UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

මැදගොඩ ආනන්ද නා හිමි

මැදගොඩ ආනන්ද නාහිමිපාණන් වහන්සේ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ , පාත දුම්බර, මැදදුම්බර ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූහ.

ඒ පිළිබඳව ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය ඉකුත් 31 වන දින අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි. අභිනව නාහිමියන් පිළිගැනීමේ උත්සවය සැප්තැම්බර් මස 1 වන දින ප.ව. 2.00 ට පහළ යටවර ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

1964 දෙසැම්බර් 23 වන දින ජන්මලාභය ලැබූ එම කුමරුවාගේ පින්බර මවුපියන් වූයේ මහනුවර හාරිස්පත්තුවේ ඉඩමේගම එළමල්දෙණිය වලව්වේ පුංචි බණ්ඩා සහ සමරකෝන් බණ්ඩාරලාගේ පුංචි කුමාරිහාමි දම්පතීන් දෙපළයි.

පූජාපිටිය මැදගොඩ කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වූ මෙම කුමරු 1976 වනතෙක් එහි අධ්‍යාපනය ලැබුවේ ය. 1976 දෙසැම්බර් මස වත්තේගම පහළ යටවර ශ්‍රී නන්දනාරාමය, සපුවිද පුරාණ විහාරය යන උභය විහාරාධිපති දකුණු මාතලේ ප්‍රධාන සංඝ නායක පුලියද්දේ ඉන්දරතන නා හිමියන්ගේත්, විහාරාධිකාරි මහෝපාධ්‍යාය සපුවිද සීලරතන මා හිමියන්ගේත් ආචාර්යත්වයෙන් ප්‍රවෘජා භූමියට ඇතුළත් වූයේ ය.

1978/1979 දෙවසර තුළ ගම්පහ පහළගම විද්‍යා රවින්ද්‍ර පිරිවෙනෙන් ද 1980/1985 දක්වා රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලැබූහ. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1992 දී දර්ශනය විෂයය පිළිබඳව ගෞරව උපාධිය ලබාගත්හ. 1998 පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය ද ලබා ගත්හ. අස්ගිරි මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ දී පුලියද්දේ ඉන්දරතන නාහිමියන්ගේත් සපුවිද සීලරතන මා හිමියන්ගේත් ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.

1993 දී මාතලේ ධර්මරාජ පිරිවෙනේ ධර්මාචාර්යයන් වහන්සේ නමක් වූ උන්වහන්සේ එම පිරිවනෙහිම නියෝජ්‍ය පරිවෙණාධිපති තනතුරට පත්වෙමින් මේ දක්වාම මහඟු කාර්යභාරයක් ඉටු කරති.

2015/2017 කාලය මධ්‍යම පළාත් පිරිවෙන් ත්‍රිපිටක ධර්මය විෂයය පිළිබඳ ගුරු උපදේශකවරයෙකු ලෙස තේරී පත් විය.

2003 දී සපුවිද සීලරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමත් සමඟ පහළ යටවර ශ්‍රී නන්දනාරාමය පතන්පහ සිරි ඉසිපතනාරාමය යන විහාරයන්හි විහාරාධිපති තනතුරට පත් වූහ. මෙම විහාරද්වයම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ජිනරතන දහම් පාසල ප්‍රදේශයේ පි‍්‍රයශීලි දහම් පාසලක් වී ඇත. උන්වහන්සේගේ මෙකී ශාසනික හා ජාතික වශයෙන් කරනු ලැබූ සේවාව අගයනු වස් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ධුරන්ධර ශාස්ත්‍රපති පණ්ඩිත වරකාගොඩ ඤාණරතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ සානුනායක විංශද්වර්ගික කාරක සංඝසභාව මඟින් “සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්දරතන” යන ගෞරව නාමය සහිතව පාතදුම්බර , මැදදුම්බර ප්‍රධාන අධිකරණ සංඝ නායක තනතුර පිරිනමා ඇත.


හාල්දඬුවන ධම්මරක්ඛිත නා හිමි

හලාවත හාල්දඬුවන නම් ගම්වරයෙහි විසූ මාපා හාමිල්ලාගේ කර්නිස් අප්පුහාමි හා දෝන කතිරිනා උපාසිකා මාතාව දම්පතීන්ට 1894 දෙසැම්බර් 11 වනදා පින්බර පුත්රුවනක් ලැබිණි.

1903 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපතිව වැඩ විසූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට ගෙන ඉඳුරුවේ පියදස්සී, හාල්දඬුවන බුද්ධරක්ඛිත යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් පැල්මඩුලු රාජමහා විහාරස්ථානයෙහි දී පැවිදි බව ලැබී ය. රත්නපුර ශ්‍රී සද්ධර්මාලංකාර පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබී ය. 1915 දී උන්වහන්සේ මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලැබූහ. 1919 දී එවකට නොදියුණුව පැවති පැල්මඩුල්ලට වැඩම කර විශාල සේවාවක් සිදු කළහ. ප්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට අවට පාඨශාලා සඳහා භූමි භාගයන් පරිත්‍යාග කරමින් ද තමන් වහන්සේගේ වියදමින් විද්‍යාස්ථාන ඉදිකරමින් ද ගිහි පැවිදි දෙපක්ෂයේම බුද්ධි වර්ධනය සඳහා කළ සේවාව අතිවිශාලය. බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට පුරෝගාමීත්වයෙන් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කළ අතර කාමරංගාපිටිය විද්‍යාලය, පනාවැන්න විද්‍යාලය, පාතකඩ විද්‍යාලය අරඹා රත්නපුර බෞද්ධ සංගමයට භාරදී ලියාපදිංචි කිරීමට ද කටයුතු කළේ ය.

සබරගමු පළාතේ දහම් පාසල් ආරම්භකයාණෝ උන්වහන්සේ ය. 1925 දී ශ්‍රී සුමංගල දහම් පාසල ආරම්භ කළ උන්වහන්සේ විනය ගරුක භික්ෂු පරපුරක් බිහි කළේ ය.

1866 දී පැල්මඩුලු රාජමහා විහාරස්ථානය පසුබිම් කරගෙන හික්කඩුවේ ශ්‍රී සුමංගල, ඉඳුරුවේ සුමංගල ආදී මාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විනය සංගායනාවක් සිදුකර ඇත. මෙම ඓතිහාසික විනය සංගායනාව සිදුකළ විහාරස්ථානයේ වැඩ වෙසෙන උගත් පඬිවරුනකට උපහාරයක් වශයෙන් ලංකා බෞද්ධ මණ්ඩලය ත්‍රිපිටක පරිවර්තන සභාවේ සාමාජීකත්වය නාහිමිපාණන් වහන්සේට පිරිනමා ‘චුල්ලවග්ග පාලිය’ නම් විනය ග්‍රන්ථය පරිවර්තනය සඳහා භාරදීම විශේෂ සිද්ධියකි. උන්වහන්සේ බුරුමයේ පැවැති ජට්ඨ මහා සංගායනාවේ වර්ෂ තුන හමාරක් යෙදී සිටි අතර මේ කාලය තුළ සිව් වාරයක් බුරුම රටට වැඩම කර ඇත. බුද්ධ ශාසන කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලැබූ උන්වහන්සේ වසර පහළොවක් විද්‍යෝදය පිරිවෙනේ ප්‍රශ්න කර්තෘ ධූරය දැරූ අතර ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභික ධූරයක් ද දරා ඇත. විද්‍යෝදය විශ්විවිද්‍යාලය ආරම්භයේ පටන් බුද්ධ ධර්මය පිළිබඳ කථිකාචාර්ය පදවියක් ඉසුලූ උන්වහන්සේගේ නිහඬ ධර්ම ශාස්ත්‍රීය සේවාවට උපහාරයක් වශයෙන් ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය මගින් ‘සාහිත්‍යශූරී’ සම්මාන උපාධිය පිරිනමනු ලැබීය.

නාහිමිපාණන් වහන්සේගේ ඒ උදාර ජීවිතයෙන් සිදුවූ සියලු ශාසනික සේවා ගෞරවාන්විතව සලකමින් සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් සම්මානනීයත්වයට පත්වූහ.

නිරෝගීව වැඩ සිටි සෑම අවස්ථාවක දී ත්‍රිපිටක ධර්ම පුස්තකයක් කියවීම උන්වහන්සේගේ සිරිත විය. පරම සේවාවක් සිදුකළ උන්වහන්සේ 1981 සැප්තැම්බර් මස 03 වන දින අපවත් වී වදාළහ.

උන්වහන්සේගේ ගුණ සමරා 2018 සැප්තැම්බර් මස 03 වන දින සඟ සතු දානමය පින්කමක් සිදු කිරීමට ඓතිහාසික පැල්මඩුලු රජමහා විහාරාධිපති, රත්නපුර කරංගොඩ පොත්ගුල් රාජමහා විහාරාධිපති, ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී සුමංගල රතනපාල බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්නාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කටයුතු යොදා ඇත.


බණ්ඩාරවෙල සාරද නා හිමි

මල්වතු මහා විහාරයේ දී ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවෙන් 2018 අගෝස්තු 17 දින පිදුම් ලද බණ්ඩාරවෙල සාරද නාහිමි ආදර්ශවත් යතිවරයෙකි.

බණ්ඩාරවෙල වැවතැන්න ග්‍රාමයේ දොන් ලොකු ලියනගේ බණ්ඩාර සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ කුමාරිහාමි යන දම්පතීහු මව්පියන් ලෙස 1965 ජූලි 13 දින උන්වහන්සේ ජන්ම ලාභය ලැබූහ. 1979 මැයි 30 දි කන්නිමහර ජිනරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා වීරගුලේ ශ්‍රී සරණතිස්සාභිධාන බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ප්‍රවෘජ්‍යා භූමියට පත් විය. සාමණේර බණ දහම්, හැදෑරූ උන්වහන්සේ 1980 ජනවාරි 02 දා බැණ්ඩියමුල්ල ශ්‍රී විද්‍යාශේඛර මහ පිරිවෙන්පති පණ්ඩිත හිමිපාණන් වෙත වැඩිදුර අධ්‍යාපනය සඳහා භාර දෙන ලදී. ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගය, අ.පොස. උසස් පෙළ විභාගය ඉතා විශිෂ්ට අන්දමින් සමත් වූහ.

1986 දී උපසම්පදාව ලැබූ සාරද හිමියෝ පෑලියගොඩ විදුලකර මහ පිරිවෙන්පති වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක මාහිමිපාණන්ගේ ආශීර්වාදය ඇතිව ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගයත්, ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයෙන් සමත් ව රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත්හ. ගුරු වෘත්තියට අදාළ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා විභාගය සමත් වූයේ පිරිවෙන් ගුරුවරයෙක් ලෙස ය. 1994 දී කැලණිය සරසවියේ දී උන්වහන්සේ විශේෂවේදී පාඨමාලාව හදාරා ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය ලැබූහ. දැනුමින් පිරි සාරද හිමියෝ කඩවත සූරිගම ශ්‍රී නාගර්ජුන මහ පිරිවෙන්හි වසර 12 ට ආසන්න කාලයක් සේවය කළහ. බැණ්ඩියමුල්ල ශ්‍රී විද්‍යාශේඛර මහ පිරිවෙන්හි සේවය කළ උන්වහන්සේ එහි පරිවෙනාධිපති ධූරයට පත්විය.

සංස්කෘත විෂයට අතිශය ඇළුම් කරන අභිනව නාහිමිපාණන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයීය යක්කල ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයෙහි බාහිර කථිකාචාර්යවරයෙක් වීම ද, 2017 නව නිපුණතා පාදක මූලික පිරිවෙන් විෂය නිර්දේශයට අදාළ 4 – 5 වසරවල පෙළ පොත් සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෙකු වීම ද ලද සුවිශේෂ වරප්‍රසාද අතර කිහිපයකි.

මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය හොබවති.


මහඔය අනුරුද්ධ හිමි

හීන්මැණිකා සහ ලොකුබණ්ඩා යන දෙපොළ උන්වහන්සේගේ මව්පියන් වූහ.

වයස අවුරුදු 15 දී මහඔය අනුරුද්ධ නමින් අග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ වෙතින් පැවිදි බිමට පත්විය .අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නා සමිඳුන් හා අම්පිටියේ ශ්‍රී රාහුල හිමිපාණන් උන්වහන්සේට ගුරුහරුකම් ලබා දුන්හ. 1989 උපසම්පදා ශීලයෙහි පිහිටි උන්වහන්සේ 1990 දී පණ්ඩිත විභාගය සමත්ව 1993 දී ශාස්ත්‍රපති උපාධියෙන් ද පිදුම් ලැබූහ. ගංගොඩවිල සෝම හිමියන් ආරම්භ කරනු ලැබූ තරුණසීල සමාදානයේ අනුශාසකත්වය දරමින් ද, සිරි වජිරඤාණ ධර්මායතනයේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් ද, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මඟපෙන්වීම සිදුකරමින් සසුන්කෙත පෝෂණය කිරීමේ මහඟු මෙහෙවරෙහි දායකත්වය ලබා දෙති.

ගිලන් වූ අසරණයින්ට රෝද පුටු, අත්වාරු, කෘතිමපාද, අක්ෂිකාච පරිත්‍යාග කිරීම ,පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, රණවිරුවන්ට කෘතිම පාද ලබාදීම, දුෂ්කර පන්සල්වලට ගිරිභණ්ඩ පූජා කිරීම සහ නැතිබැරි අය සඳහා වියළි සලාක ලබාදීම ආදි දෑ උන්වහන්සේ විසින් සිදුකරනු ලබන සමාජ සත්කාර්යන්ගෙන් කිහිපයකි. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව,ජපානය, ඉතාලිය ආදි රටවල ධර්ම ප්‍රචාරක කටයුතු වලද නියැලෙන උන්වහන්සේ සසුන් කෙත පෝෂණය කිරීමට මහත් වෙහෙසක් දරන යතිවරයාණන් වහන්සේ නමකි. 2018 අගෝස්තු මස 18 දින සිය පනස් වන ජන්මදිනය සැමරූ උන්වහන්සේට චිරාත් කලක් නිදුක් නිරෝගීව සසුන් වැඩ වඩන්නට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා!

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]