UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අරක සූත්‍ර දේශනාව:  ප්‍රමාදය පසුතැවීමට හේතුවකි

අරක සූත්‍ර දේශනාව: 

ප්‍රමාදය පසුතැවීමට හේතුවකි

අත් හැරීම නම් වූ පටිනිස්සග්ගයට, විරාගයට, නිරෝධයට, උපසමාය නම් වූ කෙලෙස් සංසිඳීමට සිත යොමු කරන්න. අභිඤ්ඤාය නම් වූ ත්‍රිලක්ඛන දහමට යටත් කොට දකින්න. සම්බෝධාය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට සිත යොමු කරන්න. එනම් නිවන් මඟ පිණිස සිත මෙහෙයවන්න. ඔබ ලද මේ මනුෂ්‍ය ජීවිතයේ කුමන වස්තුවක් පණ ඇතිව හෝ පණ නැතිව පැවතුණත් ඒවා ‘මම මගේ’ යැයි සම්මතය අයිති කරගත්තත් මරණය හා සමඟින් සියල්ල අවසන් වේ. ඒ ඉපදෙන සියලු දෙනාට ම මරණය උරුමව පවතින නිසා ය.

මහණෙනි, මෙම කාලයෙහි අරක ශාස්තෘවරයාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් ජීවිතයේ යථාර්ථය පිළිබඳව තවදුරටත් මෙසේ දේශනා කළ සේක.

නුවණින් කියවා බලන්න. සියයක් ආයු ගෙන ජීවත්වෙනවා නම්, ඒ සියයක් වසරට හේමන්ත සෘතු සියයක් හා ග්‍රීස්ම සෘතු සියයක් හා වස්සාන සෘතු සියයක් අයත්වෙනවා. මෙතැන සෘතු තුන්සියයක් එකට එකතුවෙනවා. ඒ සෘතු තුන්සියයක කාලයක් ජීවත්වන යම් පුද්ගලයෙකුට එක සෘතුවකට මාස හතර බැගින් හේමන්ත මාස හාරසියයක්. ග්‍රිස්ම මාස හාරසියයක්. වස්සාන මාස හාරසියයක් හා යනුවෙන් දොළොස් සිය මසක් ම ජීවිතය පවත්වන්නට පුළුවන්.

මහණෙනි, දොළොස් සිය මාස එනම් දොළොස් දහසක් මාස කාලයක් ජීවිත පවත්වන යම් කෙනෙකුට අටසීයයක් හේමන්ත, අඩමස් හා අටසියයක් ගිම්හාන, අඩමස් හා අටසියයක් වස්සාන අඩමස් යනුවෙන් සූවිසි සියයක් අඩමාස පවත්වනවා. සූවිසි සියයක් යනු සියයයේ ඒවා විසි හතරකි. එනම් දෙදහස් හාරසියයක් යන අදහසයි. මහණෙනි, සූවිසි අඩමස් සියයක් දිවි පවත්වන විට හේමන්ත රාත්‍රී දොළොස් දහසක් ගිම්හාන එනම් ග්‍රීස්ම රාත්‍රී දොළොස් දහසක් වර්ෂා කාල රාත්‍රී දොළොස් දහසක්, එනම් තිස්හය දහසක් රාත්‍රී ජීවත්වෙනවා.

මහණෙනි, තිස්හය දහසක් රාත්‍රී ආහාර ගෙන ජීවත්වන්නේ ගිම්හාන බත් සූවිසි දහසක් හේමන්ත බත්, සූවිසි දහසක්, වැසි කල් බත්, සූවිසි දහසක් ජීවිත පවත්වනවා. මල්කිරි හා බත්තරාන්ත්‍රය ද ගෙන දෙසැත්තෑ බත් දහසක් දිවි පවත්වනවා. හැත්තෑ දෙදහසක් කල් බත් ගනිමින් ආහාර ගනිමින් ජීවිත පවත්වනවා.

මෙහි බත්තරාන්ත්‍රයෝ යැයි සඳහන් කළේ මෙයයි, එනම් ආහාර ගන්නට බැරි අවස්ථාවයි. එනම් කිපුණ විට, තරහ ගිය විට, බත් ආහාර ගන්නෙ නැහැ. දුකට පත් වූ විට බත් ගන්නෙ නැහැ. රෝගී වූ විට ආහාර එනම් බත් ගන්නෙ නැහැ. පෙහෙවස් සමාදන් වූ විට, බත් එනම් ආහාර ගන්නෙ නැහැ. අලාභ පැමිණුනොත් ආහාර ගන්නෙ නැහැ. ජීවත් වුණු කාලයත් ඒ තරම් කාලයක් ජීවත් වුණත් ආහාර නොගෙනත් ජිවිත පවත්වන්නට වෙනවා.

මහණෙනි, මේ ලෙසින් සියවස් ආයු ඇති මනුෂ්‍යයන්ගේ ආයුෂ ද මා විසින් පැවසුවා. මෙලෙස දේශනා කළේ අප ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. මේ අවුරුදු සියයක් පමණ ආයු තියෙන කාලයක මනුෂ්‍යයන්ට අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. සියවස් ආයු ඇති මනුෂ්‍යයාගේ ආයුෂ ද මා විසින් පැවසුවා.

හේමන්ත, ගිම්හාන, වස්සාන සෘතු ප්‍රමාණය දැක් වූයේ මේ අපට කාලය තේරුම් ගන්න. හැත්තෑ දෙදහසක් කල් බත් වශයෙන් ආහාර ගත්තත්, ඒවා නොගෙන සිටියත් දුකට පත්වීම නිසා ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න. ආයු ප්‍රමාණය ද සඳහන් කළා. සෘතු ප්‍රමාණය ද සඳහන් කළා. ඒ වගේ ම අවුරුදු, මාසවලින් ද අඩ මාසවලින් ද, රාත්‍රී කාලවලින් ද දේශනා කළා. දහවල් කාල වශයෙන් ද පැවසුවා. බත් හෙවත් ආහාර ගන්නා ආකාරයත් දේශනා කළා. ආහාර ගන්නට බැරි අන්තරායන් ද, කරදර බාධක ද පෙන්වා දුන්නා. ජීවිතය ගැන පරමාර්ථ ධර්ම වශයෙන් දකින්න. මෙනෙහි කරන්න.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ අවසානයේ මෙසේ මහත් වූ කරුණාවෙන් දේශනා කරනවා. මහණෙනි, ශ්‍රාවක හිතෛෂි වූ අනුකම්පා කරන ශාස්තෘ විසින් අනුකම්පා පිණිස යමක් කළ යුතු නම් එය මා විසින් නුඹලාට සිදුකොට පවතිනවා. මහණෙනි, අර රුක්මුල් පවතිනවා. සයනාගාර පවතිනවා. මේ නිසා සමථ විදර්ශනා වඩන්න. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වී පසුව පසු තැවෙන්න එපා. ශාස්තෘවරයාණන් වහන්සේ ලෙස නුඹලාට අපට කළ හැකි අනුශාසානාවයි. ඒ සිදු කරනු ලැබුයේ.

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]