UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහමින් ඔපවත් වූ අපේ ජන කවිය

බුදුදහමින් ඔපවත් වූ අපේ ජන කවිය

ජන කවිය වූ කලී , පැරැණී ගම්බද ජනයාගේ එදිනෙදා දිවි පැවැත්ම ඇසුරු කර ගෙන උපන් විශිෂ්ට සාහිත්‍යාංගයකි. ව්‍යාජ සාටෝප සාඩම්බර ගති පැවතුම්වලින් තොර වූ , හිස පුරවා ගත් මහා දැන උගත්කම්වලින් බර නොවූ, සැහැල්ලු, එහෙත් වඩාත් හරවත් ජීවන දැක්මකින් හා විවෘත සදාචාර සම්පන්න ගති පැවතුම්වලින් ද සරු වු ගැමි ජීවිතය ජන කවියෙහි උල්පත වූයේ ය. ඒ ගැමියන්ට සුවිසල් මහ මන්දිරවල සුව පහසු යහන් නොවුයේය. රසමසවුලු සහිත අහර ද නොවිණි. රන්, රිදී, මුතු, මැණික්, යාන වාහන හෝ කසී සළු, රන්සළු ද ඔවුන් සතු නොවී ය. එහෙත් ඔවුහු ලද පමණින් සතුටු ව අපිස් සතොස් ගුණයෙන් සරු ව, නිහඬ, නිස්කලංක හා ශිෂ්ට සම්මත ජීවිත ගත කළෝ ය.

ගමේ ගහ කොළ, ඇළදොළ, කඳුහෙල්, මිටියාවත්, කෙත්වතු ඔවුන් තුළ පැවැති ඒ හැදියාවට ම අනුබල දෙමින් අව්‍යාජත්වයක් , රසකාමිත්වයක් එක් කළ බව නොරහසකි. ගමට ආවේණික වු සැහැල්ලු, එහෙත් හරවත් දිවි පැවැත්ම එසේ හැඩගැස්වීමට මුල් වූයේ බුදුදහමයි. ජන කවිය ගැමි අත්දැකීම් මෙන් ම ජීවිතාවබෝධය ද පිළිබිඹු කරන කැඩපතක් වැනි ය. එය ඔවුන් දිවි ගැටගසා ගැන්ම පිණිස කළ විවිධ වෘත්තීන් සමඟ වෙසෙසින් ම බැඳී පවතී. වී ගොවිතැන, හේන් ගොවිතැන, පතල් කර්මාන්තය, කරත්ත පැදවීම, පාරු පැදීම ආදි විවිධ ග්‍රාමීය ජීවිකා වෘත්තීන් ඇසුරු කර ගත් එබඳු රසබර ජන කවි ඔවුන්ගේ වෙහෙස නිවන්නටත්, රසවිඳින්නටත් උපකාරි වූයේ ය.

ප්‍රතිභාව, එනම් අපූර්ව නිර්මාණ කෞශල්‍යය ද , ව්‍යුත්පත්තිය, එනම් පැසුණු නුවණ ද, සතතභ්‍යාසය, එනම් කාව්‍යමය ප්‍රකාශන විෂයයෙහි වන පරිචය ද ප්‍රකට කළ මුඛ පරපුරින් පැවත එන එම පද්‍ය නිර්මාණ ගැමියාගේ උසස් කවීත්වයට දෙස් දෙයි. චිරන්තන සම්භාව්‍ය පද්‍ය කලාවට අයත් ක්‍රමවේදයන් හා සීමා නියමයන්ගෙන් ආවරණය නොවු ජන කවිය රස හර ඉස්මතු කරලීමෙහි වඩාත් සමත් වු බව ද පෙනේ. ඒවා නිතැතින් ම ගැමි මුවින් ගලා ආ අපූරු ගීතමය නිර්මාණ වූයේ ය. හිස පුරවා ගත් පාණ්ඩිත්‍යයෙන් තොර වු බැවින් ගැමියෝ නිදහස් ව සිය අව්‍යාජ වූ සිතැඟි කවියට නැගීමට සමත් වූහ. ගැමි පරිසරය සිසාරා ගිය ඒ ජන කවි අතර ඔවුන් බුදුදහමින් ලද පෝෂණය වෙසෙසින් ම ප්‍රකට වෙයි. මේ එක් නිදසුනකි.

රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද
පැණි මීයේ කල මුත් බඩගිනි නැද්ද
මිණි බරණින් සැදුමුත් ගත නොදිරද්ද
පැණි වරකා ගහටත් හෙණ නොවදිද්ද

මෙය උපහැරණ කවියකි. අපේ ගැමියන් බුදු බණ තුළින් ජීවිතය දුටු හැටි මින් පෙනෙයි. රන් විමානයක බොහෝ සම්පතින් සරුසාර ව සිටිය ද, සසර දුක මිනිසාට උරුම ය . ඉපදීම, ලෙඩ වීම, මහලුවීම, මරණය ඉක්මවා යා නොහැකි ය. ගැමි සොබාදහම නිපදවන මිහිරිතම කෑම නම් මී පැණි ය. බලවත් සතුටින් ආශාවෙන් කෑවේ ඒ මී පැණි ය. එහෙත් එය තාවකාලික මිහිරකි. මී පැණි කෑව ද නැවත බඩගිනි උපදියි. මුතු මැණික් අබරණින් මේ කය සරසා ගත්තද මෙය දිරන සුළු කුණු කයක් ය. අනිත්‍යය . අසාරය. දුක ය. ගහ පැණි වරකා වුව ද එයටත් හෙණ ගහයි. ජීවිතය කෙතරම් උපභෝග පරිභෝග සම්පතින් ආඪ්‍ය වුවද දුක මිනිසාට උරුම වන්නේ ය. උචිත රූපක ද භාවිත කරමින් සියඅත්දැකීම් හා පරිසරය ඇසුරින් ගැමියකු කවි බණක් කී හැටි මින් පෙනේ.

කල්බලා නො වෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙ ද කිරිවැද පැසෙන්නේ
පව් කළා නො වෙ ද පිං පල නොදෙන්නේ
ලොවුතුරා බුදුන් කවද ද දකින්නේ

ගැමියෝ සිය අත්දැකීම් ද මුසු කර සසර පැවැත්මට තුඩු දෙන කර්මය ද, සසර නැවැත්ම වූ නිවන ගැනද කවියෙන් කීහ. කල්යල් බලා ගොවිතැන් කළ යුතු ය. වැසි කල, නියං කල නොබලා කරන ගොවිතැන නිසි ඵල උදා නොකරයි. පින ද එබඳු ම ය. එය පල දෙන්නේ ද නිසි කලට ය. කල පව් ඇති විට පින් පල නොදෙන්නේ ය. මේ සසර පැවැත්ම ය. ගොයම කිරි වැද පැසෙන්නට නම් මල් වැරිය යුතු ය. ඉවරයක් නැති දුක් සැප උදා කරන මේ සසරින් මිදී බුදුන් දැක නිවන් දකින්නේ කවදා දැයි ගැමියාට උපන් ඒ බුදු බණ සිතිවිල්ල එසේ කවියක් වූයේ ය. ගැමියන් කෙතරම් අපූරුවට සියදිවි පැවැත්ම තුළින් බුදු බණ තේරුම් ගෙන සිටියේ දැයි මින් පෙනේ.

ගොවිතැන ඔහුට සසර ද, පින් පව් ද කියා දුන්නේ ය. නැවත නැවතත් සසර ඉපිද දුක් විඳිතියි වදාළ බුදු බණ ද මේ ගොවිතැනෙහි නිමක් නොපෙනෙන්නා සේ, සසරෙහි ද නිමක් නොපෙනේ යැයි දඹදෙණි දවස ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලියෙහි කී උවම ද මෙම පද්‍ය අසන්නෙකුට සිහිපත් වෙයි. පවක විපාකය දුක යැයි බුදු බණ උගන්වයි. දුක දිළිඳු ගැමියාට හුරු පුරුදු ය. මේ ඒ ඇසුරින් උපන් කවියකි.

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදා ද මව්පියො දකින්නට

ඔහු දුරු රට ගොස් සිටියි. ඒ ගමින් බැහැරව ය. පතල් කම්කරුවෙකු වු මේ ගැමියාට හෙවන වී ඇත්තේ දුම්බර පිහිටි මහ කළුගලකි. ඔහුගේ වාසය එතැන ය. ගමේ උපදින අල බතලින් ද, පලා කොළ ඇඹුලින් ද හේ දුරස් ව සිටියි. කන්නේ කරවල හොද්දත්, රට හාලේ බතත් පමණි. එය ඔහුට නීරස ය. ගමෙහි සිසිලස ඇති සුපිරිසුදු උල්පතකින් වෑහෙන දිය ඔහුට නැත. බොන්නේ දුම්බර බොර දියයි. මේ දුකින් මිදී සුව එළවන මව්පියන් දක්නට ගමට යන්නේ කවදා දැයි ඔහුට සිතේ. අපේ ගැමියෝ තදින් ම පින්පව් ඇදහූහ. ඔහුට පෙනෙන පරිදි ඒ පතල් දුක පවෙහි විපාක ය. එයින් මිදී සැප ලබන්නේ කවදා දැයි උපන් අහිංසක සිතිවිල්ල හෙතෙම එසේ කවියට නැගුවේ ය. මේ ගැමියන් තුළ කර්මය අරබයා පැවති දැනුම ප්‍රකට කරවන තවත් ජන කවියකි.

තණ්ඩලේ දෙන්න දෙපොළේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පව් කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා

මේ කරත්ත කවියකි. කරත්තය අදින ගොනු පසුපස රිය සක ඇදී එන්නා සේ, පව් කළ තැනැත්තා පසුපස දුක ඇදී එන්නේ යැයි වදාළ බුදු බණ සිහියට නංවන මේ කවිය ද ගැමි අත්දැකීම් ඇසුරින් ම උපන්නකි. මේ ගැල්කරු දුෂ්කර වු කඳු සහිත මගෙක ගැල පදවමින් කී කවියකි. ඔහුට හපුතලේ මහ කන්ද ඉදිරියෙන් පෙනේ. බඩ දන්නේ එහි උස දකින විට ය. ඒ කන්ද නැඟීම නම් මහ දුකකි. එහෙත් යා යුතුය. පව් කළ විට දුක් විඳින්නට සිදු වෙයි. සිය දිවි පැවැත්ම හා දහම එක්කර ගත් මේ කවියා තුළ මහා බරක් ද ඇදගෙන කඳු නගින ගොනා කෙරේ ඇත්තේ අනුකම්පාවකි. ගොනු විඳින දුක ගැමියාට ද දැනේ. පෙනේ.

අව්‍යාජ වූ ආගම භක්තියෙන් අපේ ගැමියෝ පිරිපුන්ව සිටියෝ ය. ඔවුනට තුණුරුවන හැර වෙනත් සරණක් නොවී ය. මේ ගොයම් කවිය ඒ බව ප්‍රකට කරන්නකි.

බුදුන් තිලෝකෙට උත්තම වන්නේ
යොදුන් ගණන් බුදු රැස් විහිදෙන්නේ
සඳුන් සුවඳ මල් පුද කර පන්නේ
බුදුන් සරණ සිහි කර කියමින්නේ

ගැමි ගෙවිලියන් කෙත් යායෙහි බුදු ගුණ ගැයු සැටි ය. ඒ සෞම්‍ය වු සංවේදි වූ අහිංසක ආගමික හැඟීමෙන් පිරුණු හදවතින් ඔවුහු බුදුන් වැන්දාහ. සුවඳ කවි මල් පිදුවෝ ය. එය ඔවුන්ගේ ගැමි දුකට, ගැමි සිතට අස්වැසිල්ලක් වූයේ ය. ඒ බුදු ගුණ ගීතිකා සිසාරා ගියේ ගොයම අතරිනි. සැදැහැබර සිතිවිලි පැතිර ගියේ කෙත් යාය මැදිනි. එය සරු අස්වැන්න ලබා දුන්නේ ය. පෙර එබඳු ගෙවිලියන් පිරිසක් කෙත් යායෙහි කී සසර දුක කියවෙන බුදු බණ අසා සැට නමක් රහත් වු පුවතක් අපේ අටුවාවෙහි ද එයි. එය ලක්දිව පුවතෙකි. ලෝවැඩ සඟරාව ඒ පුවත කවියට නගයි. ඒ ‘දහමට සරි කොට එලුවෙන් පෙර කී’ යන උපදෙස ය.

බුදු බණෙහි ඇසුර ලද ගැමි කවියාගේ සිතේ ඇති සත්ත්ව කරුණාව පිළිබිඹු වන මේ කවිය දරුවකු සේ තම මී වස්සාට කතා කරන ගැමියකු අප ඉදිරියට පමුණුවන්නකි. දුක් විඳින ඒ සතුන්ට තෙරුවන් සරණ පතන, දෙවි පිහිට පතන ගොවියා මේ කවි කියන්නේ සී සාන ගමන් ය. මෙහි අගට එක් වන ඌවෝ...ඌවෝ...යන්න අඬහැරයයි. සී සාන ගොවියා ඉතා දික් ස්වරයකින් නගන හඬයි. ගැමියෝ නිමක් නැති තර්ක විතර්කයෙන් දුෂිත වූ , කටුක ව ගිය සිත් නැත්තෝ වූහ. එබැවින් ඔවුහු බුදුන් මෙන් ම දෙවියන් ද පිළිගත් හ. තම ජීවන පැවැත්මට උර දුන් ඒ අසරණ තිරිසනුන්ට ද දෙවි පිහිට ම පැතුම ඒ සැබෑ කරුණාවෙනි.

නහින දෙහින කාලටෙ පින් කෙරුම යුත
වහින කලට කූරින් විල්වලින් වත
බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත
පනින රිලවුන්ට ඉනිමං කමක් නැත

එක් අතකින් මිනිස් දුබලකම්වලට එල්ල කෙරෙන සියුම් උපහාස ය ද ,ඇණුම්පද ස්වරූපය ද, අනෙක් අතින් පුළුල් ජීවිතාවබෝධය ද කැටි කර ගත් මේ කව මද සිනහවකින් ම ගායනා කළ බව නිසැක ය. නහින දෙහින කාලෙට එනම් මහලු වියේ දීවත් පින්දහම් කර ගත යුතු ය. එහි පල විපාක ලැබෙන්නේ නිසි කලට ය. ඒ වැසි කලට විල් උතුරා කූරින් ගොඩට එන්නාක් මෙනි. මේ සංසාගරත ජීවිතයෙන් ගත යුතු එකම ඵලය වන්නේ ද පින්දහම් කර ගැනීම ය. උපදින ජීවිතය මහලු විය තෙක් ගලා ගොස් නිම වෙයි. එබැවින් එසේ මියෙන්නට පළමු පින් කළ යුත්තේ ය. ඒ පින ම පරලොව ද පිහිට වෙයි.

කවියෙන් බණ කීම සිංහලයාට අමුතු කලාවක් නොවේ. මුවදෙව්දා, සසදා, කව්සිළුමිණ, ගුත්තිල, කාව්‍යාසේඛරාදි වියත් කවියන්ගේ පැරැණි කාව්‍ය ග්‍රන්ථ තුළින් ද සුභාෂිතය, ලෝවැඩසඟරාව, ලෝකෝපකාරය වැනි උපදේශ කාව්‍ය තුළින් ද කවියෙන් කී බණ දැකගත හැකි ය. ඒ චිරන්ත සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍ය ඉතිහාසය තුළ ය. කවිය ශාස්ත්‍රයක් සේ, සාහිත්‍යය විද්‍යාවක් සේ නූගත් නමුදු නූගත් ගැමියෝ ද කවි කළහ. කවි බණ දෙසූහ. ඒ වියතුන් සබා මැද නොවේ. දම් සබා මණ්ඩප තුළද නොවේ. කමතේ දි ය. කුඹුරේ දී ය. මහ මග දී ය. ඔරු පාරුවේ දී ය. අද කවි බණ දෙසන අපේ දේශකයනට ඒ අහිංසක ගැමියන්ගෙන් ලද හැකි මගපෙන්වීම වු කලී සැබැවින්ම ප්‍රශස්ත ය. ඵලදායක යැයි ද කිව යුතු ය.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]