UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු ගුණමහිම : ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 23

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක

පස්මරුන් දිනා සත්‍ය අවබෝධ කරගත් වීර්යයන් වහන්ස,උතුමන් වහන්ස, මේ ලෝකය දෙස බලන්න. මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. අනුකම්පාකොට ධර්මය දේශනා කරන සේක්වා කියා ආරාධනාව කළා. තථාගතයන් වහන්සේ ඒ ආරාධනාව පිළි අරගෙන පී‍්‍රති වාක්‍යයකින් සහම්පති බ්‍රාහ්මරාජයාට දේශනා කරනවා.

‘අපාරුතා තෙසං අමතස්ස ද්වාරා
යෙ සොචවන්නො පමුච්චස්සු සද්ධං
විහිංස සඤ්ඤි පගුණං න භාසසිං
ධම්මං පණීතං මනුසේසු බ්‍රහ්මෙ’තී

බ්‍රහ්මයණි, මම අවබෝධ කරගත් ධර්මය මේ ඇත්තන්ට අවබෝධ කරගන්නට බැරි වෙයි කියලයි මට හිතුනේ. නිවන් දකින්ට කැමැති ඇත්තෝ ශ්‍රද්ධාව ඉදිරිපත් කරගෙන දැන් සූදානම් වෙන්න. අමා බෙරය මම දැන් නාද කරනවා. නිවන් දොරටුව විවෘත කරනවා කියා. බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දුන්නා.ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දිවැසින් බලනවා තමන් අවබෝධ කරගත් ධර්මය මුලින් ම අවබෝධ කරවන්නට ඕනෑ කාටද කියා.

ආලාරකාළාම කියන ගුරුවරයා. මෙනෙහි කරන කොට දින හතකට කලින් කළුරිය කරලා. ඊට පස්සෙ බලනවා උද්දකරාමපුත්ත අනේ කලින් දවසේ රාත්‍රියේ මිය පරලොව ගිහින්, පස්සේ හිතනවා, මා දුෂ්කරක්‍රියා කරද්දී, පධන් වීර්යය වඩන, වේලාවේ උවටැන් කළ පස් දෙනෙක් ඉන්නවා. ඒ කවුරුත් නෙමෙයි පස්වග මහණුන්.පින්වතුනි ඔතන සම්බන්ධයක් තියනවා ඔය පස්වග මහණුන්ට ශාසනයේ මුලින්ම බණ අහලා නිවන් දකින්න අතීත සම්බන්ධයක් තියෙනවා. අතීතයේ අපේ බෝසතාණන් වහන්සේ මහා ජව සම්පන්න රජෙක් ව උපන්නා. ඒ කාලයේ ඔය පස්දෙනා යක්ෂයෝ පස්දෙනෙක් වෙලයි හිටියේ. මේ ඇත්තෝ දවසක් රජතුමා ළඟට ආවා කුසගින්න නිවාගන්න. කුසගින්නට මේ යක්ෂයන් කන්නේ, බොන්නේ මොනවා ද? මාංශ හා රුධිරය. ඒ වෙලාවේ රජතුමා හිතනවා මේ, මට හොඳ පාරමිතාවක් දාන උප පාරමිතාවක් ජීවිත පරිත්‍යාග පරමත්ථ පාරමිතාවක් කියලා. ඊට පස්සේ මේ යක්ෂයන්ට අඬගහනවා. අඬගහලා කියනවා හොඳයි. ‘මම නුඹලාට මගේ ලේ දන් දෙනවා හැබැයි පොරොන්දුවක් වෙන්න ඕන. මොකක්ද? ඔය ඇත්තෝ ඔය යක්ෂ ආත්මයෙන් ඉක්මනින් අතමිදෙන්න ඕන. අත මිදිලා යම් දවසක මම බුදු වෙනවා ද, එදාට මගේ බණ අසන මුල්ම ශ්‍රාවක පිරිස වෙන්න ඕන” කියලා පොරොන්දු වෙන්න කියලා. පොරොන්දු වෙනවා. පොරොන්දු වුණාට පස්සේ බෝසතාණන් වහන්සේගේ සිරුරේ බල නහර පහක් කපලා මේ ඇත්තන්ට ලේ උරා බොන්න දෙනවා. එදා කළ ප්‍රාර්ථනාව තමයි ඔය පස් දෙනා පිටුපස්සේ ආවේ පාරමී පුරාගෙන. ඉතින් බෝසතාණන් වහන්සේ බැලුවා මේ පස් නම ඉන්නෙ කොහෙද කියලා. බරණැස් නුවර. තථාගතයන් වහන්සේ ඉන්නේ බුද්ධගයාවේ. බුදුරජාණන් වහන්සේ දැන් බරණැස්නුවරට පාගමනින් වඩිනවා. ඒ අතර තුරදී මුණගැහෙනවා. උපක කියන ආජීවකයෙක්. බුදුරජාණන් වහන්සේගේ පැවැත්ම. සංසිඳීම දැකලා අහනවා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? කියලා. ඒ වේලාවේ දී තථාගතයන් වහන්සේ බොහෝම ලස්සන පිළිතුරක් දෙනවා. මේ පාර මැද.

‘මම මේ සියල්ලක්ම අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ වාගේම ප්‍රහාණය කළ යුතු සියල්ලක් ප්‍රහාණය කළ කෙනෙක්. ඒ වාගේම රාගාදී කෙලෙසුන්ගෙන් නොඇලී ඉන්න කෙනෙක්. මම වගේ කෙනෙක් කා උදෙසා සිටින්නේද?

මට ආචාර්යවරයෙක් නෑ. මට ගුරුවරයෙක් නෑ. ‘සදිසෝ මේ න විජ්ජති’ මා වැනි මහණ කෙනෙකුත් මේ ලෝකයේ නෑ. ‘සදේවකස්මිං ලෝකස්මිං නත්ථිමේ පටි පුග්ගලෝ’ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලොවෙහි මම හා සමාන පුද්ගලයෙක් නෑ. උපක ආජීවක හිතනවා ‘ආ එහෙමත් වෙන්ට ඇති’ කියලා. පස්සේ බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මෙතුමාට.

බ්‍රාහ්මණය, මම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කර ගත යුතු සියල්ලක් අවබෝධ කළ කෙනෙක්. ඒවාගේ ම භාවිත කළ යුතු සියල්ලක් මනාව භාවිත කරපු කෙනෙක්. ප්‍රහාණය කර ගත යුතු සියල්ල මනාව ප්‍රහාණය කරගත් කෙනෙක් ඒ නිසා මම ‘සම්මා සම්බුද්ධ කියන ප්‍රතිඥාව දෙනවා. එහෙනම් බුදුපියාණන් වහන්සේ, තමන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන ප්‍රතිඥාව මුලින්ම කළේ උපකට, දැන් බලමු මේ සම්මා සම්බුද්ධ කියන ගුණය තුළ තිබෙන අර්ථයත් පිළිබඳව ‘සම්මා’ කියන්නේ මොකක්ද? යහපත්, සුන්දර, සෝබන විසිතුරු කියන අදහස සම්බුද්ධ කියලා කියන්නේ, සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ කවුද?

පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු සාමං සච්චානි අභිසම්බුජ්ඣති

තත්ථච සබ්බඤ්ඤුතං පාපුණාති බලෙසුව වසීභාවං අයං වුච්චති පුග්ගලෝ සම්මා සම්බුද්ධෝ’

මේ මාතෘකාව එන්නේ පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයේ අභිධර්ම පිටකයේ, පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයේ දී සම්මා සම්බුද්ධ කියන වචනය තෝරනවා. බුදුපියාණන් වහන්සේ ‘සාමං සච්චානි අභිසම්බුජ්ජති’ එතකොට තමන් වහන්සේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නවා. ‘පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු’ මීට කලින් නො ඇසු නොදුටු කිසිම කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නොමැතිව තමන් වහන්සේ ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ.

සියලුම සංඛත අසංඛත කියන ධර්මයන් මනාව දන්නා නිසා සර්වඥ කියා කියනවා. සියල්ල දන්නා බැවින් සර්වඥ තථාගතයන් වහන්සේ, සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි? කිසිම කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැතුව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්ත නිසයි. සම්මා සම්බුද්ධ කියන එකේ අදහස මෙයයි. එතකොට දැන් එහෙනම් මෙතන කියන්නේ මොනවාද?

අභිඤ්ඤෙය්‍යෙ ධම්මේ අභිඤ්ඤාතො සම්මා සම්බුද්ධො”

විශිෂ්ඨ ඤාණයෙන් දතයුතු සියල්ල විශිෂ්ඨතා ඥාණයෙන් අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධයි.

‘පරිඤ්ඤෙය්‍යෙ ධම්මේ පරිඤ්ඤාතෝ සම්මා සම්බුද්ධෝ”

පිළිසිඳ දත යුතු වු දුක්ඛ සත්‍ය මනාව පිළිසිඳ අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධයි.

‘පහා තබ්බේ ධම්මේ පහාතබ්බතොති සම්මා සම්බුද්ධො’

ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍ය ප්‍රහාණය කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධයි.

‘සච්ඡිකාතබ්බේ ධම්මේ සච්ඡිකාතබ්බතෝති සම්මා සම්බුද්ධෝ”

සාක්ෂාත් කළ යුතු නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ බැවින් සම්මා සම්බුද්ධයි.

‘භාවේතබ්බේ ධම්මේ භාවේතබ්බතොති සම්මා සම්බුද්ධෝ”

භාවිත කළ යුතු මාර්ග සත්‍ය භාවිත කළ බැවින් සම්මා සම්බුද්ධයි.

සම්මා සම්බුද්ධ කියන කොට. පරම චතුරාර්ය සත්‍ය විස්තර කරගන්න ඕන. විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. තව කාරණාවක් තියෙනවා ‘සංඛාර විකාර ලක්ඛණ පඤ්ඤාත්ති නිබ්බාණ” කියන පංචවිධ න්‍යෙය මණ්ඩලය පර උපදේශකයින් තොරව අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධයි. දැන් අපි කෙටියෙන් වචන ඉගෙන ගත්තා දැන් අපි විස්තර කරමු. විශිෂ්ඨතා ඥානයෙන් අවබෝධ කරගත්තු සත්‍ය ධර්මයකි. එතකොට උන්වහන්සේ විශිෂ්ඨතා ඥානයෙන් අවබෝධ කරගත යුතු දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්තා.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]