UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

බක් අව අටවක 2018.04.08

ආදර්ශ හා අවවාද

පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම වැඩි පිරිසක් අනෙක් අයට අවවාද දෙන්නට කැමැති ය. වඩාත් යහපත් පුද්ගලයකු බිහි කරන්නටත් ඒ තුළින් සදාචාරවත් සමාජයක් නිර්මාණය කරන්නටත් අවවාද අත්‍යවශ්‍ය ය. ගැටලුවකට ඇත්තේ මේ බොහෝ අවවාද සමඟ ආදර්ශය ද පවත්නේ ද යන්න පිළිබඳව ය.

ලෝකවාසී සත්ත්වයාට නිවැරැදිව ජීවිතය හසුරුවා ගන්නට අවවාද අනුශාසනා කොට වදාළ, දුකින් මිදෙන මග කියාදුන්, රහසින්වත් පවක් , වරදක් නොකළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, තථාගත බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාළේ ජීවිතයට ලැබෙන යහපත් අවවාද නිධානයක් සේ සලකා බාර ගන්නා ලෙසට ය. අවවාදය නිදානයක් වන්නේ එය ලබාදෙන පුද්ගලයා ආදර්ශමත් වූ තරමට ය.

අම්මා, තාත්තා, නෑදෑ හිතමිතුරන්ගේ සිට , සරලව කියනවා නම්, සමාජයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම ඒ ආදර්ශය අත්‍යවශ්‍ය ය. දුසිරිතෙහි යෙදෙමින් තවත් අය සුදනන් කරන්නට අවවාද දුන්න ද ඒවා වැද්දන් දෙසන බණ වැනි යැයි රණස්ගල්ලේ හිමියන් විසින් රචිත යැයි පිළිගැනෙන ලෝකෝපකාරයෙහි අවධාරිත ය.

වැරැදි අවම වන්නේ, අවුල් වියවුල්වලින් තොරව ජීවත් වන්නට වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය වන්නේ බලාගෙන හැදෙන්නට හොඳ චරිත බිහි වූ තරමට ය. සමාජ නායකත්වය එහි දී වෙසෙස් ය.

කකුළු දරුවාගේ මඟ පෙන්වන්නිය, නායිකාව කකුළු අම්මා ය. ඇය කෙළින් නොයන්නී ය. ගමන ඇදයට ය. එහෙත් එය ඇයට නොපෙනේ. එහෙත් දරුවා දකින්නේ ය. තමන් තුළ ඇති, තමන්ට නොපෙනෙන වරද දරුවාගෙන් දකින්නට ඇය අකැමැති ය. ඒ නිසා දරුවාට කෙළින් යන්නට කියන්නී ය. එහෙත් වැරැදි දේ දකිමින් කකුළු දරුවා හරි දේ නොකරන්නේ ය. ඇදයටම යන්නේ ය. අපේ බොහෝ දෙනෙකුට සිදුව ඇත්තේ ද මෙයම ය.

අපහසුවෙන්, තෙරපෙමින් ගමන් ගන්නා පුංචි දරුවෙකුට අසුනක් පිරි නමන්නට තරම් නො නැමෙන වැඩිහිටි සිත් නින්දට නැමෙන අපූරුව පොදු බස්රථයක, දුම්රියක සුලබ දසුන් ය. එහෙත් උදවු ලබන්නට සුදුසු කෙනෙක් දුටුවිට වහාම එය කරන්නට නොපැකිළෙන ලෙස ළමයින්ට අවවාද දෙන්නේ ද ඒ වැඩිහිටියා ම ය. තමන් නො හැදී අනුන් හදන්නට යෑම අර්ථ විරහිත ය.

ජීවිතය හසුරුවා ගන්නට අපූර්ව ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ අපට උගන්වා ඇත. ඒ පංච සීල ප්‍රතිපදාව ය. එහෙත් පස්පවින් වළකින්නට පවා ඇතැමෙකුට අසීරු ය. කෙනෙක් තමන් කරන්නේ සොරකමක්දැයි නොසිතෙන තරමට අනුන්ට අයිති දෙය තමන් වෙත පවරා ගන්නට සමත් ය.

එක් දිනක් පියෙක් තම දරුවා ළඟ කිසිසේත් නොතිබිය යුතු කඩදාසි කොළයක් දැක එය කාගේදැයි විමසූ කල දරුවා කීවේ පාසලේ තමන් ළඟ සිටින යහළුවා ළඟ තිබියදී එය නොදන්වා රහසේ ගත් බව ය. දරුවා ඇත්තම කීවේ ය. අනුන්ගේ දේ සොරකම් කළ වරදට දැඩිව අවවාද කළ පියා කීවේ , කලින් කීවා නම් මගේ ඔෆිස් එකෙන් (කාර්යාලයෙන්) ඕනෑතරම් එවැනි කඩදාසි ගෙනත් දෙන බවට ය. කිසිදු කාර්යාලයකින් ආයතනයකින් ඕනෑ තරම් කඩදාසි ගෙදර පරිහරණයට ගන්නට අවසර ඇතැයි සිතිය නොහැකි ය. ගෙනෙනවා නම් ඒ බොහෝවිට සොර සිතින් ම ය. එය සොරකමක් දැයි සිතන්නට තරම්වත් ඒ පියාට හැකි නොවුයේ අනුන්ගේ දෙයට ඒ තරමටම වටිනාකමක් නොදීම නිසා ය.

මෙවැනි සරල සොරකම්වල සිට බොහෝ වංචා සහගත දේ මහා පරිමාණයෙන් අපමණවත් සිදුවේ. ඒ තුළ මතු පරම්පරාවක මානසිකත්වය නිවැරැදි කරන්නේ කෙලෙස ද යන්න ගැටලුවකි. මේ නිසා අනුන් නිවැරැදි කරන්නට පෙර තමන් නිවැරැදි වීම ඉතා කාලෝචිත ය.

ජපන් සෙන් කතාවක එක් මවක්, දිනක් සිය දියණිය සමඟ ආගමික ගුරුවරයෙක් වෙත පැමිණියා ය. ඒ ඇයගේ දියණියගේ දැඩිලෙස පැණිරස කෑමේ පුරුද්ද මැඩ පවත්වා ගන්නට අවවාද ලබා දෙන්නට ය. ගුරුවරයා තව මාස දෙකකින් පැමිණෙන ලෙස කීවේ ය. මාස දෙකකට පසු මව දියණිය ද සමඟ එහි ගියා ය. පිළිවෙලින් මාසයකට පසුව, සති තුනකට, සති දෙකකට, සතියකට පසුව, තවත් දිනකට පසුව එන ලෙස ගුරුවරයා කිහිප අවස්ථාවක ම ඔවුන් ආපසු හරවා යැවී ය. අවසාන දිනයේ ඔහු දියණියට එහි ආදීනව ගැන බොහෝ අවවාද දුන්නේ ය. මව පුදුම වූවා ය. මේ අවවාද පළමු දවසේ ම ලබා නොදුන්නේ ඇයි දැයි ඇසුවා ය. දියණිය පසෙකට කර ගුරුවරයා කීවේ ආදීනව දැන දැනත් මේතාක් කාලයක් තමන්ද මේ නරක පුරුද්දට ඇබ්බැහි වී සිටි බවත් ඉන් මිදෙනතුරු අවවාද නොකළ බවත් ය. මේ සරල කතාවේ සිතන්නට දේ බොහෝ ය. අවවාද දිය යුතු පළමු කොට තමා සම්මතයෙහි පිහිටා සිට ය.

 

  බක් මස අව අටවක පෝය


 බක් මස අව අටවක පෝය අප්‍රේල් 07 වන දා සෙනසුරාදා අපර භාග 11.32 ට ලබයි.
9 වන දා සඳුදා පූර්ව භාග 02.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 08 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 15 වන දා ඉරිදා

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]