UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කංඛා විතරණ විසුද්ධිය

කංඛා විතරණ විසුද්ධිය

කංඛා යන පාලි භාෂාමය වචනයෙහි සිංහල අර්ථය සැකය යන්නයි. විතරණ යනු බෙදා දීම, එතෙර කිරීම, දුරු කිරීම යන අරුත් ඇති වචනයකි. ඒ අනුව සැකය දුරු කිරීම නිසා ඇති වන විශේෂ ශුද්ධිය (පිරිසුදු බව) කංඛා විතරණ විසුද්ධිය වශයෙන් හැඳින්විය හැකි ය. මේ සැකය කුමක් සම්බන්ධයෙන් ද? සත්වයාගේ සසර ගමනට හේතු වූ විඤ්ඤාණ – නාමරූප සළායතන යන මේවා භවයෙන් භවයට කෙසේ ලැබේ ද යන සැකය යි.

මේ සැකයට භාජනය වන නාම රූප ධර්ම හේතු ප්‍රත්‍ය බලයෙන් ඇති වන ඒවා ය. ඒ හේතු ප්‍රත්‍යයන් මොනවාදැ’ යි පිරිසිඳ දැන ගැනීමෙන්, අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයෙහි පැවති ඒ සැක දුරු කිරීමෙන් පිරිසුදු වීම් වශයෙන් ලැබෙන ඤාණය කංඛා විතරණ නම් වේ.

මේ කරුණ වැඩි දුරටත් පැහැදිලි කරන රාජකීය පණ්ඩිත නිතලව ඤාණීස්සර පඬි හිමිපාණෝ “දිට්ඨි විසුද්ධියෙන් පිරිසුදුව, කංඛා විතරණ විසුද්ධිය ඇති කර ගනු කැමති, උපදවා ගනු කැමති යෝගාවචරයා විසින් දක්ෂ වෛද්‍යවරයකු රෝගයක් දැක, එහි නිධානය සොයන්නා මෙන් ද, අනුකම්පා ඇති පුද්ගලයෙකු විථියක වැටී හුන් ළදරුවකු දැක ඔහුගේ මව්පියන් සොයන්නා මෙන් ද නාමරූපයන්ගේ හේතු ප්‍රත්‍යය සෙවිය යුතු බව තම සප්ත විශුද්ධි නිර්දේශය නමැති කෘතියෙහි සටහන් කරති. නාමරූප ධර්ම සියලු දෙනාට ම සියලු තැන එක් බඳු ව නූපදී. එබැවින් ඒවා හේතු ප්‍රත්‍ය රහිත ව ඉබේ ඇති වන්නේ නැත.

මෙහිලා පළමු කොට රූපය සම්බන්ධ හේතු ප්‍රත්‍යය මොනවා දැයි සලකා බලමු. මේ සත්ත්ව ශරීරය නෙළුම්, ඕලු ආදී සුවඳැති මලක හෝ රන්මිණි මුතු ආකාරයක උපදින්නක් නො වේ. කුණපයන් ගෙන් පිරුණු, දුඟඳ හමන, පිළිකුල් සහගත තැනක ගවර වළක පණුවකු මෙන් උපදී, එය අවිජ්ජා, තණ්හා, උපාදාන, කම්ම ය. මේවා උපදවන්නවුන් නිසා හේතු වශයෙන් සැලකෙයි. ආහාරය ආධාර වෙයි. එහෙයින් ආහාරය ප්‍රත්‍යය වෙයි. ඒ අනුව අවිජ්ජා, තණ්හා, උපාදාන, කම්ම, ආහාර යන පහ හේතු ප්‍රත්‍යය වෙයි.

ඒ කරුණු පහ අතරින් අවිජ්ජා - තණ්හා - උපාදාන නම් වූ කරුණු තුන මවක මෙන් මේ ශරීරයට ආශ්‍රය ස්ථාන වෙයි. පියා මෙන් උපදවන්නේ කර්මය යි. කිරි මවක මෙන් ආරක්ෂා කර දෙන්නේ ආහාරය යි. ඒ අන්දමින් රූපකායේ හේතු ප්‍රත්‍යයන් හැඳිනගෙන නාමකායයේ හේතු ප්‍රත්‍යයන් ද තේරුම් ගනිමු. ඇසට රූප ගැටීම නිසා චක්ඛු විඤ්ඤාණ සිත උපදී. කනට ශබ්ද ගැටීම නිසා ශබ්ද විඤ්ඤාණ සිත උපදී. නාසයට ගඳ සුවඳ ගැටීම නිසා ඝාන විඤ්ඤාණ සිත උපදී. කයට පහස ගැටීම නිසා කාය විඤ්ඤාණ සිත උපදී. ඒ සරල විස්තරය අනුව නාමයේ හේතු ප්‍රත්‍යය වටහා ගත හැකි ය.

ඉහත දැක් වූ පරිදි නාම රූප දෙක මේ භවයෙහි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ආකාරයත්, අතීත හා අනාගත කාලයන්හි ද එසේ හටගත් හා හට ගැනෙන ආකාරයත් පැහැදිලි වෙයි. එසේ හේතු ප්‍රත්‍යයන් දකින යෝගාවචරයා සොළොස් ආකාරයකින් හටගන්නා සැක දුරු කර ගනී. ඒ සොළොස් ආකාර සැක මෙසේ ය.

පූර්වාන්තය (අතීත)

මම අතීත කාලයේ සිටියේ ද? නො සිටියේ ද? කවරෙකුව සිටියේ ද? සිටියේ කෙලෙසද?

අපරාන්තය (අනාගත)

මතු මම වෙම් ද? නො වෙම් ද? කවරෙකු වෙම් ද? කෙබන්ඳෙකු වෙම් ද? කවරෙක්ව කවරකු වෙම්ද?

වර්තමාන

මම දැන් සත්වයෙකු වෙම් ද? සත්වයකු නො වෙම් ද? කවරකු වෙම් ද? කෙබන්ඳකු වෙම් ද? මම කොහි සිට මෙහි ආවෙම් ද? මෙතැනින් කෙබඳු තැනකට යන්නෙමි ද? යන මේවා තුන් කල් අයත් විචිකිච්ඡා ය.

ඒ අන්දමින් ලෝකය හා සත්වයා පිළිබඳ ඇති වන සොළොස් වැදෑරුම් සැක දුරු කර ගැනීම, කංඛා විතරණ විසුද්ධිය යි. ඒ නාම රූපයන් ජරාවට පත්වීම, විනාශවීම නුවණින් දැක අනුලෝම, පටිලෝම සමුප්පාද වශයෙන් සැලකීමේ දී ඒ හා සම්බන්ධ සියලු සැක දුරුවෙයි.

එසේ සැක ප්‍රහාණය වූ තැනැත්තා හැඳින්වෙන්නේ චුල්ල සෝතාපන්න නාමයෙනි. ඔහු බුද්ධ, ධම්ම, සංඝ, පටිපදා, පුබ්බන්ත, අපරන්ත, පුබ්බන්තාපරන්ත, පටිච්ච සම්පන්න ධම්ම යන අටතැන සම්බන්ධ සියලු සැක දුරු කළ කෙනෙකි. දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන්හි නො ඇලී, නො බැඳී ජීවත් වන්නෙකි. ධම්මට්ඨති ඤාණය, යථාභූත ඤාණය, සම්මා දස්සන ඤාණය යන වචන ද කංඛා විතරන විසුද්දිය හැඳින්වීම සඳහා භාවිතයෙහි ඇත.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]