UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෞන්දර්යය හා කලා රසිකත්වය ආත්ම සංයමය සඳහාය

 

සෞන්දර්යය හා කලා රසිකත්වය ආත්ම සංයමය සඳහාය

ක්‍රි.පූ. තෙවන සියවසේ දෙවන පෑතිස් නිරිඳුන් දවස මිහිඳු මහරහතන් වහන්සේ විසින් දඹදිවින් මෙහි ගෙනවූත් ස්ථාපිත කරන ලද බුදුසමය නිසා සිංහල ශිෂ්ටාචාරයට නව ජීවන මාර්ගයක් මෙන් ම නව්‍ය පරමාර්ථයන් ද එකතු විය. එමගින් සෞන්දර්ය හා කලා රසිකත්වය වර්ධනය කර ගැනීමට ලැබුණ පිටිවහල අති ඉමහත් ය.

ඒ අනුව මිහිඳු මා හිමිපාණන් වහන්සේ විසින් මෙහි ගෙනෙන ලද්දේ ආගමක් පමණක් නො වේ. එකල ඉන්දියාවේ දියුණුව පැවැති අශෝක අධිරාජ්‍යයේ සෑම සංස්කෘතික අංශයක් ම මෙහි ගෙනෙන ලදී. එම කාර්යයෙහි ප්‍රධානත්වය දරන ලද්දේ සඟමිත් මහරහත් තෙරණිය යි. එතුමිය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමත් සමඟම අටළොස් ශ්‍රේණියක ශිල්පීන් ද රැගෙන ආ බව සඳහන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්වැසියාගේ ජීවිතයේ ප්‍රබල වෙනස්වීම් ඇති විය. සිංහල ශිෂ්ටාචාරයේ සැම අංගෝපාංගයක් පාසා ම එම ව්‍යාප්තිය දක්නට හැකි විය. 5

බුදුදහම ලක්දිවට හඳුන්වා දී වැඩි කලක් නො යා බුද්ධාගම රටේ රාජ්‍ය ආගම විය. බුදුසසුන වේගයෙන් ව්‍යාප්ත වූ අතර, ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය නො අඩුව ලැබුණි, භික්ෂූන් වහන්සේලා ගණනින් වැඩිවත් ම උන්වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සංඝාරාම වෙහෙර විහාර, දාගැබ් ආදි ආගමික අවශ්‍යතා සම්පූර්ණ කිරීමත් සමඟම කලා ශිල්ප දියුණුවක් ද ඇති විය. විශේෂයෙන් ආවාසය මුල් කරගෙන ගෘහ නිර්මාණ ශිල්පයේ අභිවෘද්ධියක් ප්‍රකට ව පෙනේ. බෞද්ධයාගේ ආගමික ජීවිතය අර්ථවත් කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි මෙන්ම භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා විවිධ විහාරාංග එකතු විය. ඒ අතර ස්තූපය, බෝධිය, වටදාගෙය, බෝධිඝරය, පටිමාඝරය, උපෝසථාගාරය, සන්නිපාත ශාලාව, ධම්ම මණ්ඩපය, හත්තශාලා,ඡන්තාගර, අග්ගිශාලා, වච්ච කුටි ආදි ගොඩනැගිලි විය. එම ගොඩනැගිලි විචිත්‍රව, කලාත්මකව, ක්‍රමානුකූලව හැඩගැසීම ඉතිහාසය මුළුල්ලේ ම සිදුව තිබේ. ඒවා සිංහල සම්ප්‍රදාය හා මිශ්‍රව තවදුරටත් සකස් විය.මේ අනුව ලක්දිව කලාව හා ගෘහ නිර්මාණ ශිල්පයේ භාරතීය ප්‍රභවය දක්නට ඇතත් ලාංකික ශිල්පීන්ගේ ස්වාධීන ලක්ෂණ ද දැකිය හැකි ය. ඒ බව තහවුරු වන්නේ ඉන්දියාවේ කිසිම ප්‍රදේශයක කලා ශිල්ප සමඟ මුළුමණින් ම සමාන වීමක් ලක්දිව කලා ශිල්පවල දක්නට නො මැති වීම ය.

බුදු දහම ලෝකය දුකින් පිරී තිබේ යන ආකල්පය දැරුවත් බෞද්ධ ඉගැන්වීමෙන් මිනිසාගේ සහජ නිර්මාණ ශක්තිය යටපත් නො කරයි. ස්වභාව සෞන්දර්යය හා කලා රසිකත්වය අගය කරන බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමේ දි ස්වභාව ධර්මයේ විචිත්‍රතාව දක්වන උපමා රූපක නො මදව යොදාගෙන ඇත. එයින් කලා රසඥතාව ගැන සිත් ගොනු කළ බව පැහැදිලිව පෙනේ. බෞද්ධයාගේ කලා රස වින්දනය නො ඇලෙන ස්වරූපයක් ගනී. එනම් අයිතිකර ගැනීමේ අදහස නොව ඉවත් වීමේ අදහස යි. බෞද්ධයා විවේකය අර්ථවත්ව ගත කිරීමට බෞද්ධ කලාව උපයෝගී කර ගනී. ලංකාවේ කලා ශිල්ප සකස් වීමේ දී ද මේ ආකල්පය ප්‍රකටව පෙනේ.

මිහිඳු මා හිමියන්ගෙන් අපට ලැබුණ සෞන්දර්යය හා කලා රසිකත්වය සිංහලයාගේ ආත්ම සංයමය සඳහා ය. සදාචාර වර්ධනය සඳහාම ය. නිරාකූල ජීවනෝපාය සඳහා ය. අනුරාධපුර යුගයේ සිට අතීත කාලවේ මෙකී ලක්ෂණ මතු වී පෙනුණි. එකල නිර්මාණය කරන ලද පිළිම දාගැබ්, වැව්, පොකුණුූ ආදි හැම ලලිත කලාත්මක කෘතියකම මේ ලක්ෂණ ආවේණිකව ඇත.

ලංකාවේ ස්තූපය,වෙහෙර, චෛත්‍යය, චේතිය ආදි නම් වලින් හඳුන්වනු ලබන ස්ථූප නිර්මාණය භාරතීය ක්‍රමයෙකින් ආභාසය ලබා සකස් වී ඇත. එහෙත් ලාංකික, ශිල්පියා භාරතීය ක්‍රමයම නො ගෙන එයට ස්වාධීන ලක්ෂණ එකතු කොට තිබේ. ස්තූපයේ ගර්භයේ ඉහළ කොටස, විවිධ සංවර්ධනයන්ට භාජනය තිබේ. වාහල්කඩ හා වටදාගෙය මෙහි දී එකතු වූ සුවිශේෂ තවත් අංග දෙකකි.

ස්තූපයේ වැදගත් කොටස ගර්භය යි. ස්තූපයේ ව්‍යුහය සකස් වීමේදි භාරතීය ඡත්‍රය කවාකාර ස්වරූපය විවිධ වෙනස්කම්වලට භාජනව ඇත. ඒ අනුව ආකෘති ගණනාවක් ම දක්නට ලැබේ.

ඒ අතර ස්තූපයේ ජනපි‍්‍රය ආකෘති සයක් ඇත. බුබ්බුලාකාර (දිය බුබුලක් වැනි) ධාන්‍යාකාර (ධාන්‍ය ගොඩක් වැනි) ඝණ්ඨාකාර (ඝණ්ඨාරයක් වැනි) පද්මාකාර (නෙලුමක් වැනි) ඝටයාකාර (කළයක් වනි) අම්ලාකාකාර (නෙල්ලි ගෙඩිවක් වැනි) වශයෙනි. ලාංකික ශිල්පියා මෙයින් බුබ්බුලාකාර හා ධාන්‍යාකාර ආකෘති දෙක භාවිතයට ගත් බව පෙනේ.

ඉතිරි කොටස පොසොන් අව අටවක ජූලි 06 පත්‍රයේ පළවේ.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]