UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපායේ ස්වභාවය

අපායේ ස්වභාවය

අපාය එකසිය තිස් හයක් අතුරෙන් විසිතුන්වන අපාය වන්නේ සත්තිස් ශූල නරකය යි. මෙහි ලැබෙන දුක සීමාවක් නැහැ. අපමණයි. දින දෙක තුනක් නොවෙයි දීර්ඝ කාලීනව දුක් විඳින්න සිදු වෙයි. නිල බලයෙන්, ධන බලයෙන්, පිරිවර බලයෙන් , මිනිස් ලොව වෙසෙන තුරා අනුන්ට හිරිහැර කළොත් මෙහි උපත ලබයි. තම බලවත්කම හේතුකරගෙන අනුන්ට නින්දා අපහාස, තර්ජන ගර්ජන, ජීවිත ඝාතන, දේපොළ විනාශ කිරීම ආදිය බලවත් පාප කර්ම වෙයි. එයින් විපාක ලබන්නේ අනුන් නොවෙයි තමන්ම යි.

යම පල්ලන් දිගු මුලු වලින් අනිමින් ගින්නෙන් පුළුස්සමින්, මුලු ආයුෂ කාලය ම මොහොතක් නෑර වද දෙනවා. මනු ලොවදී කළ නින්දා, අපහාස, තර්ජන ගර්ජනවලට විපාක වශයෙන් මුළුවලින් ම අනිනවා. එලෙස ම ගින්නට දමා පුළුස්සනවා. බලන්න , දුක කෙතරම් ද? ඒ නිසා සත්තිස් ශූල නරකයේ ඇති විපාකය ගැන සිතා කිසිවෙක් නිල බලයෙන්, ධන බලයෙන්, පිරිවර බලයෙන්, කුමන හෝ බල වේගයකින් ගිහි පැවිදි දෙපාර්ශ්වය ම අනුන්ට හිංසා පීඩා කිරීමෙන් වළකින්න. රජතුමාගේ පටන් දිළිඳු මිනිසා දක්වා හොඳින් ම මතක තබාගන්න කාටවත් හිරිහැර පීඩා නොකර ජීවත් වන්න. එලෙස ජීවත්වන විට තමන්ට මෙන්ම කරදර පීඩා අනුන්ට නොවේවා, මටත් නොවේවා අදහසින් ජීවත් වන්න පුළුවන්නම් බොහොම හොඳයි. අනුන්ට අවිහිංසාව දුන්නොත්, කායික බලය , ධන බලය , පිරිවර බලය දුන්නොත් , කෙනෙකුට යමක් දුන්නොත්, හිංසාවෙන් වැළකුණොත් ඒ සැමට ම සුගති ගමනක් ලැබෙනවා. සංසාර ගමන කුමන දෙයකින්වත් අඩුපාඩුවක් නැතිව ඥාන සම්පත් ලබන්න පුළුවන්.

ඊළඟ අපාය කද්දසීරු නරකය යි. එහිද, දිය යුතු උපරිම දඬුවම් ලබා දෙයි. ඒ අපාය නිරි සතුන්ගෙන් පිරී පවතී. මේ අපායට පත්වන්නේ මනු ලොව සිටිය දී සතුන් මරා මස් කන්නන් සහ සත්ත්වයන් ඝාතනය කරන්න උදවු උපකාර කරන්නන් ය. මොවුන් මේ නරකයට වැටී අපමණ දුක් විඳියි. අහිංසක සතුන් මරාගෙන කනවා. අහිංසක සතුන් මරා මස් විකුණනවා. බිත්තර තැම්බීමත් සත්ත්ව ඝාතනයක්. එලෙසම සත්ත්ව ඝාතනයට උදවු උපකාර කිරීමක්. හිසේ වසා සිටින උකුණෙක්වත් මරා දමන්න එපා. මදුරුවෙක්වත් මරන්න එපා. කුඩා සතෙක්වත් නොමරා අවිහිංසාවෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යනුවෙන් සිතන්න. දරුණු පව්කළ මිනිසුන් අපායට වැටී ලැබෙන විපාක බලන්න. කඩු වැනි දිගු හොටයක් ඇති සතුන් මේ නිරි සතාගේ මස් කැබලි සහ ඇට කැබලි කඩාගෙන ඇණ ඇණා කොට කොටා ම වටකරගෙන කනවා. වේදනාවට පත් මේ නිරි සතුන්ගේ කෑ කෝ ගැසීම සීමාවක් නැහැ. කෙතරම් කෑ ගැසුවත් නවත්වන්නේ නැහැ. එසේනම්, සත්ත්ව ඝාතනයේ දරුණු විපාක කෙතරම් දැ’යි බලන්න. ඒ නිසා කවර දවසකවත් සත්ත්ව ඝාතනයක් නොකරමි’යි අධිෂ්ඨානයෙන් ම සිටින්න. එවිට සුගතියේ ම වාසය කළ හැකි යි.

ධර්මයේ සඳහන් සේ එක්තරා තැනැත්තෙක් සත්ත්ව ඝාතනයෙන් ජීවත් වෙලා අනුන්ටත් මස් දී , මස් විකුණා ජීවත් ව කෑ ගසා මැරී අපාගත වුණා. අපායේ මේ ලෙසම හොටයක් ඇති සතුන් වටකරගෙන නිරි සත්ත්වයා කොට කොටා කා දැමුවා. වේදනාවට පත්ව නිරි සතුන් කෑ ගසනවා. විලාප දෙනවා. නවත්වන්නේ ම නැහැ. නිරි සතුන්ගේ කා දැමූ මස් පාපයේ බලයට නැවත වැඩෙනවා. නැවත ඒ මස් සතුන් වටකරගෙන ම කා දමනවා. මෙලෙස විඳින අපා දුක සීමාවක් නැහැ. ඒ නිසා කිසිම කෙනෙක් මෙවැනි පව් නොකර සත්ත්ව ඝාතනයෙන් වළකින්න.

නිච්චවී නරකයට වැටෙන්නේ සතුන් මරාගෙන ආහාර රස කරමින් කන පුද්ගලයා යි. කුඩා සතාගේ සිට ම මරාගෙන බතුත් සමඟ රස කරමින් කා දමයි. එවැනි තැනැත්තන් සිරුරේ සමක් නැතිව රක්ත වර්ණයෙන් අපායේ උපත ලබයි. ඒ නිසා සත්ත්ව ඝාතනයෙන් මුලුමනින් ම වළකින්න. ඒ නිසා කාටවත් සත්ත්ව ඝාතනයට උපදෙස් දීමෙන් වළකින්න. මස් මාංසයන්ගෙන් තුරන් වෙන්න පුළුවන්නම්, ගොඩක් වටිනවා.

විසිහයවන නරකය සීත නරකය යි. මනු ලොව සිටියදී කිසිවෙකුට කිසිවක් දුන්නේ නැහැ. තණ්හාවෙන්, ලෝභයෙන්, මසුරුකමින් , කාමච්ඡන්දයෙන් , බලවත් ආශාවෙන් ජීවත් වුණා. කෑම කද්දී කෙනෙකුට දෙන්න වෙයි යනුවෙන් පසෙක සිට වාඩිවී කනවා. ඒ තරම් මසුරු සහගත තණ්හා මිශ්‍රිත ජීවිත තියෙනවා. එසේනම්, කෙනෙකුට යමක් නොදීම නිසා තුනුරුවන්ට, මවුපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට , සිල්වතුන්ට, යාචකාදීන්ට යමක් නොදීම නිසා සීත නරකයට වැටෙයි.

උඩුකුරුව හිස යටට වැටී දුක් විඳින්නේ තණ්හාවෙන් ජීවත් වන නිසයි. හොඳට ම මතක තබා ගන්න. තනියෙන් බුක්ති විඳින්න එපා. මවට පියාට යමක් ලබා දෙන්න. ඥාතීන්ට දෙන්න, යාචකාදීන්ට සිල්වතුන්ට තුණුරුවන්ට යමක් පූජා කරන්න. එකවර බොහෝ දෙන්න අපහසු නම්, යාචකයෙකුට, සතෙකුට කුමන හෝ යමක් දී ටික ටික ‘දීම’ හුරු පුරුදු කර දාන පාරමිතාව ප්‍රගුණ කරන්න. තුණුරුවන් උදෙසා යමක් පූජා කිරීම විශාලත ම ආනිශංසය වෙයි. එවිට සුගතියේ ම කුමන දෙයකවත් අඩුවක් නැතිව ජීවත් විය හැකි යි. සතුටෙන් නිවන් පතා කරන පින්කම් බොහොම ප්‍රභල වෙයි.

විසිහත් වන අපාය වන්නේ ලෝකාන්තරික නරකය යි. ලෝකයන් අතර ඇති නරකය එහි අර්ථය යි. එය බොහොම දරුණු අපායකි. ලෝකයන් අතර පිහිටි ලෝකාන්තරික නරකය තද අන්ධකාරයෙන් යුක්ත යි. පුදුම විදිහේ දුක් සම්භාරයෙන් යුක්ත මෙහි තද සීතලෙන් යුක්ත යි. මෙහි නිරි සතුන් ඔවු නොවුන් ම පහර දෙයි. මේ පහර කෑම් නවතා දමන්න කිසිවකු නැහැ.

එහි අපාගත වන්නේ තුණුරුවන් ගැන පවසා දිවුරපු අය යි. එසේනම්, එලෙස දිවුරීම බොහොම භයානක යි. මවුපියන් , බුදුන් මුල්කර ගෙන කිසිදා දිවුරා ප්‍රකාශ කරන්න එපා. තුණුරුවන් යනු ලොවේ උතුම් ම වස්තුව යි. ඒ උතුමන් ඇපයට තබා කිසිවකු දිවුරන්න එපා. මවුපිය, ගුරුවරු සාක්ෂියට තබන්න එපා. තමා සත්‍යවාදී කෙනෙක් ලෙස දිවුරා ප්‍රකාශ කළ හැකි යි. සතුන් මරා නැහැ, සොරකම්කර නැහැ. එලෙස තමන්ගේ සත්‍යවාදී බව ඉදිරියට ගෙන එන්න. මෙලෙස සත්‍යවාදී දේ දිවුරා ප්‍රකාශ කිරීම හොඳයි.

මහ බෝසත්වරු ද මගේ මේ දාන පාරමිතාවේ බලයෙන් මාර සේනා පලවා හැරේවා යනුවෙන් සත්‍යවාදී වූවා. එහෙම නොමැතිව අන්‍යයන් සාක්ෂියට තබා දිවුරා ප්‍රකාශ කරන්න එපා. එවැනි අයට සසරේ අනන්ත දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ අනුව කල්පනා කර තම තමන් සිල්වත්, ගුණවත් බවෙන් කටයුතු කළ යුතු යි. බොරු කීම, නපුරු වචන කීම, හිස් වචන කීම, කේළාම් කීම වැනි වදනින් වන පව් ඉවතට දමන්න. එවිට බොරුවට දිවුරා ප්‍රකාශ කිරීම් අවශ්‍ය වන්නේ නැහැ.

විසි අටවන නරකය තිරකර නරකය යි. මෙහි උපත ලබන්නේ කේළාම් කියන අය යි. කෙනෙකුගේ හිතවත්කම්, පැහැදීම් කේළාම් කියා විනාශ කරන පාපකාරීන් මෙහි උපත ලබ යි. ඒ නිසා මෙවැනි පාපයන්ගෙන් නිදහස් වන්න. මෙවැනි පාපයන්ගෙන් ලොවක් විනාශ කළ හැකි යි. හිතවත් අය එවැනි හිතවතෙකුගෙන් බැහැර වුණහම කෙතරම් භයානක දැ’යි බලන්න?

බුද්ධ ශාසනයේ ද ස්වාමීන් වහන්සේ දෙනමක් වැඩ සිටියා. එක් අයෙක් මහ රහතන් වහන්සේ නමක්. ඒ උතුමන් වහන්සේට හැමෝම සළකනවා. ඒ නිසා අනෙක් ස්වාමීන් වහන්සේ කේළාම් පවසමින් බොහොම දරුණු පව් කළා. මේ තැනැත්තා මෙලෙස පව් කරනා නිසා රහතන් වහන්සේ නොකියාම එතනින් පිට වුණා. තවත් දෙනමක් බොහොම සමඟි සම්පන්නව වාසය කළා. තව ආගන්තුක භික්ෂූන් වහන්සේ නමක් කේළාම් කියා ඔවුනොවුන් භේද බින්න කළා. ඒ නිසා ඒ දෙනම දෙපසට විසිරී ගියා. පසුකාලෙක ඒ දෙනම නැවත සමඟි වුණා. ඒ අය කියා සිටියා මේ භික්ෂුව මට පෙර දිනෙක මෙලෙස කේළාම් පැවැසුවා යනුවෙන්. ආගන්තුක භික්ෂුව කේළාම් කියා පව් සිදු කර ගත්තා. ඒ නිසා නරකාදියට වැටී දුක් වින්ඳා.

මේ ගැන දැනුම්වත්ව තිරකර නරකයෙන් අත් මිඳීම සඳහා කේළාම් කීමෙන් වළකින්න. මේ නරකයේ උපන්නාම තද දඬුවම් පැමිණෙයි. වඳ වේදනා වැඩියි. ගෙයක් දොරක්, ගමක්, රටක් විනාශයට පත් කරන්න ප්‍රභල කේළමෙහි විපාක වශයෙන් නරකාදියෙහි දෙතිස් වධයෙන් දැඩි දඬුවම් විඳියි. මේ නිසා කවුරුත් කට පරිස්සම් කරගත යුතු යි. පෙර සඳහන් කළා සේ ම වදනින් සිදු කරන පාපයෙන් වැළකී ශීලයේ පිහිටා කටයුතු කරන්න.

එවිට ප්‍රේත නරකාදියට වැටෙන්නේ නැහැ. නිවන් දක්නා ජාති දක්වා ම සුගතියක වාසය කළ හැකි යි. චාතුර්මහා රාජිකයේ පටන් වසවර්ති දිව්‍ය ලෝකයේ දක්වා ඉපිදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සම්පත් අත් විඳින්න භාග්‍යය ලැබේ.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]