UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටුවා රසකතා- 11: උකටලී නො වුණු මහාමිත්ත තෙරනුවෝ

උකටලී නො වුණු මහාමිත්ත තෙරනුවෝ

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ අංගුත්තර නිකාය අටුවාව වන මනෝරථපූරණියෙහි සඳහන් ලක්දිව කතා ප්‍රවෘත්තියකි.

බුද්ධඝෝෂ හිමියන් මෙම කතාව උදාහරණ ලෙස යොදා ගන්නේ සප්ත බොජ්ඣංග ධර්මයන් අතර එන විරිය සම්බොජ්ඣංගය විස්තර කිරීමටය. බොජ්ඣංග ධර්ම හතකි. එනම් සති බොජ්ඣංග,ධම්මවිචය බොජ්ඣංග, විරිය බොජ්ඣංග, පීති බොජ්ඣංග ,පස්සද්ධි බොජ්ඣංග,සමාධි බොජ්ඣංග ,උපේක්ඛා බොජ්ඣංග ලෙස යි.මෙම කථාවේ දී විරිය බොජ්ඣංගය විස්තර වෙයි.

විරිය බොජ්ඣංගය අටුවාවේ විස්තර වන්නේ මෙසේ ය. විරිය සම්බොජ්ඣංගය ඉපදවීම සඳහා එකොළොස් ආකාර වූ ධර්මයන් ඉපද විය යුතු ය. ඒවා මෙසේ ය. අපාය බිය මෙනෙහි කිරීම , අනුසස් දක්නා බවින් යුක්ත වීම, ගමන්මග මෙනෙහි කිරීම, පිණ්ඩපාත ආහාරයට ගරු කිරීම, දායාද මහත්වය සැලකීම, ශාස්තෘ මහත්වය සැලකීම, ජාති මහත්වය සැලකීම, සබ්‍රහ්මචාරි මහත්වය සැලකීම, කුසීත පුද්ගලයින් දුරු කිරීම, පටන්ගත් වීර්ය ඇති පුද්ගලයින් ඇසුරු කිරීම , එහි නියැළී සිටීම යනු මේවා විරිය බොජ්ඣංග ඉපිදවීම සඳහා වන ධර්මයෝ ය.

කස්සක ලෙන් වැසි මහාමිත්ත තෙරණුවන්ට එක් උපාසිකාවක් පුත්‍ර ස්ථානයෙහි තබා දෛනිකව පිණ්ඩපාතයෙන් උපස්ථාන කරයි. උන්වහන්සේ ද වැඩම කොට දානය වළඳ යි. දිනක් එම උපාසිකාව යම් කටයුත්තක් සඳහා අරණට යන්නේ තම දියණිය අමතා “දියණියනි, අසුවල් තැන පැරැණි සහල් ද, අසුවල් තැන කිරි ද, අසුවල් තැන ගිතෙල් ද, අසුවල් තැන පැණි ද ඇත. ඔබගේ සොයුරු මිත්ත තෙරුන් වහන්සේ වැඩම කළ පසු කිරි මිශ්‍ර බත් පිස ගිතෙල් සමඟ හකුරු පිළිගන්වන්න. නුඹ ද අනුභව කරන්න. මම ඊයේ පිසූ හීල් බත් අනුභව කළෙමි” යනුවෙන් පැවසී ය. ඉන් පසු දියණිය “මෑණියනි, ඔබ දහවලට කුමක් අනුභව කරන්නේදැයි” ඇසී ය. එවිට උපාසිකාව “දියණියනි, පලා වර්ග පිස හුණු සහලින් කැඳක් පිස තබන්න”යැයි පවසා ඇය පිටත් වූවා ය.

තෙරුන් වහන්සේ ද හැඳ පොරවා පාත්‍රය අතට ගත් සැනින් ම එම කතාව අසා තමන්ට ම මෙසේ අවවාද කර ගත්හ. “මහ උවැසිය වනාහි කැඳ සමඟ ‘හීල්බත් කෑවා ය.දවල්ට ද කොළ ඇඹුල් මුසු පතක් අනුභව කරන්නී ය. නුඹ සඳහා පැරැණි සහල් මී පැණි, හකුරු ආදිය ගැන කිය යි. ඒ සඳහා මෝ තොමෝ කෙත්වතුවල වැඩ කිරීම, බත් හා ඇඳුම් ආදිය නුඹගෙන් බලාපොරොත්තු නොවේ.ති‍්‍රවිධ සම්පත් ප්‍රාර්ථනා කරමින් ම දෙයි. නුඹ මැයට ඒ සම්පත් දීමට හැක්කෙහි ද? නො හැක්කෙහි ද”? යනුවෙනි.

මේ පිණ්ඩපාතය නුඹ විසින් රාග සහිතව, ද්වේෂ සහිතව, මෝහ සහිතව ගැනීමට නො හැකි යැයි සිතා පාත්‍රය පසුම්බියෙහි බහා ආපසු හැරී කස්සක ලෙනට ම ගොස් පාත්‍රය ඇඳයට දා සිවුරු සිවුරු වැටෙහි ද තබා රහත්බවට නො පැමිණ නො නික්මෙමැයි” වීර්ය අදිටන් කොට හුන්හ. දිගු කලක් අප්‍රමාදීව විසූ උන්වහන්සේ විදර්ශනා වඩා පෙර බතෙහි ම රහත්බවට පත්ව පිපෙන පියුමක් මෙන් මහරහත්ව සිනහවක් පහළ කරමින් නික්මුණ සේක.

එවිට තෙරුන් වහන්සේගේ ක්‍රියාව දුටු ලෙන්දොර අධිගෘහිත දෙවියා මෙසේ කී ය.

“ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාර වේවා. පුරුෂුත්තමය, ඔබට නමස්කාර වේවා. ඔබගේ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු ද, නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේ දක්ෂිණාවට සුදුස්සෙක් ම වූවෙහි ය. ස්වාමීනි, පිඬු පිණිස වැඩි ඔබ වැනි රහතන් වහන්සේට භික්ෂාව දී මහලු ස්ත්‍රීහු දුකින් මිදෙතියි” යනුවෙන් පැවසී ය.

තෙරුන් වහන්සේ නැඟිට දොර හැර කල් බලන්නේ තවම උදෑසන යැයි දැන පා සිවුරුගෙන පිඬු පිණිස ගමට පිවිසියහ. දැරිය ද බත් පිළියෙළ කොට “මාගේ සොයුරු වූ ආර්යන් වහන්සේ දැන් එන්නේ ය. දැන් එන්නේ ය” යැයි දොරටුව බලමින් හුන්නා ය. ඕ තොමෝ තෙරුන් වහන්සේ සපැමිණි කල්හි පාත්‍රය ගෙන ගිතෙල් පැණි යොදා කිරිපිඬු ආහාර පුරවා තෙරුන් වහන්සේගේ අතෙහි තැබුවා ය. තෙරුන් වහන්සේ සුවපත් වේවායි පින් දී වැඩියහ. එදින තෙරුන් වහන්සේගේ සමේ පැහැය බෙහෙවින් පිවිතුරු වූයේ විය. බෙහෙවින් ප්‍රසන්න ඉඳුරන් ඇත්තේ විය. මුහුණ නටුවෙන් මිඳුණු තල් ගෙඩියක් මෙන් අතිශයින් බැබළී ය.ටික වේලාවකට පසු උවැසිය අරණෙන් අවුත් “කිම දියණියනි, ඔබගේ සොයුරු වූ ආර්යන් වහන්සේ ආවේදැයි” ඇසී ය. දියණිය තම මවට සියලු පුවත් සැළ කළහ. එවිට උවැසිය “අද අප පුතණුවෝ පැවිදි කිස මුදුන් පැමිණියේ යැ”යි සිතා “දරුව, ඔබගේ සොයුරා බුදු සසුනෙහි ඇළෙයි. උකටලී නොවෙයි” කී ය.

යමෙක් ශ්‍රද්ධා සම්ප්‍රයුක්තව දන් දෙන්නේ ද එය මහත්ඵල මහානිශංස දානයකි. ශ්‍රද්ධාව ඇතිවීම සඳහා කාරණා තුනක් සම්පූර්ණ විය යුතු ය. එනම් සිල්වතුන් වහන්සේලා දැකීම, සද්ධර්මය ඇසීමේ ආසාව හා මසුරු බව දුරු කිරීම යි. මෙසේ යමෙක් ශ්‍රද්ධාවෙන් පිළිගන්වන දානය ලබා ගැනීමට එහි ප්‍රතිග්‍රාහක පක්ෂය ද සිල්වත් බවින්, ගුණවත් බවින් යුතුව එම දානය ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටිය යුතු ය. ඉහත කතාව ඒ සඳහා හොඳම උදාහරණයකි. දායක පක්ෂය මෙන්ම ප්‍රතිග්‍රාහක පක්ෂය ද උක්ත කාරණාවලින් පරිපූර්ණ වූ කල එය දෙපාර්ශ්වයෙහි ම ශුභසිද්ධිය සඳහා ම හේතු වේ.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]