UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගී බණ පද- 3: තුන් ලොවක් සනසාලූ අප්‍රමාණ බුදුගුණ මිහිර

ගී බණ පද- 3:

තුන් ලොවක් සනසාලූ අප්‍රමාණ බුදුගුණ මිහිර

පාරමිතා බල පූජිත පූරිත
බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝදින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ//

සැනසෙමු පුද දී මුනිසිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ

පාරමිතා බල..
සනසා මුළු ලොව නිවන් ලබාදේ
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි
සනරාමර ගුරු ලෝක ශිවන්කර
බුද්ධ දිවාකරයාණෝ

මාර පරාජය කළ මුනිදුන්ගේ//
කරුණා සීතල මෙත් ධාරා
ගලා බසී තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා සුබ සෙත් සාදා
බුදු රැස් කැටි වී නැගී ආලෝකේ
පිසයයි දුකදුර මුළු තුන් ලෝකේ
පාරමිතා බල පූජිත..//

සංගීතය හා ගායනය - ආචාර්ය අමරදේවයන් හා විශාරද නන්දා මාලනී අතුළු පිරිස
රචනය- ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ සහ උන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ වීරත්වය පිළිබඳ අදහස මතුකරන ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකි ය.

බුදුගුණ ගීත ස්වයං තනුවලින් තොරව, හින්දි තනුවලට ලියු කාලයක ස්වාධීන සිංහල තනුවකට ලියැ වී ඇති ගීතයක් ලෙස හඳුනාගත හැකි එම ගීතය පුරාම, බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ ඇතුළත් ය. සැම පුද්ගලයකුම තමන්ගේ ජීවිතය තුළ එම බුදුගුණ රඳවමු. බුදුගුණ තුළින් ජීවිතයේ එළිය දකිමු . යන අදහස එම ගීතය තුළ අන්තර්ගත වේ.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ප්‍රථම වතාවට චිත්‍රපට ගීතයක සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ද රන්මුතු දූව චිත්‍රපටයේ ය.

1962 අගෝස්තු මස 10 වෙනි දින තිරයට නැගුණ රන්මුතුදූව චිත්‍රපටයේ මෙම ගීතය අතුළත් වේ. වර්තමානය වන විට පාරමිතා බල පූරිත පූජිත යන ගීතය අවුරුදු පනහකට වඩා පැරැණි ගීතයක් වුව ද , සිංහල බෞද්ධ සමාජය තුළ හැම කෙනෙකුම දන්නා හඳුනන ඉතා ප්‍රකට ගීතයක් බවට පත්ව ඇත. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ කෙනෙකුට කියා නිම කළ හැකි ද? බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ ලේඛකයෙකුට ලියා නිම කළ හැකි ද? එය කළ නොහැක්කකි. සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා උතුම් දාන පාරමිතාවන් පූරණය කරමින් , සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරුදු පුහුණු කළ පරාර්ථචර්යාවේ අග්‍රඵලය ලොව්තුරා බුද්ධත්වයට පත්වීම ය. සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම නිසා ලෝකය ඒකාලෝක විය. මෙම ගීතය තුළ බුද්ධ දිවාකරයාණෝ යන වචනය විශේෂ වූ වචනයක් ලෙස සඳහන් වේ. දිවාකර යනු ආලෝකය හෙවත් සූර්යයා ය. සිංහල ගීත සාහිත්‍ය තුළ බුද්ධ දිවාකරයාණෝ යන ගෞරවාර්ථ වචනය හමුවන ප්‍රථම අවස්ථාව ද මෙය වේ. එම හේතුව ද, මෙම ගීතයට විශේෂ වේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම බෞද්ධයන් දකින්නේ ජීවිතයේ විශේෂ කැප කිරීමක් ලෙස ය. ඒ වගේම උන්වහන්සේ දිනූ විශාල ජයග්‍රහණයක් ලෙස ය. උන්වහන්සේ එම දිනුම ලැබුවේ මාරයන් පරාජය කරමිනි. මාර පරාජය කිරීම තුළින් උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ සේක.

මාර පරාජය සිංහල බෞද්ධ සාමජයේ විශේෂ අවස්ථාවක් වූ අතර මාරයා, පංචමාර සංකල්පය, දසමාර සංකල්පය, දසබිම්බර මාර සංකල්පය, මාර දූවරු ආදී වශයෙන් එම අදහස පසුකාලීනව පුළුල් වේ. මාර පරාජය කළ මුනිඳුන්ගේ කරුණා ශීිතල මෙත් දහරා යනුවෙන් ගීතයෙහි සඳහන් ව ඇත. බුදුරජාණන් වහන්සේ මාර පරාජය කරනු ලැබුවේ මාර සේනාව සමඟ තිබූ වෛරයකින්, කේන්තියකින් නොවේ. ඒ මාර පරාජය මහජනතාව කෙරෙහි පැවැති කරුණාව දයාව මෛත්‍රිය යන උතුම් ගුණ ධර්ම තුළ ඇති වූ දෙයක් ලෙස බෞද්ධ සමාජය පිළිගනී.

ඒ උතුම් ගුණ ධර්ම ගලා බසී තුන් ලෝ තලයේ . දෙව්ලොව, මනුෂ්‍ය ලොව, සතර අපාය යන ලෝක තුන තුළම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ තැවුල් නිවමින් සත්ත්වයාගේ සිත් සනසන ස්වභාවය පිළිබඳව බුදුදහමේ පැහැදිලි කර ඇත.

ඒ අනුව බලන විට පාරමිතා බල පුරිත පූජිත යන ගීතය වෙසක් පොහොය සැමරීම සඳහාම රචනා වූ ගීතයකට වඩා ජීවිතය ජීවිතාලෝකය, බුදුදහම, ධර්මාලෝකය තුළ සිත් සනසාගන්නා වූ මිනිස් ප්‍රජාවට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය නිසා ඇති වුණ ශාන්තිය උතුම් තත්ත්වය ප්‍රකාශ වන ගීතයක් ලෙස දැක්විය හැකි ය. සිංහල චිත්‍රපට ගීතාවලිය තුළ ඇතැම් ගීත චිත්‍රපටයෙන් පරිබාහිරව ගත් විට රසවිඳිය හැකි වේ. ඇතැම් චිත්‍රපට ගීත චිත්‍රපටයෙන් පරිබාහිරව ගත් විට චිත්‍රපට කතාව පිළිබඳ වැටහීමක් නැති පුද්ගලයෙකුට එම ගීතය රසවිඳීම අපහසු වේ. පාරමිතා බල ගීතය රන්මුතුදූව චිත්‍රපටයේ අන්තර්ගත වුවත්, චිත්‍රපටයෙන් තොරව වෙනත් සරල ගීතයක් ලෙස මිනිසුන්ගේ සිත් සනසන සිතිවිලි යහපත් කරන සිතිවිලි තැන්පත් කරන උතුම් ගීතයක් බවට පත්ව ඇත. එම නිසාම අද වන විට අවුරුදු පනහක් ගත වූ ගීතයක් වුව ද, උතුම් බුදුගුණ සිහිපත් කරන උදාරතර ගීතයක් ලෙස වර්තමාන සමාජය තුළ වුව ද, රසවිඳිය හැකි තත්ත්වයකට පත්ව ඇත.

බුදුසරණ, දහම් සරණ, සඟ සරණ යන මේ තුන් සරණ මත මිනිස් සමාජයේ ජීවිතය ගුණ නැණ මත ගොඩනැඟී සියල්ල තීරණය විය. දැනුම හැසිරීම තීරණය විය. එම ගීතය ඇසෙන සැම වාරයක දී ම අප්‍රමාණ බුදුගුණ වලින් සිත පිරී ඉතිරී යයි. මනස ද අප්‍රමාණ බුදුගුණයෙන් පිරී යයි. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ සරණක් පිහිටක් ජීවිතයට තිබෙනවාය යන හැඟීම කෙනෙකුගේ සිතට මතුව එයි. එමනිසා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ ආචාර්ය අමරදේව විශාරද නන්දා මාලිනී ඇතුලු පිරිස ගායනා කළ පාරමිතා බල ගීතය උතුම් ගීතයක් හැටියට සැලකිය හැකි ය.

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]