UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතට නැඟෙන අරමුණු පසුපස හඹා යනවාද?

අරමුණු පසුපස හඹා යනවාද?

" පින් මහිමය, වාසනා මහිමය ඇතිව මේ ලෝකයේ උපත ලද මේ පිරිස යහපත් මවුපියන්, ඥාතීන්, කලණ මිතුරන්, ගුණ ධර්ම උරුම කරගෙන උපදිති. ඔවුන්ගේ අධ්‍යාත්මය ප්‍රබලය. දියුණු ය. ධර්මයට අනුව හැඩගැසී කටයුතු කරති. පරෝපකාරය පිණිස වැඩ කරති. මුළු ජීවිතයම සුවඳින් පිරී ඇත. සිතට නැගෙන අරමුණු පසුපස "

අප ජීවත්වන සමාජය විවිධත්වයෙන් යුතු ය. එහි ජීවත්වන මිනිසුන් ද විවිධ තරාතිරම්වල අය වෙති. මොවුන්ගේ සිතිවිලි නිතර වෙනස්වන සුළු ය. මේ වෙනස්වන ලෝකයත් සමඟම මිනිසාගේ සිතුම් පැතුම් ද චර්යාවන්ද නිරතුරුව වෙනස්කම්වලට භාජනය වේ. වෙනස් නොවී පවතින කිසිදු දෙයක් මේ මිහිපිට නැත . එය මෙලොව පවතින ධර්මතාවයි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය සර්වකාලීනය. උන්වහන්සේ මිනිසා පිළිබඳව මිනිසාගේ ගති පැවතුම් හා චර්යාවන් පිළිබඳව විවිධ අවස්ථාවලදී විවිධාකාරයෙන් දේශනා කර තිබේ. එම කරුණු අද සමාජයට ද මනාව ගැළපේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දී පුද්ගලයාගේ ස්වභාවය කළයකට උපමා කරමින් සමාජයේ ජීවත්වන පුද්ගලයන් පිළිබඳව කදිමට විග්‍රහ කර තිබේ. ඒ පිළිබඳ විස්තර අංගුත්තර නිකායේ චතුත්ත නිපාතයේ මෙසේ සඳහන් ව ඇත.

දිනක් බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවක සංඝයා වහන්සේ සමඟ ගම් නියම් ගම් ඔස්සේ වැඩම කරමින් සිටි සේක. එසේ ටික දුරක් වඩින අතරතුරදී උන්වහන්සේ ගැමි නිවසක් ද ඒ නිවසේ ගෙමිදුලෙහි මැස්සක තබා තිබුණු කළ කිහිපයක් ද දුටුහ. එවිට බුදුරජාණන් වහන්සේ "ඔබ වහන්සේ පයින් ගමන් කිරීම නිසා විඩාවට වෙහෙසට පත්ව ඇත්දැයි" තම ශ්‍රාවක සංඝයා වහන්සේගෙන් විමසූහ. උන්වහන්සේ ද තමන් වහන්සේ විඩාවට වෙහෙසට පත්ව පිපාසය දැනෙතැයි පෙරළා පිළිතුරු දුන්හ. එසේ නම් ඒ ගෙදරට ගොස් පිපාසාව සන්සිඳුවා ගන්නැයි වදාළහ.

නිවසේ කිසිවකුත් නොසිටි අතර බුදුරජාණන් වහන්සේ මැස්ස උඩ තිබූ කළගෙඩි සතර සෝදිසි කර බලන්නැයි උන්වහන්සේට පැවසූහ.

ශ්‍රාවක සංඝයා වහන්සේද මැස්ස උඩ තිබූ කළ ගෙඩි දෙස විපරම් කර බැලූහ. විවිධ පිළිතුරු දුන්හ. එවිට උන්වහන්සේ කළ ගෙඩි සතර සතර ආකාරයකින් දුටුහ. එනම්

තුච්ඡො පිහිතො - ඇතුළත හිස්. කට වසා ඇත.

පුරො විවටො - ඇතුළත පිරුණු . කට වසා නැත

තුච්ඡො විවටො - ඇතුළත හිස් කට වසා නැත

පුරො පිහිතො - ඇතුළ පිරුණු. කට වසා ඇත

බුදුරජාණන් වහන්සේ 'කළ' භාවිතය මිනිස් ජීවිතයේ ක්‍රියාකාරකම් හා සම්බන්ධ කර ගනිමින් ධර්මය දේශනා කළහ. එම දේශනාව අප සමාජයේ ජීවත්වන ගිහි පැවිදි ලොකු කුඩා බාල මහලු සැමට එකසේ වැදගත් වේ. එසේම සැම අයෙකුම ජීවිත ගෙවන්නේ මේ භාවිතය අනුව යමින් බව පැහැදිලි ය.

ඇතුළත හිස් වූ කට වසා ඇති කළය

මෙසේ පුද්ගල ඇතුළත හිස් වූයේ ද කට වසා ඇති වූයේ ද මේ සස්නෙහි ඇතැම් පුද්ගලයන්ගේ ඉදිරියට යෑම, ඉදිරිය බැලීම, ඔබ මොබ බැලීම, අත් පා හැකිළීම, අත් පා දිග හැරීම, පා සිවුරු දැරීම ප්‍රසාදයට පත්වෙයි. මේ දුක යැයි තත් වූ පරිදි නොදනී. මේ දුක්ඛ සමුදය යැයි මේ දුක්ඛ නිරෝධය යැයි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යැයි නොදනී. මහණෙනි මෙසේ පුද්ගල ඇතුළත හිස් වූයේ කට වසා ඇති කුම්භයක් මෙනි.

මේ ගනයට අයත් පිරිස් අප සමාජයේ ද වෙසෙති. පිටතින් බැලූ විට ඇතුළතින් ඇති දේ පිළිබඳ අවබෝධ කර ගැනීම අපහසු ය. ඔවුන් තුළ කිසිදු ආධ්‍යාත්මික දියුණුවක් නැත. එකඟ කරගත් සිතක් නැත. එහෙත් බැලූ බැල්මට ඔවුන් කෙරෙන් සංවර බවක් දිස්වේ. බොරු ශික්ෂාකාමී බවක් පෙන්වයි. වෛරී සිතිවිලි පතුරුවයි. මේ සියල්ල යටපත් කරගෙන බොරු අධ්‍යාත්මික දියුණුවක් පෙන්වීමට ඔවුහු සමත් ය.

ඇතුළත දිය පිරුණු කට වසා නැති කළය

ඇතැම් පුද්ගලයකුගේ ඉදිරියට යෑම, පෙරළා ඊම, ඉදිරිය බැලීම, ඔබමොබ බැලීම, අත් පා හැකිලීම, අත් පා දිග හැරීම, පා සිවුරු දැරීම ප්‍රසාද එළඹෙන්නේ නොවෙයි. මේ දුක යැයි තත් වූ පරිදි දනී මහණෙනි මෙම පුද්ගලයා මේ දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාව යැයි තත් වූ පරිදි ද නී. මෙසේ පුද්ගල පිරුණේ පිටත විවෘත වූයේ වෙයි. මහණෙනි යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වේද මහණෙනි මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පරිදි ඇතැම් පුද්ගලයන් ජීවත් වන්නේ පුරො විවටො කළය මෙනි. ඔවුන්ගේ ජීවිත තුළ අධ්‍යාත්මික වශයෙන් වටිනා දේවල් ඇත. මිනිසත් බව ලැබීමට තරම් පින් ඇත්තෝ වෙති. සංසාර ගමන යහපත්ව ගමන් කර ඇත. යහපත් මවුපියන්, සහෝදරයන්, ඥාතීන්, ධන සම්පත්තීන් සහිතව උප්පත්තිය ලබා ඇත. එසේ වුවත් දැන් මේ ජීවිත ගත කරන්නේ අයහපත් ආකාරයෙනි. ඉන්ද්‍රිය සංවරයක් නැත. ශික්ෂාකාමී බවක් නැත. ඇස, කන, නාසය, දිව, ශරීරය නිරතුරු පිනවයි. උප්පත්තියෙන් බලවත් භාවයක් ලබා තිබුණත් දිවි ගෙවන ආකාරයෙන් දිය පිරි වසා නොතිබුණු කළය මෙන් ඵල ප්‍රයෝජනයක් නොමැතිව කටයුතු කරයි.

ඇතුළත හිස් කට වසා නැති කළය

මේ සස්නෙහි ඇතැම් පුද්ගලයන්ගේ ඉදිරියට යෑම, පෙරළා ඊම, ඉදිරිය බැලීම, ඔබ මොබ බැලීම, අත්පා හැකිලීම, දිග ඇරීම, පා සිවුරු දැරීම, ප්‍රසා ද එළඹෙන්නේ නොවෙයි. මේ දුක යැයි තත් වූ පරිදි නොදනී. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යැයි තත්වූ පරිදි නොදනී. මෙසේ පුද්ගලයා ඇතුළත හිස් වූයේ පිටත විවෘත වූයේ වෙයි. මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙක් යැයි පවසමි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ තෙවැනි කළය හිස් කළයකි. එහි දිය නැත. කලයේ කට ද වසා නැත. මෙලොව උප්පත්තිය ලැබුවත් වාසනා ගුණයක් නැත. උප්පත්තියට හේතු වී ඇත්තේ කථත්තා කර්මයයි. කථත්තා කර්මය නම් දුර්වල කර්මයයි. මෙලොවට පැමිණෙන ඔවුන් හිස් කළ වැනි ය. සිතිවිල්ලෙන් පවා කරන්නේ පාප ක්‍රියා ය. පංචේන්ද්‍රියන්ගේ සංවරයක් නැත.

ඇතුළත දිය පිරුණු කට වසා ඇති කළය

මේ සස්නෙහි ඇතැම් පුද්ගලයන්ගේ ඉදිරියට යෑම, පෙරළා ඊම, ඉදිරිය බැලීම, ඔබ මොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, පා සිවුරු දැරීම ප්‍රසාද එළඹෙන්නේ වෙයි. මේ දුක යැයි තත් වූ පරිදි දනී. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යැයි තත් වූ පරිදි දනී. මෙබඳු පුද්ගලයා ඇතුළත පිරුණෙත් පිටත පියමුව ඇතියේද මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.මහණෙනි මේ සතර මෙය ලෝකයේ විද්‍යාමාන ය.

අනෙක් කළ තුනටම වඩා වටිනා හොඳම කළය වන්නේ මෙයයි. මෙවැනි අගනා වටිනාකම් සහිත උතුම් මිනිසුන් ද අප ජීවත්වන සමාජයේ වෙසෙති.පින් මහිමය, වාසනා මහිමය ඇතිව මේ ලෝකයේ උපත ලද මේ පිරිස යහපත් මවුපියන්, ඥාතීන්, කලණ මිතුරන්, ගුණ ධර්ම උරුම කරගෙන උපදිති. ඔවුන්ගේ අධ්‍යාත්මය ප්‍රබල ය. දියුණු ය. ධර්මයට අනුව හැඩගැසී කටයුතු කරති. පරෝපකාරය පිණිස වැඩ කරති. මුළු ජීවිතයම සුවඳින් පිරී ඇත. සිතට නැගෙන අරමුණු පසුපස හඹා නොයයි. ඔවුන්ගේ මුළු පංචේන්ද්‍රියම සංවර ය.

මේ ආකාරයෙන් අපද පිරිසුදු දියෙන් පිරි ආරක්ෂා සහිත කළය මෙන් වටිනා පුද්ගලයන් බවට පත්විය යුතු ය. ඒ සඳහා ඒකායන මාර්ගය චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ කරගැනීමයි. දුක්ඛ සමුදය නිරෝධ ගාමිණී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගැනීම තුළ ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුව සලසා ගත හැකි ය.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]