UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගති ගමන - 17 : සංසාර ගමනේ කල්පය

සුගති ගමන - 17 :

සංසාර ගමනේ කල්පය

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ඉතාමත් ම කලාතුරකින්. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත මේ ලෝකයේ පහළ වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ විසිහතර නමක් පමණ යි. ඒ අතර කල්ප අසංඛ්‍යෙයක් බැගින් බුද්ධ ශූණ්‍යයව මේ ලොව පැවතුණා. ඊට පසු ව කල්ප දහදාහක්, දොළොස්දාහක්, විසි දාහක් ආදී කල්ප දහස් ගණනින් බුදුවරු අතර බුද්ධ ශූණ්‍ය කාලයක් පැවතී තිබෙනවා. මෙලෙස මහා කල්පවලින් අසංඛ්‍යෙය හතරකුත් තවත් කල්ප ලක්ෂයක් ඇතුළත ලෝකයේ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසි හතර නම යි.

මහා කල්පය ගැන සඳහන් කිරීමේ දී බොහෝ විට කල්පය දිගු කලක් බව අප දැනගත්තාට අපේ නුවණට වැටහෙන සේ බුදුන් වහන්සේ උපමාවලින් පෙන්වා වදාළා. කල්පය ගැන බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් මෙලෙස විමසුවා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු ගණන කීය ද? බ්‍රාහ්මණය, අවුරුදු වලින් සියය යි. දහස යි, දස දහස යි යනුවෙන් අවුරුදු ගණනින් කල්පය යනු කුමක්දැ’යි පවසන්න අසීරු යි. එහෙමනම්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පය තේරුම් ගන්නේ කෙලෙසදැ’යි සඳහන් කරන්න. එවිට බුදුන් වහන්සේ උපමා දෙකක් වදාළා. එනම්, යොදුනක් උස, යොදුනක් දිග , යොදුනක් පළල විශාල අබ කන්දක් ගැන සිතන්න. යොදුනක් යනු සැතපුම් දාසයක්. එනම්, සැතපුම් දාසයක් උස, සැතපුම් දාසයක් පළල, සැතපුම් දාසයක් දිග අබ කන්දක් ගැන සිතා ගන්න. අවුරුදු සියයකට එක වතාවක් එක අබ ඇටයක් බැගින් ඉවත් කරන්න. නැවත අවුරුදු සියයක් ගිය තැන එක අබ ඇටයක් ඉවත් කරන්න. මෙලෙස අවුරුදු සියයකට එක අබ ඇටය බැගින් ඉවත් කිරීම නිසා යම් දවසක් එනවා ද, මේ අබ ප්‍රමාණය ම අවසන් වෙනවා ද? කල්පය එතරම් ම දීර්ඝ යි යනුවෙන් සඳහන් වෙනවා. තවත් උපමාවක් බුදුන් වහන්සේ පෙන්වා වදාළා. එනම්, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උසට විශාල තනි ගල් පර්වතයක් ගැන සිතන්න. කුහර නැති, සිදුරු නැති මේ තනි ගල් පර්වතය කෙනෙක් සිනිඳු ම සළුව වන කසී සළුවකින් අවුරුදු සියයකට එක වතාවක් පිසගෙන යනවා. මේ නිසා ම යම් විදිහකින් ගෙවීමක් සිද්ධ වෙනවාද? එලෙස ගෙවී ගොස් සළුවේ පිස දැමීම නිසා ම ගෙවී යන මේ ගල් පර්වතය ම ගෙවී අවසන් වී එන කාලයක් වේද, ‘මහණෙනි, කල්පය ඒ වගේම යැ’යි වදාළා.

ඇතැම් විට චෛත්‍ය දෙස බලද්දී සලපතල මළු සඳහා ගල් පතුරු අල්ලා තිබෙනවා. නිබඳව ම එකම තැනකින් පිය නඟන මිනිසුන්ගේ පා සලකුණු නිසා පාදයට ම ගෙවී යන එය කාලයක් ගත වෙද්දී ගලෙන් පිහිටි අඩි සලකුණු, ගෙවුණු. මැදුණු තැන් අපට දකින්නට ලැබෙනවා. ඒ අනුව අපට පෙනෙන්නේ දවසකට සිය දහස් ගණනින් අඩිය තබාගෙන ගියත් අවුරුදු ගණනාවක් ගත වෙද්දී කුඩා ප්‍රමාණයක හෝ ගෙවීමක් පමණ යි සිද්ධ වෙන්නේ. එවිට මේ උපමාව ගත්විට අවුරුදු සියයකට එක වතාවක්, පුංචි සළුවකින් යන්තමින් පිසදමාගෙන යාමෙන් යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස එනම්, සැතපුම් දාසයක් දිග, පළල, උස ගල් පර්වතයක් ගෙවී අවසන් වෙනවා ද, කල්පයක් යනු එවැනි ම කාලයක් බව බුදුන් වහන්සේ පෙන්වා වදාළා.

තව ද අටුවාවේ සඳහන් සේ, අන්තඞකල්ප වශයෙන් බෙදා බුදුන් වහන්සේ මෙලෙස සඳහන් කළා. මහා කල්පය වන්නේ අන්තඞකල්ප හැට හතරේ ඒවා සතරක්. එතැන දී පළමු අන්තඞකල්ප හැට හතර යනු මනුස්සයන් සතර අපායේ , මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ , බ්‍රහ්ම ලෝකයේ හිරු සඳුගේ ආලෝකය විහිදෙන පරාසය තුළ සත්ත්වයන් උපදින සත්ත්ව තල තිස් එකක් තිබෙනවා. කර්මානුරූපීව ඒ තලවලට සත්ත්වයන් චුත ව ගමන් කරමින්, ඉපදෙමින් මෙලෙස සත්ත්වයන් ජීවත්වන මහා කල්ප හැටහතරක් පවතිනවා. කාලයක් යද්දී තවත් සූර්යයෙකුගේ ආලෝකය පහළ වෙනවා. තවත් බොහෝ කලක් යද්දී තවත් සූර්යයෙකුගේ ආලෝකය පහළ වෙනවා. මෙලෙස සූර්යයන් හතකගේ ආලෝකය වැඩි වෙද්දී , මේ පෘථිවිය අකනිටා බඹ ලොව දක්වා ගිනිගෙන දැවී විනාශ වී, අළු දූවිලි බවට පත් ව මේ විශ්වයේ විනාශය සිද්ධ වෙන බවට විස්තරයක්, ධර්මයේ සඳහන් වෙනවා. මෙය සත්ත්ව සූර්යෝත්ගම සූත්‍රයේ සඳහන් වෙයි.

දෙවන අන්තඞකල්ප හැටහතර දක්වා ම සූර්යයෝ හතකගේ පහළ වීම තුළ මේ මහා කල්පයේ දෙවන අන්තඞකල්ප හැටහතරේ තිබෙන්නේ විනාශ වෙමින් පවතින කාලයක්. තුන්වන අන්තඞකල්ප හැටහතරේ විනාශ වෙලාම පවතිනවා. ඒ කාලය තුළ දිව්‍ය ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත්, සතර අපායත් දෙවන අන්තඞකල්ප හැටහතර විනාශ වෙමින් පවතින විටත්, ඊළඟට විනාශ ව , කිසිම ලෝකයක් නැතිව හිස් අවකාශයක් තුළ විශ්වය පවතින විටත් සත්ත්වයා අහසේ පාවී පාවී සිටින සත්ත්ව කොටසක් ලෙස පෙන්වනවා. බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, ‘මහණෙනි, මේ ලෝකය ම සුණු විසුණු වී ගියත්, ගිනිගෙන දැවෙන අළු දූවිලි වෙලා ගියත්, අවිද්‍යාවෙන්, තණ්හාවෙන් බැඳුණු, ඉපදෙමින් මැරෙමින් සිටින සත්ත්වයාගේ සංසාර ගමනේ අවසානයක් බුදුරජාණන් වහන්සේ දිව ඇසින්වත් දකින්නේ නැති බව යි.

 

  වෙසක් අව අටවක පෝය


 වෙසක් අව අටවක පෝය මැයි මස 07 වන දා සඳුදා අපර භාග 06.27 ට ලබයි. 8 වන දා අඟහරුවාදා අපර භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 08 වන දා අඟහරුවාදා ය.

 

මී ළඟ පෝය මැයි 15 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]