UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැදැහැ සිතින් කළුගලක නෙළූ සම්බුදු සිරිපා ශෛලමය අනුරුව

 

සැදැහැ සිතින් කළුගලක නෙළූ සම්බුදු සිරිපා ශෛලමය අනුරුව

උපුල් සමන්ජිත් මහතාගේ වචනයක් පාසා ගැබ්ව ඇත්තේ ශ්‍රද්ධාව ය. ඒ සද් කාර්යය ඉෂ්ට සිද්ධ කරගන්නට තමන්ට වාසනාව හිමි වූයේ පත්තර මහ ගෙදර, ලේක්හවුස් ආයතනය නිසා බව ඔහු සිහිපත් කරන්නේ කෘතවේදිත්වයෙනි.

සම්බුදු දහමින් සුපෝෂිත අභිමානවත් සංස්කෘතියක උරුම කරුවන් ලෙස අපට ඇත්තේ සාඩම්බර ඉතිහාසයකි. අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ මීට වසර 2325කට පෙර අපේ රටට හඳුන්වා දුන්නේ බුදුදහම පමණක් නොවේ.

සම්බුදු දහමින් පෝෂිත සාහිත්‍යයක්, ලෝකයක් විස්මිත කරවන ගෘහ නිර්මාණ කලාවක්, කැටයම් , මූර්ති, චිත්‍ර කලාංගයන් ඇතුළු බොහෝ අංශයන්ගේ නව පිබිදීමක් උන්වහන්සේගේ ලංකාගමනයත් සමගින් සිංහල ජන සමාජයට දායාද විය. ඓතිහාසික වශයෙන් අනුරාධපුර, පොළොන්නරු රාජධානි ඇතුළු මේ ධර්මද්වීපය පුරාම ඒ විස්මිත නිමැවුම් අදටත් අප දෑස් ඉදිරියේ වේ. මුතුන්මිත්තන්ගේ දහදිය මහන්සියෙන්, කැපවීමෙන් මතු වූ ආදර්ශයන් ජීවිතයට උකහා ගනිමින් ඉතිහාසයට තවත් විස්මිත නිර්මාණ එක් කරන ධෛර්යමත් මිනිසුන් අද ද වේ. ඒ චරිතාදර්ශයන් රටට සම්පතකි.

සම්බුදු හිමියන්ගේ ශ්‍රීපාද පද්මයෙහි අනුරුවක් නිමවන්නට නම් අපරිමිත ශ්‍රද්ධාවක් අත්‍යවශ්‍ය ම ය. ඉවසීම උනන්දුව, කැපවීම අත්‍යවශ්‍ය ය. මහා කළු ගලක ඒ නිර්මාණය කරනවා නම් ඒ කාර්යය තවත් අසීරු ය. එහෙත් මිහිඳු මා හිමියන් මීට අවුරුදු දෙදහස් තුන්සිය විසි පහකට පෙර ලාංකේය ජන සමාජයට ඒ ශක්තිය ද, ධෛර්යය ද ලබා දුන්හ. මනස සැකසූහ. පසුගියදා එවන් නිර්මාණ ශිල්පියෙක් අපට හමුවුණි. ඔහු ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන්ගේ අනුග්‍රහයෙන් මෙවර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් මිහින්තලා පුණ්‍ය භූමියේ තැන්පත් කරනලද අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුවේ නිමැවුම්කරු ය. උපුල් සමන්ජිත් පෙරේරා පානදුර වලාන ගාලු පාරේ යූ.එම්. ගල්කැටයම් ආයතනයේ හිමිකරු ඔහු ය. ජීවත් වන්නට දැහැමි වෘත්තියක් තෝරාගත් ඔහු ජීවිත කාලය පුරාම තමන්ගේ දෑතින් ගල්කටුවෙන් කළ අපූර්වතම, අසහායම නිර්මාණය වන්නේ මෙම සම්බුදු සිරිපතුලේ ශෛලමය අනුරුව බව ඔහු පවසන්නේ අප්‍රමාණ සතුටකිනි.

“මම මේ උතුම් කාර්යය භාර ගත්තේ ඉතාම කැමැත්තෙන්. ඒ වගේම ශ්‍රද්ධාවෙන්. මාස දෙක හමාරක් තිස්සේ කිසිදු මාංශ ආහාරයක් නොගෙන, ඒ වෙනුවෙන් පිරිසුදුව පේ වුණා. ටිකෙක් ටික සම්බුදු සිරිපතුලේ අනුරුව මතු වෙද්දි බුදු හාමුදුරුවෝ ගැන වචනයෙන් කිව කොහැකි ශ්‍රද්ධාවක් ඇති වුණා. සම්බුදු ශ්‍රී පාද පද්මයේ මංගල ලකුණූ ගැන හොඳින් අධ්‍යයනය කළා. සිතේ ධාරණය කරගත්තා.

මා මේ සිදුකර ගත්තේ මහා පින්කමක් බව නිතර සිහිපත් වුණා. වැඩ කරන වෙලාවට පාරේ යන අය මම වැඩ කරන ආකාරය පවා බලා සිටියා. ඒත් කිසිම කරදරයක් ලෙස සිතුවේ නෑ. සිරිපතුලේ අනුරුවේ වැඩ නිම වෙන්නටත් පෙර ඒ අය ඊට වන්දනාමාන කළා. ඒ දකින වාරයක් පාසා මගේ සිතේ ශ්‍රද්ධාව වැඩිවුණා.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව නිමකළ අයුරු ගැන ඔහු පවසන්නේ අපරිමිත සතුටකිනි.

“දවසක් මම වැඩ කරමින් ඉන්නා අතරේ මගේ පිටුපසින් කෙනෙක් ඉන්නවා වගේ දැනුණා. ආපසු හැරී බලද්දී ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ ඇසිපිය නොගසා වැඩ නිමැවෙමින් තිබෙන සම්බුදු සිරිපතුලේ අනුරුව දෙස බලාගෙන සිටියා. මම හිතුවේ මගෙන් යම් වැඩ කටයුත්තක් කරගන්නට ආ හිමිනමක් කියලයි. ඒත් උන්වහන්සේ පැමිණි කාරණය මට පැවසුවේ නෑ. “මහත්තයා කරගන්න මේ පින වචනයෙන් කියා නිම කරන්නට බෑ. කියලා උන්වහන්සේ ආපසු වැඩම කළා. ඒ, මට බෞද්ධ සාහිත්‍ය පිළිබඳ බොහෝ දේ කියාදීමෙන් පසුවයි” ඔහු පවසන්නේ ය.

උපුල් සමන්ජිත් මහතා ගල්කටුවට අත පුරුදු පුහුණු කරන්නේ දශක තුනකට පමණ පෙර ය. ඒ සිය වැඩිමහල් සහෝදරයාගේ අනුදැනුම හා උපදෙස් මත ය. වසර 25 ක් පමණ සොහොයුරා ළඟ ශිල්පය පුරුදු පුහුණු කළ ඔහු දැන් ස්වාධීන නිර්මාණ ශිල්පියෙකි. ඒ වගේම විස්මිත හැකියාවන් ඇති දක්ෂ කලාකරුවෙකි. එහෙත් ඔහු මුල අමතක කරන්නේ නැත. සිය සොහොයුරා දුන් ශිල්ප ඥානය සෑම මොහොතකම කෘතවේදීව සිහිපත් කරන්නේ ය. ඒ බොදුනුවකුගේ හැදියාවේ ලකුණකි.

මෙම සම්බුදු සිරිපා ශෛලමය අනුරුවට පෙර උපුල් මහතා එවැනි නිර්මාණ 12 ක් පමණ නිමකර වෙහෙර විහාරස්ථානයන්හි පුද පූජාවන්ට ඉදිරිපත් කර තිබේ.

එහෙත් ජීවිතයේ ලද මහාර්ඝම අත්දැකීම ද, භාග්‍යයද මෙම සම්බුදු සිරිපා අනුරුව බව ඔහු පවසන්නේ ය.

“මේ වගේ නිර්මාණයක් ආවාට ගියාට කරන්න බෑ. මූලිකවම පස්පවින් දුරු වෙන්න ඕනෑ. මම හැම දවසකම වැඩ පටන් ගත්තේ තෙරුවන් සිහිකරලා. සුවඳ දුම් අල්ලා, මේ නිර්මාණයට වන්දනා මාන කරලයි. සම්බුදු සිරිපතුලේ අනුරුව නිම වු දවසේ හිතට දැනුණේ කියා ගන්න බැරි සතුටක්. ඒ වගේම මහා පින් සිතිවිල්ලක්. නිවසේ සිට ලේක්හවුස් ආයතනයෙන් සම්බුදු සිරිපා අනුරුව රැගෙන ගිය මොහොතේ මට මහා දුකක් ඇති වුණා. ඒත් ලේක්හවුස් ආයතනයේ සිට සියලු පුද පූජා පවත්වා පිරිත් සජ්ඣායනා කළ මොහොතේ සිට සම්බුදු සිරිපතුලේ අනුරුව දැක බලාගන්නට පැමිණි මහ ජන ගංගාව දුටු මොහොතේ ඒ දුක්බර සිත පින් සිතිවිලිවලින් පිරුණා. මිහින්තලාව දක්වා වැඩම කරවු පෙරහර දැක බලා ගන්නට එක් රොක් වුණු මහ ජනතාව තෙදිනක් පුරා ගමන් කළ මාර්ගයේ වෙහෙර විහාරස්ථානයන්ගෙන් ලැබුණූ පිළිගැනීම සැබැවින්ම මා මවිතයට පත්කළා. ඊට වඩා සතුටක් මගේ ජීවිතයේ මීට පෙර මම ලබා නෑ”

උපුල් සමන්ජිත් මහතාගේ වචනයක් පාසා ගැබ්ව ඇත්තේ ශ්‍රද්ධාව ය. ඒ සද් කාර්යය ඉෂ්ට සිද්ධ කරගන්නට තමන්ට වාසනාව හිමි වූයේ පත්තර මහ ගෙදර, ලේක්හවුස් ආයතනය නිසා බව ඔහු සිහිපත් කරන්නේ කෘතවේදිත්වයෙනි.

ලේක්හවුස් ආයතනය මේ කාර්යය මට භාර නොදෙන්නට මේ සා පින්කමක් කරගන්නට අවස්ථාවක් නොතිබෙන්න තිබුණා. මේ කාර්යට දායක වු සියලු දෙනාටම මම ස්තූති පූර්වකව පින් දෙනවා. ඒ වගේම ලේක්හවුස් ආයතනයට මෙවැනි සද් කාර්යයන් කරමින් රටට ජාතියට ආගමට සේවය කරන්නට තව තවත් ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා”

ඔහු පවසන්නේ අව්‍යාජය පිරි සතුටිනි.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]