UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු සසුනක් නොමැති පසේබුදුරජාණන් වහන්සේ

බුදු සසුනක් නොමැති පසේබුදුරජාණන් වහන්සේ

බුදු සසුන පිහිටුවන්නට නො හැකි බුදුවරු ද ලොව පහළ වෙති. උන්වහන්සේලා පච්චේක බුද්ධ නාමයෙන් හඳුන්වති. හෙළ බස් වහරින් පසේබුදු කියයි. පසේබුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරයි.

මෙම මහා භද්‍ර කල්පයේ මුලින් ම පහළ වූයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගය යි. එකල මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස්දෙදහස වෙද්දී කෝණාගමණ බුදුරදුන්ගේ යුගය පහළ වුණි. මිනිස් ආයුෂ වසර විසි දහසක් ව තිබිය දී කාශ්‍යප බුදුරදුන්ගේ යුගය පහළ වුණි. අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය පහළ වීමේ දී මිනිස් ආයුෂ වසර එකසිය විස්ස ය.

දැන් ඒ මිනිස් ආයුෂ කෙමෙන් අඩු වී ගෙන යයි. මේ සියලු යුග බිහිකළ බුදුවරුන් අයත්වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට යි. උන්වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ කෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීම යි. එසේ දෙසනු ලබන ඒ ධර්ය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකරගත් ශ්‍රාවක පිරිස් බිහි වන්නේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ පමණි. එවිට ඒ ශ්‍රාවකයින් තම ශ්‍රද්ධාව මුල්කොට පැවිදි වෙයි. ඒ ධර්මය අසා ආර්ය මාර්ගයෙහි ගමන් කරයි. සසරෙන් එතෙර වෙති. එම වැඩපිළිවෙල හඳුන්වන්නේ බුද්ධ ශාසනය යන නමිනි.

එසේ බුදු සසුන පිහිටුවන්නට නො හැකි බුදුවරු ද ලොව පහළ වෙති. උන්වහන්සේලා පච්චේක බුද්ධ නාමයෙන් හඳුන්වති. හෙළ බස් වහරින් පසේබුදු කියයි. පසේබුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ සම්මා සම්බුදු සසුනක් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරයි. අපේ බුදුරජාණන් වහන්සේ මනුලොව ඉපදීමට සුළු කලකට පෙර මාතංග නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩසිටි සේක.

සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැන ගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීමකට උන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ඛග්ගවිසාණ සූත්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගාථාවන් ය.

මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. පසේබුදුවරයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ ගන්ධමාන නම් පර්වතය ඇසුරු කරගෙන ය. එහි මංජුසක නම් විශාල වෘක්ෂයක් තිබේ. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපේ. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසක යි. එම මල රන් මල් නමින් හඳුන්වයි. රන් මල් යනු රත්තරනින් කරන ලද මලක් නොවේ. මෙය කෙඳි රාශියකින් සමන්විත ව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයකි. මේවා වර්ණවත් රත් පැහැයෙන් සහ සුදු ,කහ පැහැයෙන් යුතු කෙඳි ද මිශ්‍රව ඇත. මෙවැනි රන් මලක් මතු වූ විට අනෙක් පසේබුදුවරයන් වහන්සේ දැනගන්නේ තවත් පසේ බුදුවරයෙක් ලොව පහළ වී ඇති බවයි.

එසේ රන් මල් හටගන්නා සුවිශාල වූ මංජුසක රුක් සෙවනකට පොහොය දිනේ දී උන්වහන්සේ රැස් වී ඵලසමවත් සුවෙන් වැඩ සිටිමින් තම තමන්ගේ ගුණධර්ම සතුටෙන් අනුමෝදන් වෙති. පිළිසඳර කථාවෙහි යෙදෙති. තම තමන්ගේ අවබෝධය සමාන බව වටහා ගනිති. නමුත් අවබෝධ කිරීමේ දී එම අවබෝධය පිණිස ප්‍රවේශ වන ආකාරය වෙනස්කම් සාකච්ඡා කරති. ඒ මොහොතේ දී උන්වහන්සේලා තම තමන්ගේ අත්දැකීම් පාදක කරගත් ගාථා වදාරනු ඇත.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වූ එක්තරා භික්ෂුවක් ගතපච්චාගත වත පුරමින් ආර්ය සත්‍යාවබෝධය මුල්කොට ඉතාමත් ශ්‍රද්ධාවෙන් මහණදම් පිරුවේ ය. උන්වහන්සේට එම සසුන තුළ දී මාර්ගඵලාවබෝධයක් නො විණ. දෙව්ලොව උපත ලැබූ උන්වහන්සේ පසේබුදුවරුන්ගේ යුගයේ දී බරණැස රාජ්‍යයෙහි රජු ලෙස මනු ලොවට පැමිණිය හ.

දිනක් මේ රජතුමා උද්‍යාන කී‍්‍රඩාවට ගියේ ය. ඒ ගී‍්‍රෂ්ම කාලය යි. රජතුමා රුක් සෙවණේ සැතැපී සිටි අතර රජු අසල එක් ස්ති‍්‍රයක් සඳුන් කල්ක පිණිස සඳුන් කුඩු කරමින් සිටියේ ය. එසේ සඳුන් කුඩු කරමින් සිටින ස්ත්‍රියගේ අත් දෙක නිතර සෙළවුණි. හාන්සි වී සිටි රජතුමාගේ දෙනෙත් දාසියගේ දෑත වෙත යොමු වුණි. එක අතක තනි වළල්ලක් දමා සිටියේ ය. අනිත් අතේ වළලු දෙකක් දමා සිටියේ ය. තනි වළල්ල ඇති අත කො පමණ සෙළවුණත් කිසි හඬක් නැඟුණේ නැත. නමුත් වළලු දෙකක් තමා සිටි අත සෙළවෙන සෑම වාරයක දී ම හඬ නැඟුණි. රජු ඒ දෙස අවධානයෙන් බලා සිටියේ ය.

හරි පුදුමයකි. මේ තනි වළල්ල සෙළ වෙන්නේ ය. නමුත් හඬක් නො නැඟේ. සෙළවෙන වාරයක් පාසා නද දෙයි. මට සිතෙන්නේ ජීවිතයත් මේ වගේ ය. පිරිසක් එක්ක එකතු වුණොත් මේ සිතේ හැම අර්බුදයක් ම හට ගන්නේ. නමුත් හුදෙකලාව සිටිද්දී ඔහුට ලැබෙන සැප දුක සතුටින් විඳ ගෙන සිටිය හැකි ය.

එවිට රජ බිසව සියලු ආභරණ වලින් සැරසී රජු අසල ම වාඩි වී සිටියා ය. බිසවට යම් අමුත්තක් දැනුණි.

රජතුමනි, ඇයි මේ දාසිය දෙස ඇසි පිය නො හෙළා බලා සිටින්නේ? ඇය කෙරෙහි සිතක් පහළ වී ද? එසේ වීමට ඉඩ දිය නො හැකියැයි සිතූ බිසව දාසිය අමතා

”දාසිය නුඹට වෙහෙස හැඩයි. සඳුන් කල්කය සැදීමට මමද කැමති ය. එනිසා එය කුඩු කිරීමට මට දෙව” කී ය.

දාසිය නැගිට ගිය පසු බිසව සඳුන් කුඩු කරන්නට පටන් ගත්තා ය. එවිට ද රජු ඇසිපිය නො හෙළා එ දෙස ම බලා සිටියේ ය.

අර අත් දෙකෙහි මේ අත් දෙකෙහි ලොකු වෙනසක් ඇත. කලින් තනි වළල්ලක අතක් තිබුණි. වළලු දෙකක අතක් තිබුණි. තනි වළල්ල හඬක් නො නැගුවේ ය. වළලු දෙක ටිකක් ඝෝෂා කළේ ය. මේ අත් දෙකේ ම රන් වළලු පුරෝගෙන. මේ වළලු ගැටෙද්දී මහා ඝෝරණාඩුවක් ලෙස ඇසේ. හුදකලාවම හොඳයි රජු සිතී ය.

රජතුමා අනික් පස හැරුණි. ඒ ගැන සිතන්නට පටන් ගත්තේ ය. හුදෙකලා බවෙහි අරුත විමසන්න පටන් ගත්තේ ය. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණි. සන්සුන් සිතින් වැතිර සිටි ඒ පසේබුදුවරයන් වහන්සේ වෙත පැමිණි බිසව

”රජතුමනි, මේ සඳුන් කල්කය හැදුවේ ඔබතුමාට ම යි. මෙය ගනු මැනව”.

පසේබුදුරජාණන් වහ්නසේ වහා නැගිට ,”නැගණිය, මා හට සඳුන් කල්කය අවශ්‍ය නොවේ.”

”ස්වාමීනි, කිසියම් වරදක් මා අතින් සිදුවීද?”

”නැත මම දැන් රජෙකු නොවේ. සියලු දෙයින් ම නිදහස් වූ යම්කිසි අපූර්වත්නයක් මට දැනේ.”

රජුගේ මේ වෙනස නුවර පැතිරි ගියේ ය. ඇමැතිවරු පැමිණ දේවයන්වහන්ස ඔබවහන්සේට කුමක් සිදුවූයේ ද?”

”දරුවෙනි මා දැන් රජෙකු නොවේ. නිදහස් පුද්ගලයෙකි. මට නිදහස් හුදෙකලා බවක්, ඇලෙන, ගැටෙන ලෝකයට අයිති නැති බවක්, ශාන්ත බවක් දැනේ’.

”ඔබවහන්සේ පසේබුදු බවට පත්වුණා ද? උන්වහන්සේලා රාජකීය වස්ත්‍රාභරණවලින් සැරසී නැත. කෙස් රැවුල් බා සිවුරු පාත්‍රා ගෙනයි සිටින්නේ. නමුත් ඔබවහන්සේ එසේ නොවේ.”

එවිට උන්වහන්සේ හිස අත ගෑ සැණෙකින් කෙස් රවුල් ඉවත් වී සළුපිළි වෙනුවට සිවුරු පොරවා ගත් උපශාන්ත ශ්‍රමණ රුවක් දිස්වුණි. උන්වහන්සේ අහස් තලයෙන් නන්දමූලක පර්වතයට වැඩම කළහ. අනෙක් පසේ බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ අවබෝධයට උපකාරි වූ අත්දැකීම මෙසේ වදාළ සේක.

දිස්වා සුවණ්ණස්ස පහස්සරාණි
කම්මාරපුත්තේන සුනිට්ඨිතානි
සංඝටිඨමානානි දුවේ භූජස්මිං
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

රන්කරු පුත්‍රයෙක් විසින් ඉතාමත් ලස්සනට කැටයම් කළ ප්‍රභාෂ්වර රන් වළලු මට දකින්නට ලැබුණි. අත්දෙක සෙළවෙද්දී ඒ වළලු එකිනෙකට ගැටුණි. ජීවිතයත් ඒ වගෙයි කියා මට සිතුණි. මම හුදෙකලා වුණි. දැන් මම හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේ ම ය. කඟවේනෙකුගේ හිස මත තිබෙන තනි අඟක් සේ ය.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]