UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට : හොඳට නරකට දෙකට කට ම ය

හොඳට නරකට දෙකට කට ම ය

පින්වත් දරුවනේ, අද අප කියා දෙන්න යන්නේ හොඳින් වචන භාවිත කරන්නේ කොහොමද කියල යි. ‘හොඳට නරකට දෙකට කටම ය’ කියනවානේ. කට හොඳ දෙයට යි, නරක දෙයට යි දෙකට ම භාවිත වෙනවා. පින්වත් දරුවො දන්නවාද අපිට පව් සිදුවෙන්නේ කාරණා තුනක් නිසා බව. ඒ තමයි සිත, කය, වචනය. මේවාට අප කියනවා තුන්දොර කියලා. තුන්දොර හොඳට සංවර කරගන්න ඕනෑ. තුන්දොර සංවර කර ගන්නේ කොහොම ද? අද වචනය සංවර කර ගන්නා ආකාරය ගැන දැන ගනිමු.

වචනය සංවර කරගන්නවා කියන්නේ දරුවනේ, වචනයෙන් වන අකුසල් දුරුකර ගැනීමට යි. වචනයෙන් සිදුවන අකුසල් හතරක් තිබෙනවා. සිත, කය, වචනය කියන තුන් දොරෙන් වැඩිම අකුසල් සිදුවන්නේත් වචනයෙන්. සිතින් අකුසල් තුනයි, කයින් අකුසල් තුනයි, වචනයෙන් අකුසල් හතරයි. මේ සේරම එකතුවුණාම අකුසල් දහය යි. ඒකට අපි කියනවා දස අකුසල් කියලා.

වචනයෙන් වන අකුසල් හතර මොනවා ද?

1. මුසාවාදා - බොරුකීම

2. පිසුණාවාචා - කේළාම් කීම

3. පරුෂා වාචා - පරුෂ වචන කීම

4. සම්පප්ඵලාපා - හිස් වචන කීම

බොරු කියනවා කියන්නේ කුමක් ද? සමහර වෙලාවට, සමහර අය දැනුවත්ව හරි නො දැනුවත්ව හරි මොන තරම් නම් බොරු කියනවා ද? තව කෙනෙක් රවටන්නට හිතාගෙන, තව කෙනෙක් වංචා කරන්න හිතාගෙන ලාබ සත්කාර බලාපොරොත්තුවෙන් සිදු නොවුණ දෙයක් කියනවා නම්, ඒ දේ කීමෙන් පසුව අදාළ කෙනා රැවටෙනවා නම් ඔන්න, බොරුව සම්පූර්ණ යි. ඉතින් දරුවනේ අප දන්නවනේ එහෙම දෙයක් සිදුවුණේ නෑ කියලා. එහෙම හිතනවිට ම බොරු කීමේ අකුසලයට අහුවෙනවා. බොරු කියනකෙනා හිස් මනුස්සයෙක්.

ඔන්න දවසක් බුදු හාමුදුරුවෝ, රාහුල පොඩි හාමුදුරුවෝ, ඉන්නේ කොහේද කියලා බලා උන්වහන්සේ ඉන්න තැනට වැඩම කළා. බුදුහාමුදුරුවෝ දන්වන්නේ නැතිවම වැඩිය නිසා රාහුල හාමුදුරුවෝ කලබල වුණා. ඉක්මණින් ම පා දෝවනය කරන්න වතුර කියලා ආසනයක් පැනවුවා. බුදුහාමුදුරුවෝ පනවන ලද ආසනයේ වාඩිවෙලා රාහුල පොඩි හාමුදුරුවන්ට මෙහෙම කියනවා.

බුදුරජාණන් වහන්සේ- රාහුල අර පා සේදූ වතුර භාජනය ළඟට යන්න. දැන් එහි කො පමණ වතුර තිබෙනවා ද?

රාහුල හාමුදුරුවෝ - බුදුහාමුදුරුවනේ දැන් එහි වතුර තිබෙන්නේ භාගයයි නේ. ඔබ වහන්සේ පා දෝවනය කළානේ.

බුදුරජාණන් වහන්සේ-අන්න ඒ වගේ තමයි රාහුල, බොරු කියන කෙනාගේ වටිනාකමත් භාගය යි. දැන් ඔය වතුර භාජනයේ තිබෙන ඉතිරි වතුර ටික ඉවත දමන්න. හොඳයි රාහුල. දැන් මොනවද ඒ භාජනයේ තිබෙන්නේ.

රාහුල හාමුදුරුවෝ - බුදුහාමුදුරුවනේ දැන් කිසිවක් නෑ. භාජනය හිස්වෙලා.

බුදුරජාණන් වහන්සේ - රාහුල දිගින් දිගට ම බොරු කියන කෙනාත් හරියට හිස් භාජනයක් වගේ. දැන් රාහුල භාජනය මුනින් අතට හරවන්න. හොඳයි දැන් මොනවාද සිදු වී තිබෙන්නේ.

රාහුල හාමුදුරුවෝ - අනේ බුදුහාමුදුරුවනේ. තිබුණු වතුරත් නෑ. නැවත වතුර පුරවන්නත් බැහැ. දැන්නම් එයින් කිසිම වැඩක් නෑ.

බුදුරජාණන් වහන්සේ - දැන් ඒ වගේ තමයි රාහුල දැන දැන, දිගින් දිගටම බොරු කියන කෙනා මුනින් හැරවූ භාජනයක් වගේ. බොරු කියන කෙනාට මොනවා කියලා දුන්නත් වැඩක් නෑ.

ඒ නිසා පින්වත් දරුවනේ බොරු කියන්න නම් හොඳ නෑ. බොරු කීම ගැන තව විස්තර බොහොම තිබෙනවා. දැන් අපි බලමු කේළාම් ගැන. කේළාම් කියන්නේ මොනවාට ද? ඔන්න පුතාගේ නංගි, වරදක් කරනවා. පුතා ඒක අම්මට කියනවා. එහෙම නැතිනම් යාළුවෙක් වරදක් කළොත් ගුරුතුමියට කියනවා. දැන් එය කේළමක් ද? නෑ දරුවනේ කේළම කියන්නේ, ඔන්න අපි හිතමු දෙන්නෙක් රණ්ඩු වුණා කියලා එක්කෙනෙක් බොහොම කේන්තියෙන් කියනවා ඔය ළමයා අහුවුණොත් හොඳටම ගහනවා කියලා. සමහරු කේන්ති ගියාම එහෙම කියනවානේ. ආලවක යක්ෂයා බුදු හාමුදුරුවන්ටත් එහෙම කිව්වනේ.

‘පාර ගංගායං ඛිපිස්සාමි’

කකුල් දෙකෙන් අල්ලා පරසක්වල ගහනවා කිව්වා. ඉතින් දරුවනේ තරහක් සිතට ආවාම නොයෙකුත් දේ කියනවා. එවැනි දේ අහගෙන ඉඳලා ඔන්න අනික්කෙනාට කිව්වොත් එය කේළමක් වෙනවා. වරදක් පෙන්වාදීම, වරදින් මුදවා ගන්නට කියන ඒවා කේළම් වෙන්නේ නෑ. දරුවනේ යහළුවන්ට වැරැදි කරන්න දීලා බලාගෙන ඉන්න හොඳ නෑ. කේළාම් කීමත් වචනයෙන් සිදුවන අකුසලයක්.

ඊළඟට පරුෂා වාචා, පරුෂ වචන කියන්නේ නරක වචනවලට යි. තරහ ආවම, ඊර්ෂ්‍යා හිතුණාම පිටවෙන වචන. ඒවා පිහියකින් අනිනවාට වඩා දරුණුයි. නරක වචන, ඇනුම්පද කියන්න හොඳ නෑ. හිත් රිදෙනවා. වෛර බැඳ ගන්නවා. නරක වචනයෙන් කතා කරනවාට සතෙක්වත් කැමැති නෑ. දන්නවා නේද නන්දිවිසාල ජාතක කතාව. නන්දිවිසාල ගව පැටියා තමන්ගේ ස්වාමියාට මොනතරම් ආදරේද බලන්න.

ඊළඟ අව අටවක පෝදා(8දා) බුදුසරණ පත්‍රයෙන් අපි ඒ ගැන කතා කරමු.

මේ කරුණු සම්බන්ධයෙන් පුංචි දරුවන්ට ගැටලුවක් තිබෙනවා නම් ඒවා අපට ලියා එවන්න. අපි පැහැදිලි කර දෙනවා. අපේ ලිපිනය 'බෝසත් දරුවන්ට', බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස් කොළඹ.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]