික්ෂූන් පාපී භික්ෂුන් වශයෙන් නිග්‍රහයට ලක් කළහ. ගණනින් දස දහසක් වූ එම භික්ෂූන් නිග්‍රහ ලැබූ කාරණය නිසා මහා සංඝයාට අයත් පිරිස යන අර්ථයෙන් මහා සාංඝික නමින් වෙන ම ආචාර්යවාදයක් ඇතිකර ගත්හ. ඒ මහා සාංඝික භික්ෂූන්ගෙන් කොටස් දෙකක් බිඳී ගොස් ගෝකුලිකවාදය හා ඒකබ්භෝහාරික නිකාය වශයෙන් ආචාර්යවාදය දෙකක් ඇතිවුණි. ගෝකුලිකවාදී භික්ෂු නිකායෙන් තවත් කොටස් තුනක් බිඳී ගියේ ය.ඒ ප්‍රඥාප්තවාදී, බාහුලිකවාදී, චේතියවාදී යනුවෙනි. මහා සාංඝික නිකාය සමඟින් එවිට භික්ෂූ නිකාය හයක් ලෙස බිහි විය.

නැවත ස්ථවිරවාදී සංඝයාගෙන් බිඳී මහිංසාසක සහ වජ්ජිපුත්ත ලෙස නිකාය දෙකක් ඇතිවුණි. පසුව වජ්ජිපුත්තක නිකායට අයත් භික්ෂූන් තවත් කොටස් සතරකට බෙදී ගියහ. ඒ ධම්මුත්තරීය, භද්‍රායතික, ජන්නාගරික සහ සම්මිතීය වශයෙනි. එමෙන් ම මහිංසාසක භික්ෂු පිරිසෙනුත් සර්වාස්ථිවාදි සහ ධර්මගුප්තික නමින් තවත් නිකාය දෙකක් බිහිවූහ. සර්වාස්ථිවාදී භික්ෂූ නිකායෙන් කස්සපීය නමින් තවත් නිකායක් බිහිවුණි. ඒ කස්සවීයවාදී භික්ෂු පිරිසෙන් වෙන්වී සංක්‍රාන්තික නමින් තවත් භික්ෂු නිකායක් බිහිවුණි. ඒ සංක්‍රාන්තිකවාදී භික්ෂු නිකායෙන් බිඳීගොස් සූත්‍රවාදී නමින් නිකායක් බිහිවුණි.

ඒ ආකාරයට මුල් ථේරවාදයෙන් බිඳී ගිය මහිංසාසක නිකායේ සිට සූත්‍රවාදී නිකාය දක්වා භික්ෂූ නිකායයන් එකොළහක් විය. ස්ථවිරවාදය (රහතන් වහන්සේ නියෝජනය කළ පාර්ශ්වය) වෙන ම ගත්විට සියල්ල ම දොළොසක් විය. ස්ථවිරවාදී භික්ෂු නිකාය දොළොස යි, පෙර සඳහන් කළ මහිංසාසක භික්ෂු නිකාය හයයි. එකතු කළ විට ආචාර්යවාද (ගුරුකුල) දහ අටකට සඟ පිරිස භේදභින්න වී ගියහ. ඒ අයුරින් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු වසර දෙසියයක් ඇතුළත මූලික ස්ථිරවාදයෙන් වෙන් වූ ආචාර්යවාද නිකායයන් දහහතක් හටගෙන තිබිණි.

අශෝක අධිරජුගේ බිහිවීම

දෙවන ධර්ම සංගායනාවට අනුග්‍රාහකත්වය දැක් වූ කාලාශෝක රජතුමාට පුත් කුමාරවරුන් දස දෙනෙක් සිටියේ ය. ඒ සහෝදරයන් දස දෙනා අවුරුදු විසි දෙකක් පාටලීපුත්‍ර නගරයේ රාජ්‍ය අනුශාසනාව සිදු කළහ. ඔවුන්ගෙන් පසු නන්ද නමින් රාජ පරම්පරාවක් බිහි වී, ඔවුන්ගේ රජවරු නව දෙනෙක් ක්‍රමයෙන් රාජ්‍ය පාලනයෙහි යෙදුණහ. විඩූඩභ රජු විසින්, භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේ දී ශාක්‍යයන්ගෙන් පළිගැනීම පිණිස මහා ශාක්‍ය සංහාරයක් කළේ ය. එයින් බේරුණු ශාක්‍යවරුන් හිමාලයට ගොස් සිය පරම්පරාව දිගට ම ගෙන යන ලදී. ඔවුන්ගේ රාජ සංකේතය වශයෙන් මොණරෙකු තබාගත් නිසා ඔවුන්ගේ වංශය මෞර්ය වංශය නමින් ප්‍රකට විය.

එම මෞර්ය වංශයේ උපන් නොයෙක් සෞභාග්‍යයෙන් යුතු වූ චන්ද්‍රගුප්ත නම් කුමරෙකු ප්‍රසිද්ධව සිටියේ ය. ඔහු රාජ්‍යත්වය සඳහා සුදුස්සෙක් බවට පත් කරවූයේ චාණක්‍ය නම් බ්‍රාහ්මණයා යි. ධනනන්ද රජු ඝාතනය කරවා නන්ද රාජ වංශය අවසන් කොට චන්ද්‍රගුප්ත කුමරු මුළු දඹදිව් තලයට ම රාජ්‍යනුශාසනා පිණිස අභිෂේක කරවී ය. ඒ චන්ද්‍රගුප්ත රජතුමා විසි හතර වසරක් පාඨලීපුත්‍රයෙහි රජකම් කළේ ය. ඉන්පසු ඔහුගේ පුත්‍ර වූ බින්දුසාර රජතුමා විසි අට වසරක් රජකම් කළේ ය.

බින්දුසාර රජුට ප්‍රසිද්ධ පුත් කුමාරවරු එකසිය එක් දෙනෙක් සිටියහ. ඔවුන් අතරින් අශෝක කුමාරයා පුණ්‍ය තේජසින් බල සෘද්ධියෙන් යුතුයි. අශෝක කුමරු විවිධ මව්වරුන්ගෙන් ලද ඒ සොයුරු කුමාරවරුන් අනූ නව දෙනෙකු ඝාතනය කරවී ය. මුළු මහත් දඹදිවට තනි රජෙක් බවට පත්විය. ඒ අශෝක රජු බිහිවන විට අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර දෙසිය දහඅටක් ඉක්මගොස් තිබුණි. මහා යස පිරිවර ඇති අශෝක රජතුමා සිව් නගරයේ දී තමන්ගේ රාජාභිෂේකය සිදුකර ගත්තේ ය. අශෝකයන්ගේ රාජාභිෂේකයත් සමගම අහසේ මෙන් ම පෙළොවෙත් යොදුනක් (කිලෝ මීටර් 10 ක් පමණ) ප්‍රදේශය පුරා නිරන්තරයෙන් තමන්ගේ ආඥාව පිහිටන සෘද්ධි තිබුණි.

අශෝක අධිරාජ්‍යයා දිනක් සිටුමැදුරු කවුළුවෙන් එළිය බලාගෙන සිටි අවස්ථාවක රාජාංගනය අසල වීදියේ ශාන්ත වූ, දමනය වූ ඉඳුරන් ඇති සංසුන්ව වඩිනා වූ නිග්‍රෝධ නම් රහත් සාමණේරයන් වහන්සේ දුටහ. හත් හැවිරිදි වූ රහතන් වහන්සේ කෙරෙහි රජතුමාගේ සිත පැහැදුණි.

නිග්‍රෝධ සාමණේරයන්ගේ උපත

ඒ නිග්‍රෝධ සාමණේරයන් බින්දුසාර රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ සුමන කුමාරයාගේ පුත් කුමාරයා යි. අශෝකයන් සුමන යුව රජු ඝාතනය කොට පාඨලීපුත්‍රය අගනුවර රාජ්‍ය අල්ලාගත් විට ගර්භනීව සිටි යුව රජු දේවිය හෙවත් සුමනා කුමරිය සැඩොල් ගමකට පළා ගියා ය. ඒ ගමේ ප්‍රධාන සැඩොලාගේ නිවස අසල බලසම්පන්න දෙවියෙක් අධිගෘහිතව සිටි විශාල නුග රුකක් තිබුණි.ඒ දෙවියා ඇයට අනුකම්පා කොට ඈ වෙනුවෙන් නිවසක් මවා “සුමනාවෙනි, මෙහි එන්න” කියා ඈ ඒ නිවසේ රඳවා ගත් බව සඳහන් වෙයි. එදින ම ඇයට පුත් රුවනක් ලැබුණ අතර, තමන්ට දෙවියන්ගෙන් ලැබුණ උපකාරය සිහි කරමින් තම පුතාට නිග්‍රෝධ යන නම තැබුවේ ය. එම ගමේ සැඩොල් ප්‍රධානියා ඉතා ගෞරවයෙන් යුතුව ඔවුන්ට සත් අවුරුද්දක් මැනවින් උපස්ථාන කළේ ය.

දිනක් මහවරුණ නම් රහතන් වහන්සේට සත් හැවිරිදි නිග්‍රෝධ කුමාරයා දකින්නට ලැබුණි. උතුම් මහ රහත් බව ලබා ගන්නට තරම් වාසනා මහිමයක් මේ දරු සිඟිත්තාට ඇති බව වටහාගත් උන්වහන්සේ දරුවා පැවිදි කිරීමට මෑණියන්ගෙන් විමසූ සේක. මෑණියන්ගේ අවසරයෙන් සිඟිත්තාට පැවිදිවීමට අවසර ලැබුණි. පැවිද්දට කෙස් බාන අවස්ථාවේ දී ම නිග්‍රෝධයන් වහන්සේ උතුම් රහත් ඵලයට පත්වුණි. එදා උන්වහන්සේ දකුණු දොරටුවෙන් ඇතුළු වී නගරයට පැමිණ, සැඩොල් ගමට යන මාර්ගය පසු කරමින් රාජාංගනයට යන මාර්ගය ඔස්සේ ශාන්ත වූ ඉරියව්වලින් යුතුව වඩින නිග්‍රෝධයන් වහන්සේ දුටු පමණින් රජතුමාගේ සිත පැහැදුණි. පෙර ආත්මයේ එක කුස උපන් සහෝදරයෙක් වී එකට වාසය කළ නිසා නිග්‍රෝධයන් වහන්සේ කෙරෙහි මහත් වූ ආදරයක් උපන්නේ ය. සාමණේරයන් වහන්සේ කෙරෙහි බලවත් පේ‍්‍රමයකින් යුක්ත වූ රජතුමා ඉතා ඉක්මණින් ම ඒ ශාන්ත ගමනින් වඩිනා ශ්‍රමණයන් වහන්සේ කැඳවීය.

මාලිගාවට වැඩම කළ සාමණේරයන් වහන්සේට මහත් සේ පැහැදුනු රජු “ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේට ගැලපෙන ඕනෑම ආසනයක අසුන්ගත මැනවයි" කී ය. වටපිට බැලූ නිග්‍රෝධයන් වහන්සේ වෙනත් භික්ෂුවක් පෙනෙන්ට නො සිටි නිසා තිබූ විශාල ආසනය වන සිංහාසනය වෙත වැඩම කළ සේක. එසේ වඩිද්දී “අද මේ සාමණේරයන් වහන්සේ මාගේ මාලිගයෙහි අධිපති බවට පත්වෙනවා නොවැ”, කියා රජතුමාට සිතුණි. අශෝක මහරජුගේ අතින් අල්ලාගෙන සිංහාසනයට ගොඩ වූ නිග්‍රෝධයන් වහන්සේ රාජාසනයෙහි අසුන් ගත් සේක. අශෝක රජතුමා රාජාසනයෙහි වැඩ සිටින සාමණේරයන් වහන්සේගේ ඉරියව් කෙරෙහි පැහැදී මහත් ගරුසරු දක්වා අතිශයින් ම සතුටට පත් වුණි. තමන් උදෙසා පිළියෙළ කරන ලද රාජකීය භෝජනවලින් උන්වහන්සේට මැනවින් දන් පැන් පිළිගැන්වී ය. ඉන්පසු රජතුමා “සාමණේරයන් වහන්ස, සම්බුදු රජාණන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය මාහට ද පවසනු මැනවයි” ඉල්ලා සිටියේ ය.

එවිට නිග්‍රෝධ රහතන් වහන්සේ රජතුමාට උතුම් ධම්ම පදයෙහි ඇතුළත් මනහර සම්බුදු දෙසුමක් වන අප්‍රමාද වර්ගයට අයත් ගාථාවන් තේරුම් සහිතව වදාළ සේක. එය ඇසු රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් සහ චිත්ත පී‍්‍රතියක් ඇතිකර ගත්තේ ය.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]