UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඡත්‍ර පූජාවේ අනුසස්

ඡත්‍ර පූජාවේ අනුසස්

පදුමුත්තර නම් වූ බුදුන් වහන්සේ ලොව පහළ වූහ. පදුමුත්තර බුදුන් වහන්සේගේ ගිහි කල පියාණන් වූ ආනන්ද රජු අන් කෙනෙකුට ඉඩ නො දෙමින් ශ්‍රාවක සංඝ රත්නය සහිත වූ බුදුරජාණන් වහන්සේට තමන් විසින් ම සිවුපසයෙන් ඇප උපස්ථාන කළහ.

පිළින්දවච්ඡ මහ රහතන් වහන්සේ පෙර භවයෙක හංසවතී නගරයෙහි බොහෝ ධන සම්පත් ඇති කුලයක ඉපදුණහ. හේ, ආනන්ද රජුගේ මිත්‍රයෙක් වූයේ දිනක් මෙසේ සිතුවේ ය..

“ආනන්ද රජුගේ මිත්‍ර වූ මට බොහෝ ධනය ඇත්තේ ය. මේ ලෙසින් මාගේ ගෙය ධනයෙන් පිරුණු කාලයක බුදුන් වහන්සේ ද ලොව පහළ වූ සේක. එසේ නම් මා විසින් උන් වහන්සේට දන් දිය යුතුයැයි සිතන්නට විය. මින් පෙර කිසිවෙක් නුදුන් පරිදි මහා දානයක් දෙමියි සිතන්නට විය. ඒ සර්වපරිෂ්කාර මහා දානය පූජා කරන පළමු තැනැත්තා ද වෙමි යි යැයි සිතුවේ ය. මේ ආකාරයෙන් සිතා බුදුරදුන් ප්‍රමුඛ ලක්ෂයක් භික්ෂූන් වහන්සේලාට පුදනු පිණිස කුඩ ලක්ෂයක් කරවී ය. එමෙන් ම පාත්‍ර, සිවුරු ආදී ලෙසින් භික්ෂූන් වහන්සේලාට කැප වූ, පරිභෝග කරන්නා වූ යම් පමණ වස්තු වේ ද ඒ සියලු දේ ම ලක්ෂය බැගින් රැස් කළේ ය.

එලෙසින් පූජා භාණ්ඩ සියල්ල රැස් කොට තම මිත්‍ර ආනන්ද රජු වෙත ගොස් මෙලෙස පැවසී ය. ‘ අප දෙදෙනා එක කාලයක ඉපිද එකට ම වැඩුණේ ය. එලෙසම සමාන සුව දුක් ඇත්තෝ ද, සමාන සිත් ඇත්තෝ ද, එකිනෙකාට අනුකූලව හැසිරෙන්නෝ ද වෙමු. එහෙත් මහ රජතුමනි, මට මහත් වූ චෛතසික දුකක් ඇත්තේ ය. ඔබට හැකි නම් මාගේ දුක දුරු කර මට පිහිටවනු මැනව’යි ඉල්ලා සිටියේ ය.. ඒ කරුණු සත්‍ය බව පිළිගත් රජු, මිත්‍රයාගේ දුක දුරු කිරීම උදෙසා තමාගේ රට වුව ද, ජීවිතය වුව ද කම්පාවකින් තොරව මිත්‍රයාගේ යහපත උදෙසා කැප කරමියි සපථ විය. එසේ පැවසූ කල මිත්‍රයා රජුට තමාගේ දුක පවසන්නේ, ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට පුද සත්කාරයක් කරන්නට මට අවස්ථාවක් නො ලැබුණේ ය. ඒ උතුම් අවස්ථාව මට ද උදා කර මාගේ දුක දුරු කරන ලෙස ඉල්ලා සිටියේ ය.

එය ඇසූ රජතුමා, තථාගතයාණන් වහන්සේ නම් කාහටත් නො දෙමියි. එසේ තථාගතයන් වහන්සේ නො ඉල්ලා වෙනත් ඕනෑම දෙයක් ඉල්ලන්නැයිි පැවසී ය.. එසේ වුව ද මිත්‍රයා, රජු කලින් පැවසූ වදන් නැවත පෙන්වා දෙමින් තමාගේ දුක දුරු කිරීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියේ ය. අවසානයේ දෙදෙනා විනිශ්චය ශාලව වෙත පැමිණ විනිශ්චයකරුට නඩුව පැවසූහ. විනිශ්චයකරු නඩුවෙන් රජු පැරැදවී ය. තමන් කැමැති සේ බුදුන් වහන්සේට දන් දී අවසානයේ නැවත රජු වෙත ම බුදුන් වහන්සේ භාර දෙන ලෙස පොරොන්දු වූ මිත්‍රයා විනිශ්චයකරුට හා රජුට වැඳ අවසර ගෙන මහත් ප්‍රීතියෙන් පදුමුත්තර බුදුන් වහන්සේ වෙත පැමිණියේ ය. ලක්ෂයක් මහ රහතන් වහන්සේ ද සමඟ තමාගේ නිවසට වැඩම කරන ලෙස ආරාධනා කළේ ය.

බුදුන් වහන්සේ එම ආරාධනාව ඔහු කෙරෙහි අනුකම්පාවෙන් පිළිගත්හ. ප්‍රීතියෙන් පිනා ගිය සිතින් සිය නිවස වෙත ගොස් ඥාතිමිත්‍රා දී බොහෝ ජනයා රැස් කරවා සපු, නා, වැටකේ, හෙලපියුම්, රත්පියුම් ආදී නානා පුෂ්පයෙන් සරසා විශාල මණ්ඩපයක් කරවූයේ ය. එහි කුඩ ලක්ෂයක් නංවා එම කුඩ යට නා නා පුෂ්පයෙන් සැරසූ අසුන් ලක්ෂයක් පැනවී ය. බුදුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා ද සමඟ එම අසුන් හි වැඩහුන් කල ලෝහ පාත්‍රය බැගින් සෑම දෙනා වහන්සේලාට පිළිගන්වා සර්ව පරිෂ්කාර සහිත මහා දානය පූජා කළේ ය.

පදුමුත්තර බුදුන් වහන්සේ එම මල් මඩුවෙහි සතියක් ම ඔහුට අනුග්‍රහ පිණිස වැඩහුන් සේක. රැස් වූ බොහෝ ජනයාට දහම් දෙසූ සේක. එයින් සුවාසූ දහසක් සත්ත්වයෝ ධර්මාවබෝධය ලැබූහ.

සත්වන දිනයේ දී, “මා ඇතුළු සඟරුවනට සර්වපරිෂ්කාර දානය දුන් මේ පුරුෂයා සසර බොහෝ සැප සම්පත් ලබා කල්ප ලක්ෂයකින් මතු ලොව පහළවන්නා වූ ගෞතම නම් වූ තථාගතයන් වහන්සේගේ ශාසනයෙහි පිළින්දවච්ඡ නමින්, දේවතාවන්ට ප්‍රියමනාප වූ පුද්ගලයන් අතරෙන් අග්‍රස්ථානය ලබන බව වදාළ සේක.

පිළින්දවච්ඡ මහ රහතන් වහන්සේ පසු කලක තමන්ගේ අතීත කතාව ප්‍රකාශ කළහ. එහිදී ඒ ඒ දානයෙන් ලැබූ ඵලානිසංසයන් වෙන වෙන ම ප්‍රකාශ කළහ..

ඡත්‍ර (කුඩ) පූජාවේ අනුසස්

ශීත, උෂ්ණ දෙකින් පීඩා නො ලබමි. ශරීරයේ කුණු නො ඇලෙයි. උපද්‍රව නැත්තේ වෙමි. අන්තරාය නැත්තේ වෙමි. සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු කරයි. සියුම් සම ඇත්තේ වෙමි. සිත පිරිසුදු ය. කුඩ පූජා කිරීම නම් වූ කර්මයේ බලයෙන් සසර සැරිසරන්නා වූ මාගේ හිස මත මේ ජාතියෙත් අන්‍ය ජාතීන්හි සර්වාලංකාරයෙන් යුක්ත වූ කුඩ ලක්ෂයක් දැරූහ.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]