UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභිනව අනුනායක පදවියෙන් පිදුම් ලද නිකපොත චන්දජෝති නා හිමි

 

අභිනව අනුනායක පදවියෙන් පිදුම් ලද නිකපොත චන්දජෝති නා හිමි

1948 මෙලොව ජන්ම ලාභය ලැබු නිකපොත චන්දජෝති නාහිමිපාණන් වහන්සේ 1962 ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූයේය. ධර්ම විනය ශබ්දශාස්ත්‍රෝද්ග්‍රහණය පිණිස කයිලගොඩ ශ්‍රී සද්ධානන්ද පිරිවෙන හා බණ්ඩාරවෙල සුධර්මෝදය පිරිවෙනට ඇතුළත් විය.

නිකපොත චන්දජෝති හිමියෝ සිංහල පාලි සංස්කෘත යන භාෂාත්‍රය මෙන්ම ඉතිහාසය, අපරදිග භාෂා ආදී නූතන ශබ්දශාස්ත්‍ර පිළිබඳවත් ස්වකීය විෂයය ඥානය පුළුල් කරගත්හ.

පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනින් උසස් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ.

1968 දී විසිවයස් සපිරුණු නිකපොත චන්දජෝති හිමියන් උඩරට අමරපුර මහා නිකායේ මහානායක ශාසනවංශාලංකාර විනය විශාරද සිරිසුමන මහෝපාධ්‍යාය නුවරඑළියේ ශ්‍රී විමලබුද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ විසුද්ධ බද්ධ සීමා මාලකයේදී උපසම්පදාව ලැබූහ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව මාදිවෙල ශ්‍රී රාහුල මහා විද්‍යාලයෙහි ධර්මාචාර්යවරයෙකු වශයෙන් සේවය ආරම්භ කළ අතර ස්වකීය විහාරස්ථානය හා සම්බන්ධ ජාතික, ආගමික හා සාමාජික කටයුතුවල යෙදීමෙන් ඇති වූ කාර්ය බහුලත්වය නිසා වසර දෙකකින් පසු ගුරු සේවයෙන් සමුගත්හ.

අඹේගොඩ ශ්‍රී ඤාණානන්ද හිමියන්ගේ අපවත්වීම හේතුවෙන් මාදිවෙල ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානයෙහි ආරම්භක විහාරාධිපතින් වහන්සේ බවට පත් වූ නිකපොත නාහිමිපාණන් වහන්සේ ස්වකීය ගුරුදේවයන්වහන්සේ ආරම්භ කළ සමාජ සේවා කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ භාරදූර වගකීමද භාරගත්හ.

ශාසනික සම්ප්‍රදාය තුළ මැනවින් ශික්ෂණය වූ නිකපොත නාහිමිපාණන් වහන්සේගේ ලෝක ශාසනික සේවය අගයකරමින් 1991 දී උඩරට අමරපුර මහ නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විනයවාදිනි කාරක මහා සංඝ සභාව, උන්වහන්සේ වෙත ශ්‍රී සද්ධර්මාචාර්ය රතනජෝති වංසාලංකාර යන ගෞරව නාමය සහිතව හපුතලේ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීමෙන් සමාජ සම්භාවනාවට පාත්‍ර කළහ. විනයාවාදිනි කාරක සංඝ සභාව උන්වහන්සේට කාරක සංඝ සභික පදවියක් පිරිනැමීමෙන් කාරක සභා සාමාජිකයෙකු බවට පත්කරගත්හ. විනයවාදිනී කාරක සංඝ සභාව විසින් 2004 උන්වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක ධුරය පිරිනැමීය. විසිපස් වසරක්ම මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහි සභාපතිත්වයට නිතරගයෙන් පත් වු නාහිමිපාණෝ එහි අභිවෘද්ධිය පිණිස කැපවී කාර්යය කටයුතු මෙහෙයවති.

මහරගම නගර සභාවේ විද්වත් කමිටු උපදේශකවරයා ලෙසින්ද, මහරගම තරුණ සේවා සභාවේ ආගමික කටයුතු අනුශාසකවරයා ලෙසින්ද විශාල මෙහෙයක් සිදු කරති. ප්‍රදේශයේ මහජන අවශ්‍යතා දියුණු කිරීමේ අරමුණින් නාහිමිපාණන් වහන්සේගේ සභාපතිත්වයෙන් ආරම්භ කළ මාදිවෙල ප්‍රජා මණ්ඩලය ලංකාවේ හොඳම ප්‍රජා මණ්ඩලය ලෙස සම්මානයට පාත්‍ර වූයේ එයින් සිදුවන සුවිශේෂි සේවය නිසා ය. සමාජසේවයට පමණක් සීමා නොවු අනුනාහිමිපාණෝ ධර්ම ශාස්ත්‍රීය සේවාවෙහිද නිරත වූහ. වස් විසීම සහ කඨින චීවර පුජාව , දහම් සඟරාව, ප්‍රජා කලාපය, වැනි ග්‍රන්ථ උන්වහන්සේ විසින් රචිත ය.

උතුම් ශාසනික හා සමාජ සේවයත්, තමන් වහන්සේගේ පරමාදර්ශි පැවිදි දිවියත්, ධර්ම ශාස්ත්‍රිය සේවයත් අගය කරමින් උඩරට අමරපුර මහනිකායේ මහානායක ධුරන්දර ශාසනවංශාලංකාර සද්ධම්මභාණක ප්‍රවචන කීර්ති ශ්‍රී ධර්මශාස්ත්‍රසූරී ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාය නුවරඑළියේ චන්දජෝත්‍යභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විනයවාදිනි කාරක සංඝ සභාව සමානච්ඡන්දයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍ර විශාරද නිකපොත චන්දජෝති නායක මාහිමිපාණන් වහන්සේ අභිනව අනුනායක ධුරයට පත්කරගන්නා ලදී. ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය 2018 මැයි මස 19 වෙනි ශනි දින විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මහා විහාරයේදී සිදු කෙරිණි.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]