UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 මානසික සෞඛ්‍ය සංරක්ෂණයට සුහදතාවය

 මානසික සෞඛ්‍ය සංරක්ෂණයට සුහදතාවය

ලොව පවතින ප්‍රධානතම හා භයංකර ම රෝගයන් අතුරෙන් දරුණුතම රෝගයන් වන්නේ මානසික රෝගයන් ය. කායික රෝග වැළඳුනු පසු බෙහෙත් කර සුවපත් කරගත හැකි ය. එහෙත් මානසික රෝග එලෙස සුවපත් කර ගැනීමට නො හැකි ය. මානසික රෝගයන් ඇතිවීමට බොහෝ කරුණු බලපාන අතර ඉන් චෛතසික පාලනය ප්‍රධාන වේ. මෙම මානසික රෝගයන්ගෙන් ආරක්ෂා වීමට බුදුන්වහන්සේ අනුදැන වදාරන ලද පියවර රාශියකි. එම කරුණු විනය පිටකයේ මෙන්ම සූත්‍ර පිටකය තුළ ද අභිධර්ම පිටකය තුළ ද මැනවින් විවරණය කෙරෙයි.

මෙහි දී, මානසික සෞඛ්‍ය සංරක්ෂණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුද්ගලයා මානසික රෝගියෙකු වීමට පෙර එයින් ආරක්ෂා කරගන්නා ක්‍රමවේදය යි.

පුද්ගලයෙක් මානසික ව රෝගී වූ විට කායිකව ද රෝගයන්ට පත්වෙයි. විශේෂයෙන් ම භික්ෂුව යනු යම් ශීලයක් සමාදන් වන ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙකි. තමන් අතින් යම්කිසි වැරැද්දක් වූ විට ඒ පිළිබඳ කල්පනා කරන්නට පටන් ගත් විට මානසිකව ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම කඩා වැටෙයි. සුදින්න හිමියන් භික්ෂුත්වයට නො ගැළපෙන කරුණක් සිදු කරයි. මෙය තමාට නුසුදුසු ක්‍රියාවක් බව දැනගත් සුදින්න තෙරුන් මෙය පිළිබඳ දැඩි සේ සිතන්නට පටන් ගත්තේ ය. ඒ නිසාම මානසික ව දුක් වින්දේ ය. මානසිකව යම් පුද්ගලයෙකු රෝග වූ විට ඒ පුද්ගලයා නිරායාසයෙන් ම කායිකව ද රෝගාතුර වේ. ඒ බව ‘ඇවත් සුදින්නය, පෙර තොප පැහැපත් වූවෙහි ය. ඉතා ප්‍රසන්න වූ ඡවි වර්ණ ඇත්තෙහි ය. පිනා ගිය ඉඳුරන් ඇත්තෙහි ය. පහන් වූ මුව පැහැය ඇත්තෙහි ය. දැන් වනාහි කෘශ වූයෙහි, රළු වූයෙහි, දුර්වර්ණ වූයෙහි පඬුවන් පැහැ ඇතිවූයෙහි, නහර ඉපිලී ගිය සිරුරු ඇත්තෙහි, සැඟවුණු සිත් ඇත්තෙහි, හැකිලුනු සිත් ඇත්තෙහි, දුක් ඇත්තෙහි, නො සතුටු සිත් ඇත්තෙහි, විපිළිසර වූවෙහි ඒ ඒ දෑ සිතන්නට පටන් ගත්තෙහි, යන්නෙන් පැහැදිලි වේ.

විශේෂයෙන් ම මෙහි දී පුද්ගලයෙක් මානසිකව නිරෝගීව සිටින විට ස්වභාවය හා මානසිකව රෝගී වූ විට එම පුද්ගලයාගේ ස්වභාවය මැනවින් පැහැදිලි වේ. මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා පුද්ගලයාට නො ගැළපෙන නුසුදුසු ක්‍රියාවන්, මානසිකවද වේදනාවන්ගෙන් යුක්ත ක්‍රියාවන් නො කළ යුතු බව බුදුන් වහන්සේ අවධාරණය කොට ඇත.

දැඩි කාමයෙන් යුතු වීම වර්තමාන ලොව පවත්නා ප්‍රධාන මානසික රෝගයකි. නූතන සමාජයේ බොහෝ උදවිය කාමයෙන් උන්මත්තක බවට පත්ව නොයෙක් අකටයුතුවල හැසිරෙති.

මෙම මානසික තත්ත්වයන්ගෙන් භික්ෂුව ආරක්ෂා කර ගැනීමට සතර පාරාජිකාවලින් පළමු පාරාජිකාව ලෙස මෙවුන්දම් සේවනය නො කළ යුතු බවත්, එසේ කරන්නවුන්ගේ භික්ෂුත්වය සම්පූර්ණයෙන් අහිමි වන බව දක්වා ඇත. ගිහි ජනතාවගේ නිත්‍ය ශීලය වන පංචශීලය තුළ වැරදි ලෙස කාමයන් තුළ නො හැසිරිය යුතු බවට අවධාරණය කොට ඇත. මේ තුළින් බුදුන් වහන්සේ බලාපොරොත්තු වූයේ පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය සංරක්ෂණය යි. එනම් ශික්ෂණය තුළින් පුද්ගලයා මානසිකව ආරක්ෂා කිරීම යි.

පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයන් අතර ප්‍රධාන තැනක් මේ වන විට බුදු දහමේ ඉගැන්වෙන භාවනා ක්‍රමවේදයන්ට හිමිව ඇත. ඒ තුළින් ද පුද්ගලයාගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරන ප්‍රධානතම භාවනාව වන්නේ ආනාපානසති භාවනාව යි. මේ බව විද්‍යාත්මකව තහවුරු කොටගෙන ඇත. ආනාපානසති භාවනාවේ දී කරනු ලබන්නේ සිහි බුද්ධියෙන් යුක්තව හුස්ම ගැනීම හා හෙළීම යි. මනා සිහියෙන් යුතුව දිග හුස්මක් ගැනීම තුළින් පෙනහල්ල සම්පූර්ණයෙන් ම ඔක්සිජන් වායුවෙන් පිරෙයි. එවිට එම ඔක්සිජන් වායුව පෙනහල්ලේ ඇති කුටීරවලට ගමන් ගන්නා අතර පසුව හෘදයට ගමන් කරයි. එහි දී එම ඔක්සිජන් හා රුධිරය එකට මුසු වී ශරීරය පුරාම ගමන් කරයි. මෙහි දී විශේෂයෙන් ම මොළයේ ඇති කුඩා, අනුකුඩා සෛල කරා මෙම ඔක්සිජන් මුසු රුධිරය ගමන් කිරීමෙන් නිදාගෙන සිටි බොහෝ සෛල අවධි වෙයි. එහි දී පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරීත්වය ප්‍රබල වන තරමට ඕනෑම මානසික ගැටලුවකට සාර්ථක ලෙස මුහුණ දිය හැකි ය. මෙම ක්‍රමවේදය මානසික ස්වස්ථතා ක්‍රමවේදයේ දී ඉතාම වැදගත් වේ.

ආනාපානසති භාවනාව වැඩීමෙන් පුද්ගලයා මානසික වශයෙන් ආරක්ෂිත වන අයුරු බුදුන් වහන්සේ පාරාජිකා පාලියේ දී මෙලෙස උපමානුරූපිව අවධාරණය කොට ඇත.

“මහණෙනි, යම්සේ ගිම්හානයේ පැසුළු මස අහසට නැගුණු දූවිලි නොකල් මහා වැස්සකින් ක්ෂණයකින් ම අතුරුදන් කෙරේ ද, එසේම මහණෙනි ආනාපානසති සමාධිය වඩන ලද්දේ, බහුලව කරන ලද්දේ, ශාන්ත ද ප්‍රණීත ද, මිහිරි ද සුව විහරණය ඇත්තේ වෙයි. උපනුපන් ලාමක අකුසල් ක්ෂණයකින් අතුරුදන් කෙරෙයි.”

ඒ අනුව පුද්ගල මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයේ දී භාවනා ක්‍රමවේදය ඉතාම වැදගත් වේ. පුද්ගලයන් කායිකව ලෙඩ වූ විට මානසිකව ද රෝගී විය හැකි ය. එවිට එම පුද්ගලයා කායිකව මෙන් ම මානසිකව ද පීඩාවට පත් වේ. පුද්ගලයෙක් කායිකව රෝගී වූ විට එම පුද්ගලයාගේ චිත්ත ධෛර්යයට මානසික පීඩනයෙන් තොර වීමට උපදෙස් ලබා දීම ඉතා මැනවි. මේ වන විට ලොව පුරාම මනෝ විද්‍යා උපදේශකයන් සිටිනු දැකිය හැකි ය. මොවුන් මනෝ විද්‍යාව පිළිබඳ ගැඹුරින් හදාරා මානසික ප්‍රශ්න ගැටලු ඇති වූ විට එයින් අතමිදීම සඳහා අවස්ථාවට ගැළපෙන ලෙස මනෝ විද්‍යානුකූලව උපදෙස් ලබා දෙයි. ලොව පහළ වූ විශිෂ්ටතම මනෝ විද්‍යා උපදේශකයාණන් වන්නේ බුදුන් වහන්සේ ය. උන්වහන්සේ,

දුක නමැති මානසික රෝගය, දුක නමැති මානසික රෝගයට හේතුව, දුක නමැති මානසික රෝග නිවාරණය, දුක නමැති මානසික රෝග නිවාරණ ක්‍රියා මාර්ගය යන කරුණු හතර පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව සිටියහ. උන්වහන්සේගේ උපදේශනයෙහි සුවිශේෂිත්වය, මානසිකව උමතු වූ කිසාගෝතමියට නො මළ ගෙයකින් අබ ඇට ගෙන එන්න යැයි පැවසූ කරුණින් මනාව පැහැදිලි වේ. පාචිත්තිය පාලියේ භික්ෂු විභංගයේ දී බුදුන් වහන්සේ කායිකව රෝගී වූ පුද්ගලයන් මානසිකව ද රෝගී වීමට පෙර ඔවුන් සඳහා ධර්මානුකූලව උපදෙස් ලබාදීම අනුමත කොට ඇත. මෙය නූතන සමාජයෙහි ද දැකිය හැකි ය. රෝගී වූවන් මානසික රෝගීන් වීමට පෙර ඔවුන්ට මානසික සහනයක් ලබාදීමේ අරමුණින් පිරිත් කීම, දානමානාදී පින්කම් කිරීම, බෝධි පුජා කිරීම, ධර්ම දේශනා පැවැත්වීම යනාදිය ඉෂ්ට සිද්ධ කරන බව දැකිය හැකි ය.

මානසික සෞඛ්‍ය සංරක්ෂණයේ දී අන්‍යොන්‍ය සුහදතාවය ඉතා වැදගත් වෙයි. ගෙදරක, ආයතනයක වාසය කරන විට නිවසෙහි නිවැසියන් අතර සුහදතාවයක් නො මැති නම්, නිතර ම රණ්ඩු සරුවල් ඇනුම් බැනුම් තාඩන පීඩන වලින් යුක්ත වූයේ නම්, එම නිවස, නිවැසියන්, ආයතනය, ආයතන නිලධාරීන් ගැන කලකිරීමට පත්වන අතර ම ඔවුන් සමඟ වාසය කිරීම විශාල මානසික පීඩනයකි. එම කරුණු හේතුකොටගෙන නිවැසියන් තුළ මෙන් ම ආයතනිකයන් සමඟ එකට සුහදතාවයෙන් යුක්තව ජීවත් වීමට නො හැකි ය. එම නිසාම සමහර අවස්ථාවල දී පුද්ගලයන්ට පීඩනය දරාගත නො හැකිව මරණයට පත්වන අයුරු නූතන සමාජයෙන් දැකිය හැකි ය. භික්ෂු සමාජයතුළ එම සුහදතාවය වර්ධනය කරගෙන මානසික සෞඛ්‍ය සංරක්ෂණය කරලීමට බුදුන් වහන්සේ උපාධ්‍යායවරයාට නිතරම සිය අන්තේවාසිකයා කෙරෙහි ‘පුත්තචිත්තං උපට්ඨපෙස්සන්ති’ යනුවෙන් පියෙකු පුතෙකු අරභයා කටයුතු කරන්නාක් මෙන් පුත්‍ර සෙනෙහසින් යුක්තව කටයුතු කළ යුතු බව දක්වයි. එසේම අන්තේවාසිකයා ‘පිතු චිත්තං උපට්ඨපෙස්සන්ති’ යනුවෙන් පුතෙකු පියෙකු අරභයා කටයුතු කරන අයුරු ද පිතෘ සෙනෙහසින් යුක්තව කටයුතු කළ යුතු බව අවධාරණය කොට ඇත.

මෙම සුහදතාවය තුළින් ඔවුන් කෙරෙහි අන්‍යෝන්‍ය සුහදතාවයක් ගොඩනැගෙන අතර, ආරාමය තුළ නිරවුල් ව ජීවත් විය හැකි ය. මෙලෙසින් සුහදතාවයකින් තොරව ජීවත් වන විට ඔවුනොවුන් අතර මානසික ගැටලු රාශියක් ඇතිව මානසික ආපදාවලින් යුක්තව කටයුතු කරන්නන් වෙයි. එම නිසා සුහදතාවය මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයක් බව අපට ඉතාම පැහැදිලි ය.

 

  බක් මස අව අටවක පෝය


 බක් මස අව අටවක පෝය අප්‍රේල් 07 වන දා සෙනසුරාදා අපර භාග 11.32 ට ලබයි.
9 වන දා සඳුදා පූර්ව භාග 02.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 08 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 15 වන දා ඉරිදා

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]