UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් වැඩෙන බෝධි වන්දනාව - 06

පින් වැඩෙන බෝධි වන්දනාව - 06

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපට ඇතිවන බොහෝ කායික, මානසික පීඩාවලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය පිළිබඳව බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.

පින් අනුමෝදන් කිරීම

අනන්ත අප්‍රමාණ වූ ගුණ ඇත්තා වූ ත්‍රිවිධ රත්නයෙහි ගුණ මෙනෙහි කරමින් මා විසින් සිදු කළ බුද්ධ පූජාම ය, බුද්ධ වන්දනා ම ය කුසලයන් තුළින් උපදවා ගත් පුණ්‍ය සම්පත්තිය සහ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ට උතුම් බුදුබව අවබෝධ කර ගැනීම සඳහා සෙවණ දී වදාළ ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ උදෙසා උපහාර පූජාවක් ලෙස මා විසින් සිදුකළ බෝධි පූජාම ය බෝධි වන්දනා ම ය කුසලයන් තුළින් උපදවා ගත් පුණ්‍ය සම්පත්තිය,සියලු බ්‍රහ්ම ලෝකවාසි සියලු බ්‍රහ්මයෝ ද, සියලු ලෝක පාලක දෙවියෝ ද, සදිව්‍ය ලෝකවාසී සියලු දෙවියෝ ද, ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා කරන්නා වූ දෙවියෝ ද,

ජය ශ්‍රී මහා බෝධිය, ශ්‍රී දළදා වහන්සේ, ශ්‍රී පාදස්ථානය, රුවන්වැලි මහා සෑය ආදී පූජනීය ස්ථාන ආරක්ෂා කරන්නා වූ දෙවියෝ ද, මේ උතුම් පුණ්‍ය භූමිය ආරක්ෂා කරන්නා වූ දෙවියෝ ද, මේ අප කළ පින් අනුමෝදන් ව ශාසනය බොහෝ කලක් රකිත්වා, එසේ ම දෙවියෝ සැම කල්හි ම අපගේ ආරක්ෂාව සලසත්වා,සුජීවත්ව සිටින සෙනෙහබර මව්පිය දෙපළ ප්‍රධාන දූ දරුවන් වැඩිහිටියන් ඇතුළු සියලු ඤාති මිත්‍රාදීන් බොහෝ ඤාති මිත්‍රාදීන් බොහෝ කල් නිදුක්ව නිරෝගීව වෙසෙත්වා. මිය පරලොව ගියා වූ අපගේ ආදරණීය මව්පියන් සහ සියලු ඥාති මිත්‍රාදීන් අප රැස් කර ගත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා, ඔවුන් පවත්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා. එතෙක් නිදුක් නිරෝගි සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා!.

ප්‍රාර්ථනා

අප මහ බෝසතාණන් වහන්සේ විසින් අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉහත දී වඩන ලද, පාරමී ධර්මයන් සිහිපත් කරමින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සිතින්ද බුදු බව පැතූ බව ඒකාන්තයෙන් ම සත්‍යය යි.

එම සත්‍යානුභාව බලයෙන් ද,

නවාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වචනයෙන් බුදු බව පැතූ බව ඒකාන්තයෙන් ම සත්‍යය යි.

එම සත්‍යානුභාව බලයෙන් ද,

දීපංකර පාද මූලයෙහි පටන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දස පාරමී ධර්මයන් සමත්‍රිංසත් ආකාරයෙන් මනාව සම්පූර්ණ කළ බව ඒකාන්තයෙන් ම සත්‍යය යි.

එම සත්‍යානුභාව බලයෙන් ද,

එම කාලය තුළ ලොව පහළ වූවා වූ පන්ලක්ෂ දෙළොස් දහස් විසිහත් නමක් වූ,

බුදුරජාණන් වහන්සේලාගේ සත්‍යානුභාව බලයෙන්

ලොව සියල්ල දන්නා වූ ලොවුතුරා බුද්ධත්වය ලැබූ බව ඒකාන්තයෙන් ම සත්‍යය යි.

එම සත්‍යානුභාව බලයෙන් ද,

ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී අවබෝධ කළ ලොවුතුරා ශ්‍රී සද්ධර්ම රත්නය ඒකාන්තයෙන් ම සත්‍යය යි . ඒ සත්‍යානුභාව බලයෙන්ද

එම සත්‍ය ධර්මය අවබෝධ කළ ධර්මය අනුව පිළිවෙත් පුරන මහා සංඝරත්නය ඒකාන්තයෙන් ම සත්‍යය යි.

එම සත්‍යානුභාව බලයෙන් ද,

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුලු ලොව පහළ වූ සියලු සර්වඥයින් වහන්සේලාගේ නව අරහාදී අනන්ත බුදුගුණ බලය ඒකාන්තයෙන් ම සත්‍යය යි.එම සත්‍යානුභාව බලයෙන් ද,

ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී ප්‍රතිලාභ කරගන්නා ලද සතර මාර්ග ඥාන, ෂඩ් අසාධාරණ ඥාන, දසබල ඥාන අට්ඨාරස ආවේනික බුද්ධ ඥාන, තෙසැත්තෑ ඥාන, සමන්නාගත සමන්ත පට්ඨාන ප්‍රකරණ විෂයන්තර්ගත ගාම්භීර ඥාන, ආදි පරිවාර කොට ඇති සර්වඥතා ඥානය අවබෝධ කළ බව ඒකාන්තයෙන් ම සත්‍යය යි. එම සත්‍යානුභාව බලයෙන් ද,

ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ මහා ගුණානුභාව බලයෙන් ද, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආනුභව බලයෙන් ද,

රුවන්මැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ ධාතුන් වහන්සේලාගේ ආනුභව බලයෙන් ද,

පින් අනුමෝදන් වන සම්‍යග් දිට්ඨික දෙවියන්ගේ රැකවරණින් ද,

කල්‍යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ මෛත්‍රී පූර්වාංග ආශිර්වාද බලයෙන් ද,

මා/ අප ගෙවූ සසර පුරා සිදුකළ ආමිස ප්‍රතිපත්ති කුසල් බලයෙන් ද,

මේ ජීවිතයේ මේ මොහොත දක්වා මා /අප විසින් සිදුකළ ආමිස ප්‍රතිපත්ති කුසල් බලයෙන් ද,

නිවන් මඟ හෙළිවන තුරුම පස් පව් දස අකුසල් කරන බාලයින්ගේ ඇසුර ද, අසත්පුරුෂයින්ගේ ඇසුර ද නො ලැබේවා,

දානාදි පින්කම් කරන ශිලාදි ගුණ දම් පුරන කල්‍යාණ මිත්‍රයන්ගේ ම

සත්පුරුෂයින්ගේ ම ඇසුර ම ලැබේවා

උතුම් පැතුම් සහ සසර පාරමී ධර්මයන් සුවසේ ම සපුරා ගැනිමට

සියලු පහසු විහරණ සැලසේවා

සර්ව උපද්‍රවය නිවාරණය වී කායික මානසික සැනසිල්ල ඇතිවේවා

මට/ අප සියලුදෙනාට ම සෙතක් ශාන්තියක් සැනසිල්ලක් උදාවේවා!

මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් කෙටිම කෙටි කාලයකින් පහසු ම ආකාරයකින් සුබ ප්‍රතිපදාවෙන් පරම ගම්භීර වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී සසර දුකින් මිදී ශාන්ත සුන්දර අමා මහ නිවන් ලැබ සැනසෙම්වා. . .

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]