UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

61 වන වියට පාතබන ආණමඩුවේ ධම්මදස්සි අනු නා හිමි

61 වන වියට පාතබන ආණමඩුවේ ධම්මදස්සි අනු නා හිමි

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය අධ්‍යාපනපති ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 61 වන වියට පා තැබීම නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් මාලාවක් පැවැත්වේ.

පුත්තලම දිසාවේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ද කලක් සේවය කළ රාජකරුණ හේරත් මුදියන්සේලාගේ මහානාම රාජකරුණ මහතා සහ අධිකාරී මුදියන්සේලාගේ පුංචි මැණිකේ දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස 1958 සැප්තැම්බර් 03 වනදා ආණමඩුව කොට්ටුකච්චිය ග්‍රාමයේදී පින්වත් පුත්‍ර රත්නය බිහිවිය.ඒ කුමරුවා රාජකරුණ හේරත් මුදියන්සේලාගේ උපාලි රාජකරුණ නම් විය. සත් දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වන දරුවා වූ ඒ කුමරුවා, ආණමඩුව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත්ව ආණමඩුව ශ්‍රී ආනන්දාරාමයේ ඇසුර ලබමින් සිටියදී එහි වැඩ සිටි තට්ටෑවේ ශී‍්‍ර පඤ්ඤානන්ද නාහිමියන්ගේ අනුශාසනා නොඅඩුව ලැබිණි. ඒ අනුව පැවිදි දිවියට ඇල්මක් ඇති විය. එමෙන්ම ස්වකීය පියාණන් ද සසුන් ලැදි දැහැමි ව්‍යාපාරිකයෙකු විය.

ඒ අනුව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දරව වැඩ විසූ උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වඳුරාගල ශ්‍රී රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1976 මැයි මස 19 වනදා ආණමඩුවේ ධම්මදස්සි නමින් පැවිදිබිමට පත්විය.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ ධම්මදස්සි හිමියෝ අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී 1979 මැයි 20 වනදා උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මාහිමිපාණන් වහන්සේගේ සහ වඳුරාගල රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හාල්යාලේ ශ්‍රී සුමනතිස්ස අනුනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබූහ.

1982 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ 1985 දී පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගත්හ. කැලණිය විශ්ව විද්‍යාලයානුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් උන්වහන්සේ 1990 දී ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව 1992 දී ලැබූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ 1998 දී එම විශ්ව විද්‍යාලයෙන් ම අධ්‍යාපනපති උපාධිය ලබා ගත්හ. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් 2000 දී පාසල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ ස්වකීය අධ්‍යාපනයෙහි ලද දැනුම රට දැයට, දායාද කිරීමේ අරමුණෙන් කටුගස්තොට ගොහාගොඩ, ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථ ශ්‍රී රතනපාල දහම්පාසල වෙත අවධානය යොමුකර පශ්චිම ජනතාව යහමඟට යොමු කිරීමට එහි ප්‍රධානාචාර්ය ධුරයද දරමින් ප්‍රදේශයේ හොඳම දහම් පාසල බවට පත් කිරීමට පියවර ගෙන ඇත. මහනුවර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධුරය මෙන්ම මහනුවර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය ද සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති තනතුරට ද පත්ව මහඟු මෙහෙවරක් සිදුකර ඇත. 1986 දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් පාසල් ගුරු සේවය ඇරැඹූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළහ. අනතුරුව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයට පත්වූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ දෙළොස් වසරකට ආසන්න කාලයක් එහි සේවය කළහ.

පලීපාන ධර්මකීර්ති ශී‍්‍ර ගුණරතන චන්දානන්දාභිධාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නා හිමියන් වෙතින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය පදවියෙකින් පිදුම් ලැබූ ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ 2002 ජූලි 30 වනදා උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයකට පත් කරන ලදී.

2008 මාර්තු 01 වනදා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් ප්‍රධාන ලේඛකාධිකාරිධුරය පිරිනැමූහ. අස්ගිරි මහා විහාරයට අඩුපාඩුවක්ව පැවැති ලේකම් කාර්යාලයක් ස්ථාපනය කිරීමට උත්සුක වූ උන්වහන්සේ ලේකම් කාර්යාලය යන්න හැඟවෙන අයුරින් එහි කටයුතු සැකසීමටද ක්‍රියා කළහ. උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමියන්ගේ අනුමැතියෙන් 2010 දී මාස කීපයක් පුරා ඓතිහාසික ශ්‍රී දළාද මාලිගාවේ තේවා කටයුතුවල නිරතවීමට උන්වහන්සේ වාසනාවන්ත වූහ. අස්ගිරි මහා විහාරයීය සම්භාවනීයත්වය හා සම්ප්‍රදායයන් ආරක්ෂා කර ගැනීමටද, කුසලතා වර්ධනය කරගත් ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, චීනය, කොරියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, ආදී රටවල ආගමික කටයුතු හා ශාස්ත්‍රීය කටයුතු සඳහා සංචාරය කර ඇත.

මහත් ශාස්ත්‍රීය කාර්යභාරයක් ද ඉටුකරඇති අතර 2016 මැයි මස 05 වනදා ඓතිහාසික බදුලු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ස්වකීය විහාර පාර්ශ්වයේ 33 වන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස ආණමඩුවේ ධම්මදස්සි හාමුදුරුවෝ ඒකච්ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ලදී.

සංයමශීලි පෞරුෂයකින් හෙබි ශ්‍රද්ධා සීලාදි ගුණවලින් යුත් ඍජු ,මෘදු ලක්ෂණවලින් ස්වකීය දිවිය ආලෝකවත් කරගත් සංඝ පීතෘන් වහන්සේ නමක් වෙති. විහාරස්ථාන ආශි‍්‍රත සංවර්ධන කටයුතු ද නොපිරිහෙලා ඉටු කරන ආණමඩුවේ ධම්මදස්සි අනුනායක හාමුදුරුවෝ විවිධ ආයතනයන්හි විවිධ තනතුරු රැසක් ද හොබවති. සැප්තැම්බර් 02 වන දා මාවනැල්ලේ හෙම්මාතගම, නිසලසෙවන ආබාධිත ළමා නිවාසයකට දානයක් පිරිනැමීමෙන් සහ එදිනම පස්වරු 6.30 ට කටුගස්තොට, ශ්‍රී රතනපාල මාවතේ ගොහාගොඩ, ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේ දී බෝධි පූජාවක් ද මෙම 3 වන දා පෙරවරු 9.00 ට කුරුණෑගල, ඇත්කඳ රජමහා විහාරස්ථානයේ හිතෛශි දායක දායිකාවන් පිරිසක් සහ ඇත්කඳ රජමහා විහාරස්ථ, ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානයේ ද ආධාරයෙන් කුරුණෑගල, වැල්ලව, සීරාදුන්න ප්‍රදේශයේ බෞද්ධ පින්වතෙකු වෙනුවෙන් සෑදූ කුඩා නිවස විවෘත කිරීමද, පස්වරු 2.00 ට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය අසල (මාළිගාව පසුපස) පිහිටි නව ශාලාවේ දී අනු නා හිමි අභිනන්දන ප්‍රබුද්ධ 7 කලාපය භාවනා ක්ෂේත්‍රය සම්බන්ධ ශාස්ත්‍රීය ලිපිවලින් සමන්විත ශාස්ත්‍රීය සංග්‍රහයක් සේ එළි දැක්වීම ද ඇතුළු පින්කම් රැසක් සිදු කෙරේ.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]