UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසම සම භාග්‍යවතුන්වහන්සේ

අසම සම භාග්‍යවතුන් වහන්සේ

" සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවෙහි වෙන කිසි දෙවියකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, මිනිසෙකුට හෝ සමාන නැත. එනිසා උන්වහන්සේ “අසම” වන සේක. සමාන වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම බැවින් “සම” වන සේක."

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු තෙමඟුල සමරන සුපින්බර වෙසක් පෝය ගෙවී යත්ම,උන්වහන්සේගේ පමණ කළ නො හැකි ගුණකදම්භයෙන් බිඳක් විමසමු.

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින් ම දුර්ලභ ය. ඇතැම්විට කල්ප බොහෝ ගණනකට එකදු සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ “බුද්ධ ශුන්‍ය” කල්ප වශයෙනි. අප ගත කරන මේ යුගය හඳුන්වන්නේ මහාභද්‍ර කල්පය වශයෙනි. කුමක්නිසාද යත් සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් වන බැවිනි.

මෙම කල්පයෙහි පළමුව පහළ වූයේ කකුසඳ බුදුරදුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර හතළිස් දහසකි. දෙවනුව පහළ වූයේ කෝණාගමන බුදුරදුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර තිස් දහසකි. මිනිසුන්ගේ ආයුෂ වසර විසි දහස වනවිට කාශ්‍යප බුදුරදුන් පහළ විය. ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ වසර එකසිය විස්කට අඩුවිය. එවිට අපගේ ගෞතම නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ පහළවීම සිදුවිය.

මේ කාලය වනවිට මිනිසුන්ගේ ආයුෂ ද පිරිහෙමින් පවතී. ආයුෂ පරිහානිය වසර දහයක් දක්වා පිරිහී ගිය කල ලෝක යුද්ධයක් හටගනී. ආයුෂ වර්ෂාවක් වසී. දින හතක් පුරා පවතින මේ භයානක යුද්ධයෙන් දිවි ගලවා ගන්නෝ ඉතා අතළොස්සකි. ඔවුන් එකිනෙකා වෛර සිත් බැහැර කොට සිප වැළඳගෙන ප්‍රාණඝාතයෙන් වැළකී දැහැමි ජීවිතයක් අරඹනු ඇත. එවිට කෙමෙන් කෙමෙන් මිනිස් ආයුෂ ද වර්ධනය වේ. මිනිස් ආයුෂ වසර අසූ දහසක් වූ කල්හි මේ මහා භද්‍ර කල්පයක පහළවන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පහළවීම සිදුවේ.

ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවෙහි වෙන කිසි දෙවියකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, මිනිසෙකුට හෝ සමාන නැත. එනිසා උන්වහන්සේ “අසම” වන සේක. සමාන වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටම බැවින් “සම” වන සේක.

ඒ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බෝධියට පත්වන්නේ ගුරුපදේශ රහිතව තමන් වහන්සේලා විසින් උපදවා ගන්නා ලද ස්වයංභූ ඤාණයකිනි. දම්සක් පැවතුම් සුතුරෙහිලා අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

පින්වත් මහණෙනි, යම් කලෙක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ (සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන්) පරිවර්තන තුනකින් යුතුව යථාභූත ඤාණ දර්ශනය මා හට අවබෝධ වූයේ වේ ද, එකල්හි “පින්වත් මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණි බවට ප්‍රතිඥා දුන්නෙමි. මා හට ඤාණ දර්ශනය පහළ විය. මගේ චිත්ත විමුක්තිය නො වෙනස් වන්නේ ය. මෙය මාගේ අවසාන උපත ය. යළිත් මා හට පුනර්භවයක් නැත්තේ ම” ය.

මෙය සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලබන පොදු අත්දැකීමකි. චතුරාර්ය සත්‍යාවබෝධය උන්වහන්සේලාතුළ ඇතිවන්නේ බාහිරින් ලත් ශ්‍රවණයකින් තොරව ය.

පෙර නො ඇසු විරූ ධර්මයන්, දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය වශයෙන් උදම් අනන්නේ ඒ නිසා ය.

පාරමි ධර්මයන් සම්පූර්ණ කරන ලද සියලු බෝසතාණන් වහන්සේලා අවසානයට වැඩ වසන්නේ තුසිත දෙව්ලොව ය. බුද්ධ කාලය පැමිණි කල්හි දෙව් බඹුන් පැමිණ උන්වහන්සේට මනුලොව උපදින්නට ඇරයුම් කරති.

ඒ සියලු බෝසතාණන් වහන්සේලා කාලය, ද්වීපය, දේශය, කුලය, මව් යන කරුණු පහ හොඳින් විමසා බලති. ඒ වගේම ඒ සියලු මහබෝසත්වරු මනා සිහිනුවණින් දෙව්ලොවෙන් චුත වෙති. මනා සිහි නුවණින් යුතුව මව් කුසෙහි වැඩෙති. එමෙන් ම මනා සිහි නුවණින් මව් කුසින් බිහිවෙති. මෙය සියලු සම්මා සම්බුදුවරුන්ට පමණක් විශේෂ වූවකි.

ඒ සියලු මහබෝසත්වරු දස මසක කාලය ම සම්පූර්ණයෙන් ම මව්කුසෙහි වැඩ වෙසෙති. එසේ දස මස ගත කරන කාලය තුළ රන් පළසක දිලි විදුරුමිණක් සේ බෝසත් මාතාව ඉතා සුවසේ තම දරුවා දකී. මෙය අද්භූත දෙයකි. ඒ දස මස ඇවෑමෙන් ඒ සියලු මහබෝසත්වරුන් උපත ලබන්නේ බෝසත් මාතාව සිටගෙන සිටිය දී ය. මෙයද සියලු සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

ඒ වගේ ම මහබෝසත්වරු මව්කුස පිළිසිඳ ගත්විට කිසිදු මනුෂ්‍යයකුගෙන් හෝ අමනුෂ්‍යයකුගෙන් හෝ අනතුරක් නො වීම පිණිස සතරවරම් දෙව් රජවරු බෝසතුන් හා බෝසත් මාතාව සිව් දිගින් රැකවල් ලා රැක ගැනීම ද සියලු සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

මහබෝසත්වරු තුසිත ලොවෙන් චුත වී මව්කුස පිළිසිඳ ගනිත් ද එකල්හි දෙව් මිනිස් ලෝකයෙහි ඇති දිව්‍යානුභාවය මැඬලමින් මහත් වූ ආලෝකයක් පහළ වෙයි. සදා අඳුර පවතින ලෝකාන්තරික නිරයට පවා ඉන් එළිය වැටෙයි. මෙය ද සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

යම් විටෙක මහබෝසත්වරු මව්කුසින් නික්මෙත් ද, උන්වහන්සේලාගේ ශරීරයෙහි කිසිදු අපවිත්‍ර දෙයක් නො තැවරේ. මෙය ද සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

ඒ මහා බෝසතාණන් වහන්සේලා මව්කුසින් නික්ම මහ පොළොවට නො පැමිණ සිටිියදී උන්වහන්සේලා පළමුව පිළිගන්නේ සතරවරම් දෙවිවරු විසිනි. මෙයද සම්මා සම්බදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

මහා බෝසත්වරු බිහිවන මොහොත උණුසුමින් හා සිසිලසින් යුතු දිය දහර දෙකක් පොළෙවෙන් මතු වී බෝසත් පුතු හා මාතාවගේ දියකිස කෙරේ. මෙය ද සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

ඒ මහාබෝසත්වරු උපන් කෙණෙහි උතුරු දෙසට සත් පියවරක් තබා වැඩම කොට හාත්පස සිසාරා බලා දකුණත උඩට ඔසවා අභීත වදන් පවසති.

”මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මෙය මාගේ අවසාන උපත යි. දැන් මා හට පුනර්භවයක් නැත්තේ ය” කියා පැවසීම සියලු සම්මා සම්බුදුවරුන් හට පමණක් සිදුවන දෙයකි.

සියලු මහබෝසත්වරුන් දෙතිස් මහා පුරුෂ ලකුණින් සමන්විත වූවාහු වෙති. උන්වහන්සේලා ගෘහවාසය සිඳි බිඳ දමා අභිනිෂ්ක්‍රමණය කරනු ලබන්නේ දෙවියන් විසින් පෙන්වනු ලබන සතර, පෙර නිමිති දැකීමෙනි. සියලු මහබෝසත්වරු දුෂ්කරක්‍රියා කරති. අවසානයෙහි කාමසුඛල්ලිකානුයෝගි අන්තයත්, අත්තකිලමථානුයෝගි අන්තයත් බැහැරකොට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩති. මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරුපදේශ රහිතව සොයාගනු ලබන්නේ උන්වහන්සේලා විසිනි.

සියලු සම්බුදුවරු වෘක්ෂයක් සෙවණක දී චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනය මත වැඩහිඳ සේනාසහිත මරු පරදවා සම්මා සම්බෝධිය සාක්ෂාත් කෙරෙති. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබන මොහොතේ දී සෙවණ ලබා දුන්නේ පිප්ඵලී වෘක්ෂය හෙවත් ඇසතු රුක නම් වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ය. මෙසේ බෝ සෙවණක දී ම බුදුබව ලැබීම සම්බුදුවරුන්ට පමණක් විශේෂ වූ දෙයකි.

ඒ සම්මා සම්බුදුවරු කවරහුදැයි හඳුන්වා ගැනීමට දෙවියන් සහිත ලෝකයාහට උපකාර වන්නේ උන්වහන්සේලා විසින් වදාරනු ලබන ධර්මය තුළිනි. ධර්මයෙන් තොරව සම්බුද්ධත්වය කුමක්දැයි ලොවට වටහා ගැනීමට ක්‍රමයක් නැත. එනිසා බොහෝ අවස්ථාවන්හි උන්වහන්සේලා තම ස්වභාවය හෙළිදරව් කොට දක්වති. සේල බ්‍රාහ්මණයාට තමන් වහන්සේ ගැන පැවසූ ආකාරයෙන් එය මනාව වැටහේ.

”පින්වත් සේලය, මම වනාහි රජෙක් වෙමි. අනුත්තර වූ ධර්ම රාජයෙක් වෙමි. ලොවෙහි අන් කෙනෙකුට කැරකැවිය නො හැකි වූ ධර්ම චක්‍රය මම කැරකැවුවමි. මා විසින් විශිෂ්ට වූ ඤාණයෙන් අවබෝධ කළ යුතු දේ අවබෝධ කරන ලදී. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දේ වඩන ලදී. අවිද්‍යා තෘෂ්ණාවෙන් ප්‍රහාණය කරන ලදී. එනිසා බ්‍රාහ්මණය මම වනාහි බුද්ධ වෙමි”.

බ්‍රාහ්මණය, ලොව සම්මා සම්බුදුවරුන්ගේ පහළවීම ඒකාන්තයෙන් ම දුර්ලභ දෙයකි. බ්‍රාහ්මණය මම වනාහි රාගාදි ක්ලේශ හුල් දෙව් මිනිස් හදවත් තුළින් ඉවත් කරනු ලබන අනුත්තර වූ සම්බුද්ධ නම් ශල්‍ය වෛද්‍යවරයා වෙමි.

ශ්‍රේෂ්ඨත්වයට පත්ව අසම බවට පත්ව සේනාසහිත මාරයා පරදවා වැඩසිටින සියලු අකුසල පාක්ෂික පසමිතුරන් වසඟ කරගත් මා කිසිදු අයුරකින් නො බියව සතුටු වෙමි. සම්මා සම්බුද්ධ නම් වූ ශල්‍ය වෛද්‍යවරයා ලෙස කේශර සිංහයෙක් මෙන් අභීත හඬ පතුරවමි.

ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]