UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු සිරිතෙන් අලුත් අවුරුදු උදාව අර්ථවත් කරමු

බොදු සිරිතෙන් අලුත් අවුරුදු උදාව අර්ථවත් කරමු

රාවණා යුගයේ සිට මිනිසුන් අලුත් අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සමරා ඇත. මිනිසුන් ප්‍රාග් යුගයේ සිට අඳුරට බිය වී එළිය ආලෝකය උදාවන විට පී‍්‍රති ප්‍රමෝදයට පත් විය.

ලෝකයට ආලෝකය දෙන සූර්යයා වෙනුවෙන් අංග චලනයෙන් ගෞරව කර ඇත. මෝරපිරිත තුළින් ද මහ බෝසතාණන් වහන්සේ පවා පෙර අත්බවයෙක සඳ හිරු වන්දනාව කර ඇති බවත් සඳහන් වේ. ඉපැරණි ශිෂ්ටාරවල ද මිනිසුන් හේන් ගොවිතැන් කර අස්වැන්න නෙළා ගෙන අටු කොටු පුරවා පී‍්‍රති ප්‍රමෝදයට පත් වෙමින් සූර්ය වන්දනාව කර ඇති බව ප්‍රකට ය.

සොබා දහමේ අපූර්වත්වයට තුන් සිය හැටපස් දවසක් ගිය තැන උදාවන සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යාම නිමිති කර ගෙන ලෝකයේ විවිධ උත්සව පවත්වන අතර, ශ්‍රී ලාංකීය ජනතාව ද සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය පෞරාණික චාරිත්‍ර වාරිත්‍ර අගයමින් දුර ඈත අතීතයේ සිට ම ආගම දහමටත් මුල් තැන දෙමින් සමරයි.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා බැඳුනු සිරිත් විරිත් අතර තමන්ගේ ගේ දොර ඉඩමකඩම පිරිසුදුකිරීම, ළිඳ ඉසීම, ගේ දොර ගොම මැටි ගා අලුත් වැවඩියා කිරීම, කුස්සියේ ලිප අලුත් කිරීම ආදිය තුළින් මිනිසුන්ගේ පාරිසරික පවිත්‍රතාවය ඉහළින් අගයා ඇත. අද මෙය කො තරම් ප්‍රායෝගික ද? විවිධ වසංගත රෝගයන්ගෙන් පවා ආරක්ෂා වීමට මේ පවිත්‍රතාවය හේතු වේ.

තම දූ පුතුන්ට අලුත් ඇඳුම් මෙන් ම තම මව්පිය වැඩිහිටියන්ට ද අලුත් ඇඳුම් ගෙන ගත ද ලස්සන කර ගනු ලබයි. පරිසරය ද, අවුරුදු මලින් විසිතුරු වන්නා සේ ම කොවුල් හඬින් එහි චමත්කාරය වඩාත් තීව්‍ර කරයි. ඒ විතරක් නොව තම සන්තානය ද පිරිසුදු කර ගත යුතු වේ. වැරැදි අඩුපාඩු, අතපසු වීම, ඉසිකෝමන් ම දමානාදිය ඈත් කරගත යුතු ය. අසමගිය වෙනුවට සමඟිය සහෝදරත්වය ඇති කර ගත යුතු ය. වෛරය ක්‍රෝධය ඈත් කරගත යුතු ය. පවුල තුළත්, අසල්වාසින් අතරත්, ජාතින් අතරත්, ආගමිකයන් අතරත්, රට තුළත් මේ සහෝදරත්වය ගොඩනගා ගත යුතු ය. එවිට සිංහල හින්දු අලුත් අවුරුද්ද අර්ථවත් වේ.

ඒ හා බැඳුනු චාරිත්‍ර අතර වැඩිහිටි වන්දනාව විශේෂ තැනක් ගනු ලබයි. දූ දරුවන් තම මව්පියන්ට බුලත් හුරුළු දී ගාථා දෙකක් කියා වැඳ සමාව ගනු ලබයි. මෙය ලෝකයේ දැකිය නො හැකි සුවිශේෂී අවස්ථාවකි. මව්පියන් දරුවන්ගේ ගෙදර බුදුන් වන අතර, බ්‍රහ්මත්වයෙන් පූජනීයත්වයෙන් ගරු කරනු ලබයි. ඒ බව ජන කවියා පහත සඳහන් අයුරු දක්වා ඇත.

“උඩින් යන්න රන් තැටියක් ලැබීයන්
බිමින් යන්න මුතු කුඩයක් ලැබීයන්
තනියම යන කලට පිරිවර ලැබීයන්
පියෝ ජාතිත් ලැබීයන්”

“වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
අතු අග පිපෙන සපු මල වාසනාවන්
අපේ දෙමාපියෝ ජාතිත් වාසනාවන්”

වැඩිහිටියන්ට වන්දනාමාන ගරුසත්කාර පැවැත්වීම ආයුවර්ණ, සැප බල ලබන්නට හේතුව වන බව බුදුදහමේ උගන්වයි. නො නගතය උදාවත්ම තම ආගම දහමට අනුව තුනුරුවන් වැඳ පුදා ඉෂ්ඨකාමී දෙවියන්ට පින් දෙනු ලබයි. නො නගතය යනු නැකතක් නොමැති වෙලාවයි. නපුරු වේලාවට අපේ පැරැන්නෝ වෙහෙර විහාරවලට ගොස් පින්දහම් කළහ. ඒ පින් අවුරුද්ද පුරා ම ඵල දෙන බවයි ඔවුන්ගේ විශ්වාසය.

නැකතට වැඩ ඇල්ලීම තවත් අර්ථවත් කරුණකි. උත්සාහය, ධෛර්යය, වීර්යය, අධිෂ්ඨානය ඇත්නම් නැකැත් කරු කුමක් කරන්න ද’ යි බුදුරජාණන් වහන්සේ විමසූ හ. එ නමුත් බුදුරජාණන් වහන්සේ එක වේලාවකට කාල සටහනකට අනුව කාල කළමනාකරණය කරගත් ආකාරය බුදුසිරිතේ පංචකෘත්‍ය තුළින් පැහැදිලි වේ. ගෘහනිය නැකතට ලිප ගිනි මෙලවීම අග්නි දෙවියන්ට කරන ගෞරවයක් වන අතර ඒ ගින්න වසර පුරා නො නීවි පවත්වන්නට ද පැරැන්නෝ පුරුදු විය.

පුලස්ති සෘෂිවරයා සූර්යය වන්දනාවට නැකැත් සීට්ටු පවා සකස් කර ඇත. අවුරුද්ද ශාස්ත්‍රීය එකක් ද නොවේ. පූජාවලියේ මිගාර සිටුතුමාගේ කතාවෙන් නැකැත් ගැන කියවේ. ලිප දේවත්වයෙන් සලකා නැවුම් මුට්ටියක කිරිබත සකස් කර බුද්ධ පූජාව ද තබනු ලබයි. කිරිබත බ්‍රහ්ම නිර්මාණයක් ලෙසත්, සලකනු ලබයි. ගනුදෙනු කිරීමේ, වැඩ ඇල්ලීමේ චාරිත්‍ර ධර්මයේ දී කුඩා දරුවා පොතපත කියවන්නටත් , වැඩිහිටියන් වටිනා පැළයක් රෝපණය කරන්නටත් පුරුදු වී සිටී. ඒ තුළින් පරිසර හිතකාමී ජන දිවි ය අර්ථවත් කළහ.

මේ උත්සවය හා බැඳුණු ක්‍රීඩා ද ළමුන් මෙන් ම වැඩිහිටි, ස්ත්‍රී, පුරුෂ සියල්ලෝ ම එකතුව සතුටින් සමගියෙන් යුතුව කරන්නකි. ඇතැම් අය පවුලේ සමගිය ගමේ සමගිය, ජාතික සමගිය, රටේ සමගිය සශ්‍රීකත්වය ගෙන දෙනු ලබන උත්සවය අවලස්සන කරගනු ලබන්නේ බටහිර පරගැති සිරිත් විරිත් කරපින්නා ගැනීම නිසා ය. මත්වතුර නිසා පවුල් විනාශ වන තත්ත්වයට පත් ව ඇත. එහි දුක් අඳෙීනා බන්ධනාගාර තුළින් අදටත් ඇහේ.

අලුත් අවුරුද්ද හා බැඳුණු හිස තෙල් ගෑම, නවසඳ බැලීම, රැකියාවන්ට පිටත්ව යාම, ආදී චාරිත්‍ර ධර්මයන් ද කායික මානසික සුවසහනය උදා කරවයි. මේ සියලු චාරිත්‍ර වාරිත්‍ර බුදුදහමින් පෝෂණය වී ඇත. හින්දු ආගමික චින්තාවන් ද මිශ්‍රණය වී ඇත. ජීවිතය ධෛර්යෙන් අධිෂ්ඨානයෙන් අපේ වටිනාකම් රකිමින් සිතිවිලි අලුත් කර ගනිමින් ක්‍රියා කරන්නට අධිෂ්ඨාන කර ගන්න. ඔබ සැමට සතුට සැනසුම උදාවේවා.

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]