UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධාර්මික උත්සාහය යහපත් ජීවිතයක පදනමයි

ධාර්මික උත්සාහය යහපත් ජීවිතයක පදනමයි

ජීවිතයේ ඇතිවන්නා වූ අනේක විධ ගැටලු සියල්ල ශීලයෙහි ම පිහිටා විසඳා ගැනීමට උත්සාහ කළ යුතු වේ. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය ද එයයි. ඔහු සිය ජීවිතය ගෙන යාමේ දී එහි පදනම බවට පත් කරගන්නේ ශීලයයි.

බොහෝ දෙනෙක් දියුණුව යැයි කියන්නේ මිල මුදල්, යාන වාහන, ගේ දොර, වතුපිටි ආදී භෞතික සම්පත්වල ඇති ප්‍රමාණාත්මක බවයි. එහෙත් බුදු සමයේ ඉගැන්වෙන මූලික සිද්ධාන්තයක් වන්නේ පුද්ගලයකුගේ භෞතික දියුණුවට සාපේක්ෂව ඉහළ අධ්‍යාත්මික දියුණුවක් ද පැවතිය යුතු බව ය. ගෘහස්ථ ජීවිතයක් ගෙවන ගිහියා පිළිබඳව ගැඹුරු අවධානයක් යොමු කරන බුදු දහම අවධාරණය කරන්නේ

“දාලිද්‍යං භික්ඛවේ දුක්ඛං
ගිහීනං කාම භෝගිනො”

කාම භෝගී ගිහියාට දිළිඳු බව දුකට හේතුවක් වන බවත්, මේ නිසා ධාර්මික ක්‍රමවේදයන්ගෙන් ධනය සම්පාදනය කරගැනීමට ඇප කැප විය යුතු බවත් ය. එහිදී උට්ඨාන වීර්යයෙන්, බාහු බලයෙන්, දහදිය වැගිරීමෙන් තමන්ට ඇවැසි ධනය සම්පාදනය කරගත යුතු වේ.

සියලු සතුන්ගේ පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය ය. එහෙත් ඕනෑම ක්‍රමවේදයකින් එම අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම බුදු දහම අනුමත කරන්නේ නැත. ප්‍රධානම කාරණය ඒ සඳහා ධාර්මික උත්සාහයක නියැළීම ය. කිසිවෙකුටත් කරදරයක් නොවන ලෙස හිංසාවක් නොවන ලෙස සම්මා ආජීවයෙන්, සම්මා කම්මන්තයෙන් ස්වකීය ආර්ථිකය ගොඩනඟා ගත යුතු බව ගිහියාගේ යහපත වෙනුවෙන් පෙන්වා දී ඇති වැදගත් සංකල්පයකි.

යහපත් කර්මාන්තයක නියැළීමේ දී මිනිස් වර්ගයාගේ පමණක් නොව සතා සිවුපාවුන් ඇතුළු මුළු මහත් ජීව පද්ධතියේ ම ආරක්ෂාව කෙරෙහි අවධානය යොමුකොට ඇත. එහි දී නොකළ යුතු වෙළෙඳාම් පහක් පිළිබඳ අවධාරණය කර තිබේ. ඒ අවි ආයුධ, වස විස, මස් මාංශ, වහල් වෙළෙඳාම මත් වතුර හා මත්ද්‍රව්‍ය වෙළෙඳාම ය. ඉතා කෙටි කලක දී ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සමහරු මෙවැනි වෙළෙඳාම්හි නිරත වෙති. එහෙත් ඒ සමඟම ඇතැම් විට සිතනවාටත් වඩා කෙටි කලකදී ඒවායෙහි දුක්ඛිත විපාක විඳින්නට සිදුවෙන බවත් සමස්ත සමාජයේ ම පැවැත්මට බරපතල හානි සිදුවන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

මේ නිසා භෞතික සැප සම්පත්, දියුණුව සොයා යන ගමනේ දී තමන්ගේ අධ්‍යාත්මික පරිහානියට හේතුවන රාගය, ද්වේශය, මෝහය ආදී කෙලෙස් මූලයන් මත පදනම් වූ ධනෝපායන ක්‍රම අනුගමනය නොකළ යුතු බව ද උන්වහන්සේ අවධාරණය කළහ. තිසරණ සරණගිය ගිහි බෞද්ධයකු ලෙස, බුදු දහම අනුව දියුණුව සොයා යන ගිහියකු ලෙස ඔබ ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. එහිදී ජීවිතයේ ඇතිවන්නා වූ අනේක විධ ගැටලු සියල්ල ශීලයෙහි ම පිහිට විසඳා ගැනීමට උත්සාහ කළ යුතු වේ. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය ද එයයි. ඔහු සිය ජීවිතය ගෙන යාමේ දී එහි පදනම බවට පත් කරගන්නේ ශීලයයි. ඔහු ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන්, බොරුවෙන් සුරාවෙන් තොර ජීවිතයක් තම ගෘහයේ දී පමණක් නොව රැකී රක්ෂා කටයුතුවලදී ත්, සමාජයීය ජීවිතයේදීත් පවත්වා ගනියි. එසේ කටයුතු කරන විට නීතියට බියවීමට හෝ දඬුවමට බියවීමට අවශ්‍ය වන්නේ නැත.එපමණක් ද නොවේ. සිල්වත් බවින් යුතු මෙකී විනය පද්ධතියක පිහිටා සිටින ගිහියාගේ සිතිවිලි නිදහස් ය. මනස නිදහස් ය. නිදහස් සිතින් සිතා කරන කියන කාර්යයන් ද සාර්ථක ය. බුදු දහමේ ඉගැන්වෙන්නේ පංච දුෂ්චරිතයන්ගෙන් දුරු වී ජීවන ගැටලු විසඳා ගැනීම ඉතා දිගුකාලීන, නිවැරැදිව ගැටලු විසඳා ගැනීමේ ක්‍රමවේදයක් වන බව ය.

කෙනෙක් දුසිල්වත් ව, නො මනා ක්‍රමවේදයන්ගෙන් යම් ගැටලුවක්, ප්‍රශ්නයක් විසඳා ගන්නට උත්සාහ කළේ යැයි සිතමු. ඒ මොහොතේ ප්‍රශ්නය විසඳුනා යැයි ද සිතමු. එහෙත් මතුපිටින් පෙනෙන දෙයට වඩා එහා ගිය දෙයක් එහි තිබේ. සැබැවින් ම ප්‍රශ්නය යටපත් කිරීමක් විනා නිවැරැදි විසඳුමක් එහි නොවේ.

ආර්ථික සම්පාදනයේ දී මෙන් ම කළමනාකරණයේ දී ද අනුගමනය කළ යුතු ක්‍රමෝපායයන් පිළිබඳව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි අපූර්ව විග්‍රහයක් සිදු කෙරේ. එහි දී බුදුරජාණන් වහන්සේ දුම්බර කාදික උපමාව භාවිත කරමින් අවධාරණය කර තිබෙන්නේ දිවුල් අනුභව කරන පුද්ගලයකු විසින් ඒ ගසේ සියලු අතු ඉති බිඳ දමා දිවුල් කඩා ගත්තේ නම් ගස ම විනාශ වී යන බව ය. ඊළඟ අවස්ථාවේ දිවුල් කඩා ගැනීමට නොහැකි වන බවය. මේ නිසා ඉතා සූක්ෂමව ක්‍රමවත් ව, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ධනය භුක්ති විඳිය යුතු බවට බුදු සමය අවධාරණය කොට ඇත.

ඒ කවර ආකාරයටද?

“බඹරස්සේ ව ඉරියතෝ”

බඹරෙක් මලකින් රොන් ගන්නා ලෙස ය. මලෙහි පෙතිවලට, පැහැයට, සුවඳට හානියක් නොවන සේ රොන් ගන්නා බඹරෙකු සේ තමන් උපයාගත් ධනය පරිබෝජනයේ දී තම හැසිරීම පාලනය කරගත යුතු ය. අනවශ්‍ය දෙයට සේ ම, අවශ්‍යයැයි සිතන දෙයටම නොව අත්‍යවශ්‍යම දෙයට ධනය විය පැහැදම් කළ යුතු ය.

එහි දී මේ බුදු වදන ඉතා ප්‍රයෝජනවත් ය.

‘ඒකෙන භොගෙ භුඤ්ජ්‍යෙය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්තංච නිධා ප්‍යෙය
ආපදාසු භවිස්සති’

තමන් උපයාගත් මුදලින් ප්‍රමාණවත් මුදලක් පරිභෝජනය සඳහා වෙන් කළ යුතු ය. ඊට සාපේක්ෂව දෙගුණයක ප්‍රමාණයක්වත් නැවත ආයෝජනය කළ යුතු ය. තවත් කොටසක් ආපදාවක දී, කරදරයක දී ප්‍රයෝජනයට ගන්නට ඉතිරි කළ යුතු ය. එම ක්‍රමවේදය පුරුදු පුහුණු කරන ගිහියාට ජීවිතය පහසුවෙන් ගෙනයා හැකි ය. ආර්ථික ජීවිතය සකසා ගැනීම පිළිබඳ බුදු දහමේ පෙන්වා දී ඇති ආකාරය මේ අනුව නිරවුල් ව අවබෝධ කර ගත හැකි ය. ගිහි ආර්ථිකය පිළිබඳ බුදු දමය මෙතරම් මඟ පෙන්වන්නේ ආර්ථිකය, ගෘහස්ථ, ජීවිතයේ සාර්ථකත්වය හා පරිහානිය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන නිසා ය.

ගිහි ජීවිතය ආර්ථික මෙන් ම, සමාජයීය, අධ්‍යාත්මික හා අධ්‍යාපනික වශයෙන් ද දියුණුව කරාගෙන යන ආකාරය පිළිබඳ මනා විග්‍රහයක් මහා මංගල සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය, මෙන්ම සිඟාලෝවාද සූත්‍රය තුළ ද අන්තර්ගත වේ. එහි දී, එම දියුණුව සොයා යන ගමනේ දී තමන්ගේ සිත, කය, වචනය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳවත්, තමන් වටා නිර්මාණය කරගත යුතු කවර ආකාරයේ පරිසරයක් ද යන ආකාරය පිළිබඳවත් ඉතා නිරවුල් මඟ පෙන්වීම් සිදුකර තිබේ.

මව, පියා, දූ දරුවන් ඇතුළු පවුල් පසුබිම තුළ මෙන් ම, සමාජයීය සම්බන්ධතා පිළිබඳව ද ගැඹුරු අවධානයක් යොමුකරන බුදු සමය ගිහි ජීවිතය සාර්ථක වන්නට නම්, සමාජ සම්බන්ධතා වඩාත් යහපත් ලෙස පවත්වා ගත යුතු බවත්, එකිනෙකා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ප්‍රමාණයක් ගිහි ජීවිතයෙහි පවතින බවත් පෙන්වා දී තිබේ. එම යුතුකම්, වගකීම් මැනවින් හඳුනාගෙන, පැහැර නොහැර ඉටු කළේ නම් ගෘහස්ථ ජීවිතය වඩාත් සාර්ථක වන ආකාරය සිඟාලෝවාද සූත්‍රයෙහි විග්‍රහ කර ඇත.

එහි දී සමස්ත සමාජය ම කොටස් හයකට බෙදා දක්වමින් එක් එක් පිරිස් ඊට අදාළ අනෙක් පිරිස වෙත ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් කවරේද යන්න පෙන්වා දී ඇත. එය ගිහි ජීවිතයට අත්‍යවශ්‍ය මඟ පෙන්වීමකි.

පරාභව සූත්‍රයේ දී පෙන්වා දී ඇත්තේ පිරිහීම කරා යන හේතු මොනවාද යන්න පිළිබඳව ය. උදාවන සෑම දිනයක්ම සාමයෙන් සතුටින් ගෙවීම ගිහියාගේ ප්‍රධාන අපේක්ෂාව ය. ඒ සඳහා අවශ්‍ය මංගල කරුණු තිස් අටක් පිළිබඳව මහා මංගල සූත්‍රයේ දී පෙන්වා දී ඇත.

සෑම ගිහියෙක්ම මහා මංගල සූත්‍රය හොඳින් අධ්‍යයනය කළ යුතු ය. එවිට ජීවිතය වඩාත් පහසුවෙන්, යහපත් ව හා සාර්ථකව පවත්වාගෙන යාමට අපූර්ව දැක්මක් ලබා ගැනීමට හැකි වේ.

උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා කල්‍යාණ මිත්ථතා හා සමජීවිකතා යනු ගිහි පුද්ගලයෙකුගේ මෙලොව දියුණුවට හේතුවන ප්‍රධාන කරුණු සතරකි. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි පෙන්වා දී ඇති මෙකරුණුවලට අමතරව අධ්‍යාත්මික දියුණුව ගොඩනඟා ගැනීම උදෙසා ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, පරිත්‍යාග සම්පත්තිය හා ප්‍රඥා සම්පත්තිය ඇති කර ගත යුතු බව අවධාරණය කොට ඇත.

පුද්ගල ක්‍රියාකාරකම්වල ස්වභාවය පිළිබඳ අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ උපතින් කිසිවෙකු වසලයකු නොවන බවත්, හැසිරීම් ස්වභාවය අනුව වසලයකු වන බවත් ය. වසල සූත්‍රයෙහි ගෙන හැර දක්වා ඇති මෙ කරුණුවලට ද අවධානය යොමු කළ යුතු ය. එවිට වඩාත් යහපත් ගිහි ජීවිතයකට ඇවැසි පූර්ණ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.

ත්‍රිපිටකගත සූත්‍ර දේශනාවලින් මෙන්ම ජාතක කතා වැනි අපගේ ධර්ම සාහිත්‍ය ග්‍රන්ථවලින් ද ජීවිතයේ සාර්ථකත්වය සඳහා ඉතා මහඟු සදුපදේශයන් ලබාගත හැකි ය. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, සද්ධර්ම රත්නාවලිය, බුත්සරණ, අමාවතුර, ලෝවැඩ සඟරාව වැනි ග්‍රන්ථ අවධානයෙන් පරිශීලනය කරන ගිහියාට තම ජීවිතය සාදා ගැනීම සඳහා, හසුරුවා ගැනීම සඳහා අවශ්‍ය කරන ධාර්මික උපදේශයන් ලබාගත හැකි ය. මනෝ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක ව ඒවා ඉදිරිපත් කර තිබීම සුවිශේෂී වේ.

ගිහි බෞද්ධ ජනතාව මෙහිදී අවබෝධයට ගත යුතු වැදගත් කරුණක් තිබේ. එනම් තමන්ගේ ගෘහ ජීවිතයේ දියුණුව, සාර්ථකත්වය යනු ආර්ථික දියුණුවම පමණක් බව නොසිතීමය. ඒ දියුණුව ලැබීම පිණිස පමණක් ම නොවෙහෙසීම ය. ඊට සාපේක්ෂව අධ්‍යාත්මික දියුණුව ද පැවතිය යුතු බව හොඳින් සිතට ගත යුතු ය. ඒ සිතිවිල්ල ශ්‍රේෂ්ඨය, එය ක්‍රියාවට නඟන්නට ඇවැසි උතුම් මාර්ගය තථාගතයන් වහන්සේ අපට පෙන්වා දී ඇත.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]