UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපිරිසුදු මනසින් ලොව දෙස බලනු එපා

අපිරිසුදු මනසින් ලොව දෙස බලනු එපා

ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියයන් පදනම් කරගෙන යම් දෙයක් සිතයි නම්, දැනගනී නම්, කල්පනා කරයි නම් එම ක්‍රියාකාරිත්වය ‘සිත’ ලෙස අපි හඳුන්වමු. මිනිසා සම්බන්ධව කල්පනා කරනවිට එහි මූලිකත්වය ලැබෙන්නේ සිතට යි. මිනිසාට මෙන් ම තිරිසනාටත් සිතීමේ ශක්තිය ඇත. නමුත් තිරිසනාට වඩා ඉහළ උසස් මට්ටමකින් සිතීමේ හැකියාව මිනිසාට ඇත.

ආදරය, ප්‍රේමය, ක්‍රෝධය, වෛරය වැනි හැඟීම් මිනිසාට මෙන් ම තිරිසනාටත් ඇත. නමුත් මිනිසාගේ හැඟීම් ආත්ම දමනය, ආත්ම ගෞරවය, ශීලාචාරකම, භය හා ලජ්ජාව වැනි උතුම් ගුණ ධර්මයන් තුළින් කිසියම් පාලනයකට යටත්ව ඇත. මිනිසා ආලයෙන් අන්ධව, ක්‍රෝධයෙන් වියරු වැටී, හොඳ නරක පිළිබඳ ව හැඟීමකින් තොර ව කටයුතු කළහොත් මිනිසාත් තිරිසනාත් අතර වෙනසක් දැකගත නො හැකි ය. මේ හැඟීම් හා ක්‍රියාකාරකම් එක්තරා මට්ටමකට පාලනය කර ගනිමින් සංයත, සංවර භාවයෙන් යුක්තව තම සිත මෙහෙයවීමේ හැකියාව මිනිසා සතුව පවතී. සිත හා රූපය යනුවෙන් මිනිසා කොටස් දෙකකට බෙදුව ද සිතට ඇති බලය අසීමිත ය. බුදු දහමෙහි පෙන්නුම් කර ඇති ආකාරයට සිත පිළිබඳ නිවැරැදි , ගැඹුරු එමෙන් ම ප්‍රායෝගික විස්තරයක් පෙර , අපර දිග ලෝකයෙහි කිසිම දර්ශනයක හෝ ආගමක මෙතෙක් ඉදිරිපත් කර නැත.

සසර දුක බව සත්‍යය ය . එහෙත් දුක ගැනම සිත සිතා සිටීමෙන් දුක වැඩි වේ. සියලු දුකෙන් නිදහස් වීමේ සිතිවිල්ලේ රැඳෙමින් පී‍්‍රිතියෙන්, සතුටෙන් සිටිය යුතු ය. සිනාවෙන් හා සතුටෙන් සිටීම පුරුද්දක් කර ගන්න. පී‍්‍රතියෙන් සිටීමට මුදල් ම තිබිය යුතු යැ’යි සිතීම වැරැදි කල්පනාවකි. අනවබෝධයෙන් ක්‍රියා කළහොත් මුදල් වැඩිවන විට ද සතුට පලායනු ඇත.

එක් අතකින් බලනවිට අපාය හා දිව්‍ය ලෝකය පවතින්නේ අප තුළ ම බව ඇතැම්හු සිතති. සිතට දුකක්, කරදරයක්, ශෝකයක් ඇති වූ විට එය අපායකි. සිතට සතුටක්, ප්‍රීතියක් , සැනසිල්ලක් ඇති වූ විට එය දිව්‍ය ලෝකයකි.

හැම දෙනාගේම සිත් පිරිසුදුව පවත්වාගත හැකිනම්, මේ ලෝකය ලස්සන ය. පිවිතුරු ය, සුවඳවත් ය. අපිරිසුදු මනසකින් අප ජීවත් වන්නේ නම් මුළු ලෝකයම අපිරිසුදු ය. අප්‍රිය ජනක ය, වේදනාත්මක ය. රවාගත් මුහුණෙන් යුක්ත ව කණ්ණාඩිය දෙස බලන විට අප්‍රිය මුහුණක් ඔබට දැක ගන්නට පුළුවන. සිනහවෙන් යුත් මුහුණකින් කණ්ණාඩිය දෙස බැලුවොත් ප්‍රියංකර, ප්‍රසන්න මුහුණක් ඔබට දැක ගත හැකි ය. මේ අයුරින් ම ලෝකයා සමඟ කටයුතු කරන විට ඒ ලෝකය අපායක් හෝ දිව්‍ය ලෝකයක් බවට පත්කර ගැනීමේ හැකියාව ඔබ සතු වනු ඇත.

නුග ඇටය කුඩා බීජයක් වුවත් පැළවීමට අවශ්‍ය සාධක එකතු වීමෙන් විශාල වෘක්ෂයක් බවට පත්වන්නා සේ අප උත්සාහවත් ව ක්‍රියාකරන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය සත්පුරුෂ ආශ්‍රය ඇත්නම්, බුද්ධත්වය පවා ලබා ගන්නට පුළුවන. මේ අයුරින් ම සිත නිවැරැදිව හසුරුවමින් ඒ සඳහා බුද්ධියත්, උත්සාහයත් යෙදවීම තුළින් ප්‍රමුඛ පෙළේ ධනවතකු වුවද විය හැකි බව සමාජගත ජයග්‍රාහී චරිත අධ්‍යයනය කිරීම තුළින් දැකගන්නට පුළුවන. ගින්නට ඇති ශක්තිය හා බලය අපි දනිමු. එය වැරැදි අයුරින් භාවිත කළහොත් සිදුවන භයානක ප්‍රතිඵලයත්, නිවැරැදි ක්‍රමයට යෙදවීමෙන් ඇති විය හැකි වටිනා ප්‍රතිඵලත් අපි දනිමු. පරමාණුව කෙතරම් බල සම්පන්න වුව ද, එයින් ලෝකයාට ඵලදායී වටිනාකමක් ලබා ගත හැකි වන්නේ එය පාලනයකින් යුතුව හසුරුවා ගැනීම තුළිනි. මේ අයුරින් ඔබේ සිත ද නිවැරැදිව පාලනය කරන්න.

ඔබේ සිත ගෙවත්තක් යැ’යි සිතන්න. එහි ඇති නරක සිතිවිලි නමැති වල් පැළ ඉවත් කරන්න. සෑම දෙනාට ම ප්‍රයෝජනවත් මල් , ගෙඩි හටගන්නා පැළ රෝපණය කරන්න. ජලය, පොහොර යොදමින් ඒ වටිනා පැළ පෝෂණය කරන්න. ඔබේ සිත නමැති ගෙවත්ත ඉතා වටිනා භූමියක් වනු නො අනුමාන යි. මේ අයුරින් අසහනකාරී වදදෙන සිතිවිලිවලින් තොර සුවදායක සිතිවිලි වලින් අලංකෘත මනස කෙතරම් වැදගත් ද?

කෙනෙකු දුප්පත් වන්නට හෝ පොහොසත් වන්නට එක්තරා මට්ටමකට කර්ම ශක්තිය බලපාන්නට පුළුවන. නමුත් කර්මයට ම ඉඩ දී පැත්තකට වී අක්‍රීය ව සිටීමෙන් ධනවතෙකු වන්නේ නැත. ධනවත් වීමේ චේතනාව අධිෂ්ඨානය මෙහිදී ප්‍රමුඛ සාධකයක් වනු ඇත. ධනවත් වීමට බලාපොරොත්තු වන අය අනුන්ගේ ධනයට ඊර්ෂ්‍යා නොකළ යුතු ය. එසේ වෛරී සිතිවිලි ඇතිකර ගැනීම ඔබගේ ජීවන ගමනට බාධකයකි. අන් අය වැරැදි විදියට ධනය උපයාගෙන ඇත්නම් , එහි විපාකය ඔහු සතු ය. එයට අප වගකිව යුතු නැත. ඒවා ගැන නරක සිතිවිලි ඇතිකර ගැනීමෙන් අපේ දියුණුව වළක්වා නොගත යුතු ය. කෙසේ වුව ද අප ධනය බලාපොරොත්තු විය යුත්තේ සාධාරණ අවංක ක්‍රියාදාමයක් තුළිනි. කොපමණ ධයන තිබුණත් නිරෝගීකම නැතිනම්, ඒ ධනයෙන් ප්‍රයෝජනයක් නැත. ලාභ අතුරෙන් ලොකු ම ලාභය නිරෝගීකම යි. අප අතර සිටින බොහෝ දෙනා කායික වශයෙන් නිරෝගී වුවත්, මානසික වශයෙන් රෝගී අය වෙති.

අපට කෝපයක් ඇති වූ විට ශරීරයේ ස්වරූපය වෙනස් වෙයි. සමහර ප්‍රශ්නවල දී නිවැරැදි අවබෝධයෙන් තොරවීම නිසා අපි බොහෝ විට කෝප වෙමු. සමහරු තම මතය ම තහවුරු කරලීම සඳහා උත්සාහ කරති. අන් අයගේ අදහස් මතයන් නො ඉවසති. මගේ මතයට විරුද්ධව, තර්ක විතර්ක කිරීමට මත ඉදිරිපත් කිරීමට අන් අයටත් අයිතියක් ඇති බව මා සිතුවා නම්, මා කෝප විය යුතු නැත. සමහර විට මට ඇති වූ කෝපය විරුද්ධවාදියාට ශක්තියක් විය හැකි ය. ඔබේ කෝපය දකින ඔහු භීතියට පත් වනු ඇත. මේ අනුව එම දුබලයා ඔබට මිටකින් දමා ගසන්නට පුළුවන. ආයුධයකින් පහර දෙන්නට පුළුවන. මෙබඳු පහර දීමකට ඔහුට කලින් ශක්තියක් තිබුණේ නැත. එම ශක්තිය ඔහුට ලබා දෙන්නේ ඔබේ කෝපය යි. සමහරවිට ඔබේ විරුද්ධවාදියා එදාම ප්‍රතික්‍රියා නොදක්වන්නට පුළුවන. නමුත් පසුව කවදා හෝ ඔබගේ කෝපය තුළින් ලැබුණු ශක්තිය ඔබගේ ම අනර්ථය පිණිස යොදවනු ඇත. කෝපය නිසා ශාරීරික වශයෙන් වැළඳෙන රෝගාබාධ අතර හෘදයාබාධ, රුධිර පීඩනය හා ඒ හා බැඳුණු ආබාධ රාශියකට මූලික පදනම වනු ඇත.

විශේෂයෙන් කෝපය මුල් කරගෙන පළිගැනීම්, යටි උගුල් ඇදීම, අවමන් කිරීම්, නින්දා අපහාස කිරීම් වැනි තමන්ටත්, අනුන්ටත් අහිතකර හැඟීම් රාශියක් උත්පාදනය වන්නට පුළුවන. මානසික බිඳ වැටීම තුළින් ශරීරය ද දුර්වල වී මරණයට පත්වන අය ද සමාජය තුළ දැකගන්නට පුළුවන. ශාරීරික රෝගයන්ට පහසුවෙන් ඖෂධ සොයා ගත හැකි ය. නමුත් මානසික පීඩනය හා අසහනය තේරුම්ගෙන අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීම තුළින් තමන්ටත්, අනුන්ටත් අහිතකර සිතිවිලි ඇති නොවන අයුරින් පවිත්‍ර වූ මනසක් ගොඩනඟා ගැනීමට කටයුතු කරන්නේ නම්, මේ සමාජය කෙතරම් ලස්සන ද? අප බලාපොරොත්තු වන සතුට, සැනසිල්ල එතැන ඇත.

 

  බක් මස අව අටවක පෝය


 බක් මස අව අටවක පෝය අප්‍රේල් 07 වන දා සෙනසුරාදා අපර භාග 11.32 ට ලබයි.
9 වන දා සඳුදා පූර්ව භාග 02.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 08 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 15 වන දා ඉරිදා

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]