UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නව චින්තනයක ආරම්භක පියවර

නව චින්තනයක ආරම්භක පියවර

ඇතුන් විෂයයෙහි දක්ෂ පුද්ගලයා වනය පීරමින් ඉදිරියටම ගොස් මහා ඇතා සොයා ගන්නා සේ තුනුරුවන් විෂයයෙහි දක්ෂ සම්මා දිට්ඨිගත පුද්ගලයා සියලු කෙලෙසුන් මුලිනුපුටා දමා අරහත් ඵලය සාක්ෂාත් කරයි.

එදා ජාතික උත්සව දිනයක් විය. එදින දේවානම්පියතිස්ස රජතුමා මහ වනයට යෑමට පිටත් වූයේ ස්වකීය පිරිවර ද සමග ය. එය සතුරන් සොයා ගෙන යන ගමනක් නොව සතුන් සොයා ගෙන යන ගමනක් විය. මුව දඩයම මගින් ජාතික උත්සව දිනය සැමරීම එහි අරමුණ වන්නට ඇත. හිංසනය මිශ්‍ර වූ මිථ්‍යා දෘෂ්ටිගත අනාර්ය ගමන් මඟ වෙනස් වන ඓතිහාසික වැදගත් දිනය ද එදා ම විය. රජුගේ වැරැදි ගමන් මඟ නවතමින් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස රජතුමා අසලට සැපත් වූහ. අවිහිංසාව උතුරා යන සම්මා දිට්ඨිගත ආර්ය ගමන් මඟ මෙරටට හඳුන්වා දීම එම ගමනේ අරමුණ විය.

නව චින්තනය තේරුම්ගත හැකි නුවණක් රජතුමා සතු බව දැනගත් මිහිඳු මහරහතන් වහන්සේ අතිශයින් සතුටට පත් වූහ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චුල්ලහත්‍ථිපදෝපම සූත්‍රය පදනම් කරගෙන මෙරට පළමු ධර්ම දේශනාව රජතුමා ඇතුළු පිරිසට දේශනා කළහ. තමන් වහන්සේ ලක්දිවට පැමිණි අරමුණ ප්‍රකාශ කිරීමට එම සූත්‍ර දේශනාව ඉතා උචිත විය. වනයෙහි වසන මහා ඇතා සොයා ගන්නා නිවැරැදි ක්‍රමය විස්තර වන්නේ මෙම සූත්‍රයේ ය. ඇතුන් පිළිබඳ මනා දැනුමක් ඇති දක්ෂ පුද්ගලයෙක් මහ වනයට යයි. මහා ඇතා සොයා ගැනීම ඔහුගේ ගමනේ අරමුණ යි. එය ඉතා අසීරු ගමනක් වන්නේ මහා ඇතා වැනි ස්වරූප ඇති ඇතුන් බහුලව එම වනයෙහි ජිවත් වීමයි. අදක්ෂ පුද්ගලයා මහා ඇතා ලෙස සොයාගන්නේ එවැනි ස්වරූප ඇති වෙනත් ඇතෙකි. දක්ෂ පුද්ගලයා මහ වනය පීරා ඉතා විමසිල්ලෙන් මහා ඇතා සොයා ගනියි.

මහා ඇතා සොයා ගැනීම යනු ආර්ය වූ ධර්ම මාර්ගය සොයා ගැනීම යි. එය මහා ඇතා සොයා ගැනීමට වඩා ඉතා අසීරු වූවකි. ඊට හේතුව ආර්ය මාර්ගය සේ පෙනෙන අනාර්ය මාර්ග ජීවිතයට සමීප කරගෙන සිටීම යි. ආර්ය මාර්ගයේ ආරම්භක පියවර තෙරුවන් සරණ යෑමයි. පදනම් පියවර ඇති කරගත්, දැක හඳුනාගත් අය පමණක් ම සඳහා අනෙක් පියවර යෝග්‍ය වෙයි. ගිහි පැවිදි කියා තිසරණ සරණ යෑමෙහි වෙනසක් ද නැත. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ ගුණ ඇතුළත් ගාථා, පාඨ කීමෙන් හෝ කියවීමෙන් පමණක් තෙරුවන් සරණ නො යයි. එය තෙරුවන් වැඳීමකි. නැමදීමකි. ඔබ නියම සරණය සොයන්නෙක් නම් තුනුරුවන්ගේ ගුණ පිළිබඳ දැනුම ඔබ සතුවිය යුතු යි. ඊට වඩා වැදගත් වන්නේ තුනුරුවන් හැර වෙනත් කිසිම විශ්වාසයක්, දෘෂ්ටියක්, ඇදහීමක්, ජීවිත පරිත්‍යාගයක් ඔබ තුළ නො වීමයි. තෙරුවන් සරණ යෑම වචනයට සීමා නො වූවකි. ජීවිතය හා බැඳී පවතින ප්‍රතිපදාවකි. එනිසා ඔබ තුනුරුවන් ඔබේ ම කරගන්න. තුනුරුවන් පමණක් ම පිහිට කරගන්න. තුනුරුවන් ඉදිරියේ කීකරු ශිෂ්‍යයෙක් වන්න. තුනුරුවන් විෂයයෙහි යටහත් පහත් ව ක්‍රියා කරන්න. තුනුරුවන් උදෙසා වන මෙම ප්‍රතිපත්තිය පමණක් වුව ද ඔබට දුගතියෙන් මිදෙන්නට ප්‍රමාණවත් ය.

බුදු ගුණ අතුරින් පළමු වැන්න ‘අරහං’ නම් වෙයි. සියලු කෙලෙසුන් ඉතිරි නො කොට විනාශ කළ උතුමා බුදුන් වහන්සේ ය. ‘අර’ යන වචනයේ ‘කෙලෙස්’ යන අර්ථයත්, ‘හං’ යන වචනයේ ‘විනාශ කළ’ යන අර්ථයත් යන පද දෙක එකතු වී ‘කෙලෙස් නැති කළ’ යන අදහසින් ‘අරහං’ වෙයි. ඔබ බුදුන් සරණ සැබෑවටම කැමති කෙනෙක් නම් කෙලෙසුන් මුලිනුපුටා දැමීම සඳහා බුදුරජාණන් වහන්සේ පෙන් වූ ගමන් මගේ යා යුතු වෙයි. කෙලෙස් භරිත නා නා දෘෂ්ටිගතිකයින්ගේ පිහිට හෝ සරණ හීනෙන් වත් නො සිතිය යුතු යි. නො පැතිය යුතු යි. තව ද, අ+රහං යන අයුරින් පදය වෙන් කළ විට ‘රහසක් නැත’ යන අර්ථය ලැබෙයි. බුදුරජාණන් වහන්සේ රහසින් වත් පව් නො කළ උතුමා ය, යන්න ඉන් මතු වන තේරුමයි. ඔබට ද ඒ බුදුගුණය ප්‍රගුණ කළ හැක. මුලින් ම කළ යුත්තේ සිතා මතා කරන පව්කම් වලින් ඉවත් වීමයි. එය ප්‍රගුණ වූ කල ඔබ රහසින් වත් පව් කිරීමට නො පෙළඹෙනු ඇත. එමෙන් ම ‘අරහං’ යන්න තනි පදයක් ලෙස ගත් කළ ‘සුදුසු’ යන අර්ථය දෙයි. සියලු ලෝවැසියන්ගේ ආමිෂ පූජා සහ ප්‍රතිපත්ති පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසු බව එහි තේරුමයි. ඔබ ද ඔබේ ජීවිතය සීලයෙන් ගුණයෙන් උසස් කරගනිමින් සත්පුරුෂ ඇසුරට සහ පිදුමට යෝග්‍යව කටයුතු කළ යුතු වෙයි.

සදහම් ගුණ අතුරින් පළමු වැන්න ‘ස්වාක්ඛාත’ නම් වෙයි. මුල මැද අග මනාව ගැලපෙන අයුරින් දේශිත සද්ධර්මය යන්න එහි අර්ථය යි. මනාව දේශනා කරනලද ධර්මය අනුගමනය කරන ඔබ කිසිවිටෙක නො පෙනෙන අඳුරක අතරමං නො වෙයි. එම ධර්මය ම ඔබේ ආරක්ෂාව ද වෙයි. එම ධර්මය පසෙකලා යමෙක් වෙනත් පිළිසරණක් සොයන්නේ ද එය ඔහුගේ මෝහය හෝ ලාභ අපේක්ෂාව වෙයි.

ආර්ය සංඝ ගුණ අතුරින් පළමු වැන්න ‘සුපටිපන්න’ නම් වෙයි. සෝවන් ආදි මාර්ග ඵලාදියට මනාව පිළිපන් උතුමා යන්න එහි අර්ථය යි. ඔබ සරණ යා යුත්තේ ආර්ය මාර්ගයේ ගමන් කළ සහ ගමන් කරන උතුමන් ය. එය හුදු පෞද්ගලික සරණක් නො විය යුතුයි. එවිට ඔබේ සරණය පිළිබඳ සැකය ද ඔබට නො වෙයි. මෙසේ නව අරහාදි බුදුගුණ ද ස්වාක්ඛාතාදි ධර්ම ගුණ ද සුපටිපන්නාදි ආර්ය සංඝ ගුණ ද අර්ථාවබෝධයෙන් ම ප්‍රගුණ කළ යුතු වෙයි. එසේ නොමති ව හඬ නගා, ළයාන්විතව ගායනා කළ පමණින් තෙරුවන් සරණ නො පිහිටයි.

ඔබ තිසරණයෙන් දුරස් විය හැකි හේතු සාධක ඔබ ම නුවණින් විමසන්න. සමහරවිට ඔබ නිවරැදි ආර්ය මාර්ගය කියා වැරදි මාර්ගයක යනවා විය හැක. එය ඔබට බැලූ බැල්මට නො පෙනෙන්නේ ඔබේ මෝහය නිසා ය. එසේ නො වේ නම් ධර්මය පිළිබඳ ඇති අඩු අවබෝධය ද විය හැක. ඔබ ගරු කරන කෙනෙකුගේ වුව ද තාර්කික ව ධර්මය ප්‍රකාශ කරන්නෙකුගේ වුව ද ධර්මය එලෙස ම ඔබ පිළිගත යුතු නැත. එය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව යි. නිවැරැදි ධර්මය තේරුම් ගැනීමට ඔබ සතු සුතමය අවබෝධය පමණක් ප්‍රමාණවත් නො විය හැක. ධර්මය පරිශීලනයෙන් සහ විමසීමෙන් ලබන අවබෝධය ද ඔබ දියුණු කරගත යුතුවෙයි. තවත් විටෙක ඔබ තමන් කැමති ජනප්‍රිය හෝ දැන උගත් කෙනෙකුගේ සරණ ම පතන, එම ධර්මය ම රුචි කරන කෙනෙක් ද විය හැක. බලාපොරොත්තු නැති මොහොතක ලැබෙන යම් මුදලක් හෝ යම් වස්තුවක් හෝ යම් වරප්‍රසාදයක් වුව ද ඔබ තිසරණයෙන් දුරස් කිරීමට ප්‍රමාණවත් විය හැක. විටෙක ගුප්ත විද්‍යා කලාවන් මගින් ඔබ සරණ පිහිට සොයනවා විය හැක. තව ද ඔබ හුදු විනෝදය, කැපී පෙනීම, මුදල් ඉපයීම ආදිය සඳහා ද බෞද්ධකම ආභරණයක් සේ පළ¼දිනවා ද විය හැක. මෙවැනි හේතු සාධක ද ඒ අතර විය හැක. එනිසා යම් දවසක ඔබ ධර්මය තුළින් නුවණින් දකින ලද නිවැරැදි දැක්මට සමීප වන තුරු තිසරණ සරණය තව තවත් ඔබෙන් දුරස් විය හැකි බව සිතන්න.ආර්ය ධර්ම මාර්ගය නිමා වන්නේ ආසවක්ඛය ඤාණය ලබා චතුරාර්ය සත්‍ය ධර්මය තත් වූ පරිදි දැන, දැක විමුත්තමිති ඤාණය හෙවත් ‘මිදෙන ලද’ යි යන ඤාණය ලැබීමෙනි. කාම+භව+අවිජ්ජා යන සියලු ආශ්‍රව වලින් මිඳීම යන්න එහි අර්ථය යි. එය අරහත් ඵලය යි. ආරම්භක පියවර වූ තිසරණ සරණ ගිය අයට පමණක් ළඟාවිය හැකි ආර්ය තත්ත්වය එය යි. එය මහ වනයේ සිටින මහා ඇතා සොයා ගැනීම යි.ඇතුන් විෂයයෙහි දක්ෂ පුද්ගලයා වනය පීරමින් ඉදිරියටම ගොස් මහා ඇතා සොයා ගන්නා සේ තුනුරුවන් විෂයෙහි දක්ෂ සම්මා දිට්ඨිගත පුද්ගලයා සියලු කෙලෙසුන් මුලිනුපුටා දමා අරහත් ඵලය සාක්ෂාත් කරයි.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]