UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළොම්පුරය එළිය කරනකොල්ලුපිටියේ වාළුකාරාම මහ පෙරහර

කොළොම්පුරය එළිය කරන කොල්ලුපිටියේ වාළුකාරාම මහ පෙරහර

ශ්‍රී ලංකාවාසී බෞද්ධ මහජනතාවට ඇසළ මාසය බොහෝ පින්කම් සිදුකර ගැනීමට මුල්වන කාල පරිච්ඡේදයකි. මේ අතර ඉතා වැදගත් වන්නේ ඇසළ පෙරහර මංගල්‍යයයි.

මහනුවර ඇසළ පෙරහර මෙන්ම රට පුරා ඇසළ පෙරහර පිළිබඳ විවිධ තොරතුරු ඉදිරිපත් වන මේ වකවානුවේ කොළොම්පුරයේ පැවැත්වෙන කොල්ලුපිටියේ වාළුකාරාම මහා විහාරස්ථානයේ ඇසළ පෙරහර කාගේත් නෙත්සිත් ඇඳ බැඳ ගන්නා කලා මංගල්‍යයකි.

අප රටේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් යුග මෙහෙවරක යෙදුන පුණ්‍ය භූමියකි කොල්ලුපිටියේ වාළුකාරාම විහාරස්ථානය. සියවස් දෙකකට ආසන්න කාලයක සිට ආගමික, සාමාජික, ජාතික හා ශාස්ත්‍රීය වශයෙන් සිදු කරනු ලැබූ සුවිශේෂී සේවාව මහත් සේ අලංකාර වූයේ මෙම මහා පෙරහර තුළිනි.

වර්තමාන ධර්මශාස්ත්‍රාලෝකයේ නේතෘස්ථානය වශයෙන් රත්මලානේ පරමධම්මචේතිය පිරුවන පහතරට පිහිටුවනු ලැබූ වලානේ ශ්‍රී සිද්ධාර්ථ නා හිමියන්ගේ ඒ උත්කෘෂ්ඨ මෙහෙවරෙන් ශාස්ත්‍රොද්ග්‍රහණය කළ විද්වතුන් අපමණ ය. ඒ අතර මාලිගාකන්දේ විද්‍යෝදය පිරුවන පිහිටුවා වදාළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන පිහිටුවා වදාළ රත්මලානේ ධර්මාලෝක නා හිමියන් වැනි උතුමන් සඳහන් කළ හැකිය. 1941 වසරෙහි සාර්වභෞම වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් කොල්ලුපිටියේ වාළුකාරාමය ඇතුළු විහාරස්ථාන රාශියක් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් දායක කාරකාදීන් සමඟ ආරම්භ කරන්නට විය.

 මෙම වෙහෙර විහාරස්ථාන අතර අග නගරයේ පිහිටා තිබෙන කොල්ලුපිටියේ වාළුකාරාම මහා විහාරස්ථානයට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. වාළුකාරාමාධිපතිව වැඩසිටි නිවන්තිඩියේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1963 වසරෙහි දී මෙම පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් සිංහලයන්ට ආවේණික වු බෞද්ධ චාරිත්‍රවිධි රැක ගැනීමටත් ,දේශීය සංස්කෘතිකාංග පරපුරෙන් පරපුරට පවත්වාගෙන යාම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ක්‍රියා කරන්නට යෙදුණහ. මෙවර කොල්ලුපිටියේ වාළුකාරාම පෙරහර පැවැත්වෙන්නේ 55 වන වරටය.

වාළුකාරාම මහා විහාරස්ථ ශාසන ඉතිහාසය නව මගකට යොමු කරමින් සිදු වූ සේවය ජාත්‍යන්තර තලයට ගෙන යාමටත්, පුළුල්ව සිදු කිරීමටත් මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කරනු ලබන්නේ වර්තමාන විහාරාධිපතිත්වය දරනු ලබන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක, විචිත්‍රභාණී, පරිත්ත ධජ මහරගම නන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. යුගයට සරිලන අයුරින් නව විහාරාංග එක් කරමින්, දායක කාරකාදීන්ගේ ආගමික අවශ්‍යතාවයන් ඉතා මැනවින් ඉටු කර ගැනීමටත්, කොල්ලුපිටිය වැනි ප්‍රදේශයක ජාති, ආගම් භේදයක් නොමැතිව, සියලු රාජ්‍ය ආයතන, පෞද්ගලික ස්ථාන සම්බන්ධ කරගෙන කටයුතු කිරීමට වර්තමාන නාහිමියන් ගෙන ඇත්තේ මහත් උත්සාහයකි. මෙම සුවිශේෂී පෙරහර මංගල්‍යය මතු පරපුරටද දායාද කිරීමේ අදහසින් කටයුතු කරන වාළුකාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙවර ඇසළ පෙරහර පවත්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය ලේකම්තුමා ප්‍රමුඛ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය සහ සහභාගිත්වය පදනම් කර ගෙනය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ පවුලේ ඤාතීන් දායකත්වය දරන විහාරස්ථානයක් වන්නේ ද කොල්ලුපිටියේ වාළුකාරාමයයි.

1926 හෙලේනා විජේවර්ධන ළමාතැනියගේ ප්‍රධානත්වයෙන් විහාර කර්මාන්තය ආරම්භ කිරීම ද මෙහිදී සඳහන් කළ යුතුය. එම නිසා එම පවුලේ නිබඳ ආශිර්වාදය ලබාගෙන කටයුතු කිරීමට හැමවිටම අප නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කටයුතු කරනු ලැබේ. එනිසා අගමැතිතුමා මෙම මහා සංස්කෘතික මංගල්‍යයෙහි නියමුවාණන් වශයෙන් ද ක්‍රියා කරනු ලබයි. වාළුකාරාම මහා විහාරය කේන්ද්‍ර කොට ගනිමින් පිහිටුවා තිබෙන නිවන්තිඩිය ශී‍්‍ර මහේන්ද්‍රාරාමය, නාවින්න ඉසිපතනාරාමය, ගල්තුඩේ සිද්ධත්ථාරාමය, කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථානයන්හි දායක පිරිස ද ඉමහත් සැදැහැ සිතින් මෙම මහා පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීමට දක්වන්නේ ඉමහත් සහායකි. වසරකට වරක් පැවැත්වෙන මෙම මහා පෙරහර මංගල්‍යය ඒ සැමට පමණක් නොව ශී‍්‍ර ලංකාවාසී බෞද්ධ මහජනතාවට ආශිර්වාදයකි. විශේෂයෙන් මෙහිදී ගරුතර නාහිමිපාණන් වහන්සේ ඉටු කරගෙන යන මෙම අත්‍යුදාර කාර්යයෙහි දී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය යතිවරයාණන් වහන්සේලා ඉටු කරනු ලබන කාර්යභාරය ඉමහත් ප්‍රශංසනීය වෙයි. ඒ අතර වාළුකාරාමාධිවාසී ශාස්ත්‍රවේදී උඩවෙල කෝලිත ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉටුකරන කාර්යභාරය අමන්දානන්දයට හේතුවකි. නා හිමියන්ගේ උපදෙස් පිළිපදිමින්, උන්වහන්සේගේ සිතැඟි ඉටුවන අයුරින් පෙරහරට නව ජීවයක් සැපයීමට කෝලිත හිමියන් ගන්නා මෙහෙවර ප්‍රශංසනීය වෙයි.

බුදුසමය මූලික කරගෙන සිදු කෙරෙන සෑම පූජා උත්සවයකින් ම අපේක්ෂා කරන ප්‍රධාන පරමාර්ථය සංසාර විමුක්තියයි. වන්දන මානන උපහාර බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වෙනුවෙන් ද සිදු කෙරෙන මෙම අසහාය පෙරහර පුජා මහෝත්සවය දකින, අසන, සිතන ,ලියන, කියන සෑම දෙනාට ම ජනිතවන කුසලබල මහිමයෙන් මෙලොව ශාන්තිය, පරලොව සුගතිය, අවසන අමා මහ නිවනින් සැනසීමට හේතු වාසනා වන්නේ ය. එබැවින් පූජනීයත්වයෙන් ද කලාත්මක බවින් ද, ඓතිහාසික බවින් ද අනූන මෙම ඇසළ පෙරහර ශ්‍රී ලාංකික අපගේ ප්‍රෞඪත්වය ලොවට විදහාපාන අවස්ථාවක් ද වේ. මහත් කැපවීමත්, රජයෙන් සහ අනෙකුත් සංවිධානවල අනුග්‍රහයත් ඇතිව සිදුකරන මෙම මාහැඟි පූජාවේ අනුහසින් ලක්වැසි සැමට යහපතක් උදාවේවා


කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරය මගින් පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහර

කොල්ලුපිටිය,වාළුකාරාම මහා විහාරය විසින් 55 වන වරටත් සංවිධානය කරනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහර අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 07 දින රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතය .

සැප්තැම්බර් මස 01 දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද, 02 වනදා පස්වරු 3.30 විහාරස්ථානයේ සිට ගණදෙවි ප්‍රතිමාව රැගත් පෙරහර බම්බලපිටිය , කදිරේෂන් කෝවිල (වජිර කෝවිල) දක්වා ගමන් කිරීම ද,03 වනදා පස්වරු 5.30 තර්ස්ටන් විද්‍යාලය විසින් සංවිධානය කරන මල් පෙරහර එම විද්‍යාලයේ සිට විහාරස්ථානය දක්වා ගමන් කිරීම ද 04 වනදා පස්වරු 5.30 මහානාම විද්‍යාලය විසින් සංවිධානය කරන මල් පෙරහර එම විද්‍යාලයේ සිට විහාරස්ථානය දක්වා ගමන් කිරීම ද 5 වනදා පස්වරු 5.30 ට රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන මල් පෙරහර එම විද්‍යාලයේ සිට විහාරස්ථානය දක්වා ගමන් කිරීම ද 06 වනදා පස්වරු 6.30 7.30 බෝධිපූජා පින්කම ද අනතුරුව පාවාඩ පෙරහර ද 07 වනදා රාත්‍රී 7.50 අවසන් මහා පෙරහර වීථී සංචාරය කිරීම. වාළුකාරාම පාර, ගාලු පාර,කොල්ලුපිටිය මංසන්ධියෙන් ලිබර්ටි වටරවුම ඔස්සේ ආර්. ඒ. ද මෙල් මාවත හරහා නැවතත් විහාරස්ථානයට ළඟාවීම ද සිදු කෙරේ. 08 වන දින පෙරවරු 7.00 දේව දානය හා කිරි ඉතිරවීම පවත්වා ගරායක් නැටුමෙන් පින්කම් මාලාවේ කටයුතු නිමවේ.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]