UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිත් දේශනාව 22 : ඉසිගිලි සූත්‍රය

ඉසිගිලි සූත්‍රය

තථාගතයන් වහන්සේලා නූපදින කාලයක බරණැස එක් ගමක දියණියක් කුඹුරක් වපුරා ජීවත් වූවා. දිනක් ඇය කුඹුරු වැඩට යන්නී, පසේ බුදුන් වහන්සේ නමකට වැඳ, විළඳ සමග එක් නෙළුම් මලක් පුදා පුතුන් පන්සියයක් ප්‍රාර්ථනා කළා ය. ඒ වෙලාවේ දී ම පන්සියයක් මුව වැද්දෝ මී පැණි පරිත්‍යාග කොට ඇයට පුත් වන්නෙමියි පැතූහ.

ඇය ආයුෂ අවසානයේ දෙව්ලොව ඉපදුණා ය. එයින් චුතව ස්වයංජාත විලක පියුම් ගැබක ඉපදුණා ය. තවුසෙක් ඇය දැක පෝෂණය කළේ ය. ඇය ඇවිදින කාලයෙහි පා තබන තබන තැනින් පියුම් පැන නගී. එක් වනචාරී පුද්ගලයෙක් ඇය දැක බරණැස් රජතුමාට දැනුම් දුන්නේ ය. රජ ඇය මැදුරට ගෙන්වාගෙන අගමෙහෙසිය කළ අතර කාලයාගේ ඇවෑමෙන් ඇය දරුවෙකු බිහි කිරීමට ළං වූවා ය.

මහා පදුම කුමාරයා කුසෙහි වාසය කළේ ය. සෙස්සෝ ගැබ් මල ඇසුරු කොට ඉපදුණේ ය.

ඔවුහු තරුණ වයසට පැමිණ එක එක පියුමක හිඳ අනිත්‍යතාවය සිහි කොට පසේ බුද්ධත්වයට පත් වූහ.

පන්සියයක් පසේ බුදුන් වහන්සේලා පිඬු සිඟා වැඩ ඉසිගිලි පර්වතයේ දොරක් විවර කරගෙන රාත්‍රී කාලයට හා දිවා කාලයට වාසය කිරීමට ස්ථාන පිළියෙල කරවා ගෙන එහි ම විසූහ. පසේ බුදුන් වහන්සේලා පර්වතයට වැඩම කරන අයුරු දුටු පුද්ගලයෝ නැවත පිටවීමක් නොදුටුවහ. ඒ නිසා මේ පර්වතය ඍර්ෂීන් ගිලී යයි යන හේතුව නිසා ඉසිගිලි නාමයෙන් හඳුන්වයි. මේ සූත්‍රයේ පසේ බුදුන් වහන්සේ පන්සිය නමකගේ නම් දැක්වේ. ඇතැම් නමකින් දහ දොළොස් නමක් සිටි බැව් කිය වේ.

පසේ බුදුන් වහන්සේලාගේ ගුණයන් පිළිබඳව දැක්වෙන එකම සූත්‍රය ඉසිගිලි සූත්‍රය වේ. එක කලෙක භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්තියට සම වැද එයින් නැගිට භික්ෂු සංඝයා පිරිවරාගෙන වේභාර, පාණ්ඩව, වේපුල්‍ය, ගිජ්ජකූට හා ඉසිගිලි යන පංච පර්වත පෙනෙන මානයේ වැඩ හිඳ ඒවා හඳුන්වා දුන්හ.

ඉසිගිලි පර්වතය පිළිබඳව හඳුන්වා දෙමින් එහි වැඩ වාසය කළ පසේ බුදුන් වහන්සේලාගේ උප්පත්තිය පිළිබඳව තොරතුරු මෙන් ම උන් වහන්සේලාගේ නාමයන් ද භික්ෂූන් වහන්සේලාට දේශනා කළ සේක.

පසේ බුද්ධත්වයට පත්වූ බෝසතාණන් වහන්සේලා පාරමී හා උප පාරමී යන විසි වැදෑරුම් පාරමිතා සම්පූර්ණ කරති. ඒ නිසා උන් වහන්සේලා තුළ ද සුවිශේෂී බලයක් පවතී. පිරිත් දේශනා අවසානයේ දී ආශිර්වාද කරන ගාථාවේ දී ද "පච්චේකානඤ්ච යං බලං" යන පාඨ කොටසින් උන් වහන්සේලාගේ බලය කරණකොටගෙන ද යහපතක් වේවා යි ප්‍රාර්ථනා කරති.

ත්‍රිපිටකය තුළ අන්තර්ගත සූත්‍රවල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හා රහතන් වහන්සේලාගේ බලානුභාවය පිළිබඳ මෙන් ම ගුණස්කන්ධය පිළිබඳ ව තොරතුරු අන්තර්ගත වේ. පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව තොරතුරු සඳහන් වන්නේ ඉතා අවම වශයෙනි. ඉසිගිලි සූත්‍රය තුළ ඇතුළත් තොරතුරුවලින් අනාවරණය වන්නේ පසේ බුදුන් වහන්සේලා පිළිබඳව ය. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ඉසිගිලි පර්වතයේ වැඩ වාසය කළ පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳ මෙන් ම උන් වහන්සේලාගේ අතීත කතා පුවත් ද ඉසිගිලි සූත්‍ර අටුවාවේ සඳහන් වේ. අටුවා මතයට අනුව ඉසිගිලි පර්වතයේ වැඩ වාසය කරන පසේ බුදුරජාණන් වහන්සේලා එම තත්ත්වයට පත්වීමට කාශ්‍යප බුදුරදුන් දවස කළ දාන පාරමිතාව උපනිශ්‍රය වූ බව පැහැදිලි ය.

පසේ බුදුරජාණන් වහන්සේලාට සත්ත්වයින්ට ධර්මාවබෝධය ලබාදිය නොහැකි ය, යන මතයක් නිර්මාණය වී තිබේ. එය කරුණු වැරැදියට වටහා ගැනීම නිසා ගොඩනැගුනු සදොස් මතවාදයක් බව පැහැදිලි ය. පසේ බුදුරජාණන් වහන්සේලා ධර්මය දේශනා නොකිරීම ධර්මතාවයකි. එය සාමාන්‍ය ස්වභාවයක් මිස විශේෂ තත්ත්වයක් නොවේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා මෙන් ම සක්විති රජවරු අරභයා ද , ශක්‍ර දේවේන්ද්‍රයා, යම රජ වැනි අය අරභයා ද විශේෂිත ධර්මතා හා ස්වභාවයන් දක්නට ලැබේ. පසේ බුදුරජාණන් වහන්සේ පාරමී, උප පාරමී යන සම විසි වැදෑරුම් පාරමිතා ධර්ම සම්පූර්ණ කර ධර්මාවබෝධයය ලබයි. සාමාන්‍ය අවබෝධයක් ගන්නා අයෙකුට පවා තමා දැන උගත් දේ අන්‍යයන්ට පහදා දීමේ හැකියාව ඇත. එය විශේෂිත තත්ත්වයක් නොවේ. එය සාමාන්‍ය ස්වභාවයකි. පසේ බුදුරජාණන් වහන්සේලාට තමන් අවබෝධ කර ගත් ධර්මය අන්‍යයන්ට පහදා දීමේ නොහැකියාවක් නොමැත. උන් වහන්සේලාගේ ධර්මාවබෝධය කිරීමේ අරමුණ වන්නේ තමන් සසරින් මිදීම මිස සත්ත්වයින් සසරින් එතෙර කිරීම නොවේ. තම අරමුණ සාක්ෂාත් වූ පසු උන් වහන්සේලා තමන්ගේ ශේෂව ඇති ආයු ප්‍රමාණය ගත කර අවසානයේ අනුපාධිසේස පරිනිබ්බාන ධාතුවට (ස්කන්ධ පරිනිර්වාණයට) පත්වේ.

ඉසිගිලි සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ජීවිතයට ආරක්ෂාව ලබා ගැනීමට නම් ඉසිගිලි සූත්‍රය ගැන මනා අවබෝධයක් මෙන් ම පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභායන් පිළිබඳව ද වැටහීමක් ඇතිව යෝනිසෝ මනසිකාරයෙන් ශ්‍රවණය කළ යුතු ය. ඉවසීම, තාදි ගුණය, සංයමය හා අප්‍රමාදී බව වැඩි දියුණුකර ගැනීම මෙන් ම ලෝක ධර්මතාවයන් පිළිබඳව උපේක්ෂා සහගත වීම ද අවශ්‍ය වේ. විපත් දුරු කරගැනීමට, දුක් කරදර බැහැර කර ගැනීමට. රෝග දුරු කර ගැනීමට, සම්පත් සාධනය කරගැනීමට, සැප, සතුට ළඟා කර ගැනීමට, නීරෝගී බව ළඟා කර ගැනීමට, ඉසිගිලි සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීම අවශ්‍යයෙන් උදව් වේ.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]