UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

දුවේ පුතේ,

ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා, සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නිර්මාණ එවිය හැකි ය.


එන්න සදහම් අරණට

මිනිසත් බවේ බෝසත් ගුණ දම් පුරණ
සිදුහත් උපන් දා සිට ගත කළ තරුණ
පැහැපත් දිවිය ලෝ සතහට දුන් සරණ
අපටත් නිවන දිස්වන ‘සදහම් අරණ’

ලෝවැසි ළමා පරපුර වෙත තිළිණ කළ
බුදුසරණේ පිටු අතුරින් එකලු කළ
‘සදහම් අරණ’ අප වෙත දෙන දම් සිසිල
ලැබ ගන්නට එක්වනු මැන නො පැකිලව


පවිටු මිතුරා හඳුනා ගනිමු

මිතුරන් කුඩා අවධියේ සිට අපට හමුවන පිරිසකි. ඔවුන්ගේ ඇසුර අපගේ දිවි ගමන වෙනස් කරයි. ඒ මිතුරන්ගේ ආකල්ප හා සිතුවිලි මගිනි. සදහම් අරණ ළමා සමාජයේ සියලුදෙනාට මිතුරෙකුගේ ආශ්‍රය කෙ බඳු විය යුත්තේ ද යන්න පිළිබඳ පෙන්වා දීමට අදහස් කළෙමි.

පොදුවේ මිතුරන් අදහස් දෙකකින් යුක්ත ය. ඒ හොඳ හා නරක වශයෙනි. නැතහොත් කල්‍යාණ මිත්‍ර හා පාප මිත්‍ර යනුවෙනි. පාප මිත්‍රයා අයහපත් සිතුවිලි හා වැරැදි ආකල්පයන් ගෙන් යුතු කිසිදු ශිෂ්ඨ සම්පන්න බවක් නො මැති පුද්ගලයා යි. එබඳු මිතුරෙකු යමෙක් ඇසුරු කරන්නේ ද ඔහු එකී දුර්ගුණවත් පවිටු මිතුරු සේවනය නිසා මෙලොව සහ පරලොව දුක් විඳින්නෙකු බවට පත් වේ. ඊට කදිම නිදසුනක් ලෙස පීතෘ ඝාතකයෙකු වූ අජාසත් රජුගේ කථා පුවත පෙන්වා දිය හැක. අජාසත් රජ කුමරු නිතර ඇසුරු කරන ලද්දේ දෙව්දත් හිමියන් ය. උන්වහන්සේ වෛරය,ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි ආකල්පයන්ගෙන් යුතු අයෙකි. දෙව්දත් හිමියන්ගේ අභිප්‍රාය වූයේ බුදුන් වහන්සේට හිමිතැන තමන් වෙත ගැනීමේ පවිටු අදහස ය. සිය පවිටු අරමුණ සාධනය කර ගනු පිණිස, අජාසත් රජු කූඨ උපක්‍රම මගින් තමන් වෙත ළං කර ගන්නට විය. එලෙස දෙව්දත් හිමිගේ ඇසුර ලබන අජාසත් කුමරු අවසානයේ ආනන්තරීය පාප කර්මයක් වූ පීතෘ ඝාතනය ද සිදු කරමින් මෙලොවත් පරලොවත් දුකට පත් වූවෙකු විය. එලෙස බලවත් අකුසලයක් සිදු කර ගැනීමට හේතුව වූයේ දෙව්දත් තෙරුන්ගේ ආශ්‍රය යි. එනිසා එබඳු අයහපත් ඇසුරක් නො ලැබීමට අපද ප්‍රාර්ථනා කළ යුතු සේ ම, එබඳු ගති ඇති චරිත කවුරුන්දැයි දැන හැඳින කටයුතු කළ යුතු ද වෙයි.


සැරියුත් මහ රහතන් වහන්සේ

එක් දිනක් සැරියුත් මහ තෙරුන් වහන්සේ හැඳ සිටි අඳනයෙහි කොනක් පහළට එල්ලෙමින් තිබිණ. සත් හැවිරිදි සාමණේර නමක් එය දැක “ස්වාමිනි ඔබ වහන්සේගේ අඳනයේ කොනක් එල්ලෙන්නේ ය” කීය. එකල්හි සැරියුත් මහ තෙරුන් වහන්සේ නිරහංකාරව එය පිළිගෙන අඳනය නිසි ලෙස සකසා ගත් සේක.

සත් හැවිරිදි සාමණේර නමක් වුව ද, මාගේ අඩුපාඩු පවසන්නේ නම් මම එය හිසමුදුනෙන් පිළිගනිමියි උන්වහන්සේ වදාළ සේක.

කුමන තත්ත්වයක සිටින කෙනෙකුගෙන් වුවද යහපත් අවවාදයක් අනුශාසනයක් ලැබේ නම් එය ගෞරවයෙන් පිළිගැනීම උතුමන්ගේ ගුණයෙකි. කොනක් එල්ලෙන පරිදි අඳනය ඇඳ සිටීම පරිමණ්ඩකසික්ඛා පදයට විරුද්ධය. එබැවින් එය වරදකි. එනිසා සාමණේර නමක් විසින් පෙන්වා දුන් වරද සැරියුත් මහ තෙරුන් වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම අප සියලුම දෙනා ආදර්ශයට ගත යුතු ය.


සදහම් අරණේ කිරණ

සදහම් අරණේ සෙවනේ
හිඳිමින් ගුණ දහමින් පෝෂිත
වූවා අප නිති සඳ
ඒ කුසලෙන් දිනෙන් දින ම
බැබළේවා සදහම් අරණ

කුසලෙන් පිරි දූ දරු කැළ වෙත
නිතිමග සදන
බුදු දහමේ අරුමය නිතිපහදන
ලෝ සතුනට මොක් මඟ නිති සලසවන
සදහම් අරණ වේ අපගේ මිණි පහන


පාසල් මෑණියනි

මිණිකැට ලෙසින් දිදුලයි මිහිකතට නිසී
මඳනල ලෙසට සිසිලස දෙයි පවනෙ බැඳී
බොදු කත් දියණි ලෙස ලකඹර නමෙහි රැඳී
ඔබෙ ගුණ ගයන්නට කවියට වචන මදී

අහසේ නැගෙන තරුවක් මෙන් දිදුලන්න
පොළොවේ තිබෙන මිණිකැට මෙන් බබළන්න
ඉතිහාසයට රන් අකුරින් ලියවෙන්න
පතනෙමි දිගාසිරි දිගුකල් වැජඹෙන්න


බක් මාසය

බක් මාසය අප කාටත් පී‍්‍රතිය සතුට ගෙන දෙන මාසයකි. ගස්වැල්වල මල්ඵල හටගන්නා සරු සාරවත් මාසයක් ලෙස ද සම්මතව ඇත. සියොතුන්ගේ කන්කළු නාදයෙන්, ප්‍රබෝධමත් සිසිල් මද පවනින් හා විසිතුරු පියුම් සවුඳින් පරිවාශිත වූ මනහර පියකරු පියුමෙන් ගැවසීගත් සමුපේත වු, බක් මාසය සත් සිත් සනසයි. ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබා දුන් කුළුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන අසිරිමත් මාසයකි. මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් සවනක් රැසින් මුළු දිවයිනම ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දනා නිවී සැනහී ගියේත් බක් මාසයේ ය.


අපේ සීයා

මගේ සීයා නිතරම බණ කතා කියා දෙමින් අප යහමග යැවීමට කටයුතු කළේ ය. ඔහු අපට බොහෝ සේ ආදරය කළේ ය. පවු කළ විට අපායේ යන ආකාරයත්, පින් කළ විට සුගති සැප ලබන ආකාරයත් කියා දුන්නේ ය. සීයා වැඩිපුරම ගැවසීමට ආශා කරන්නේ ගමේ විහාරස්ථානයේ යි. පන්සලේ සියලු වැඩ කටයුතුවල මුල්තැන ගෙන කටයුතු කරන අපගේ සීයා දැන් පැවිදි වී සිටින ස්වාමින් වහන්සේ නමකි. සීයාට අප දැන් කතා කරන්නේ අපේ හාමුදුරුවනේ කියා යි. උන්වහන්සේ අප සැම දෙනාටම හොඳ දරුවන් වන ආකාරය නිතරම කියා දෙති. අපේ හාමුදුරුවන්ට බුදුසරණයි.


ආදරණීය අම්මා

ආදර මගේ පෙම්බර සුදු අම්මේ
අප දුක සැප නිතර සොයමින් සිටි අම්මේ
රස අහරින් අප පෝෂණ කළ අම්මේ
නිවනේ දොරටු විවරයි මගෙ සුදු අම්මේ

මව් ගුණ ඔබේ මට කීමට වචන නැත
බුදු හිමි පවා පවසයි මව්ගුණ නියත
අනියත බවයි අප හැම ජීවිත පෙවත
පැහැදුණ මැනවි තිසරණ ගුණයට ම සිත


පැන විසඳුම්

පහත සඳහන් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුරු කෙටියෙන් පැහැදිලිව ලියා බුදුසරණ වෙත යොමු කරන්න. නිවැරැදිව එවන පිළිතුරු තෝරා ජයග්‍රාහක දරුවන්ට වටිනා ත්‍යාග පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය ද නිවැරදිව ලියා එවන්න. ජයග්‍රාහකයන්ගේ නම් අමාවක පෝදා පත්‍රයෙහි පළ වේ.

01). තෙරුවන් සරණ ගිය පළමු උපාසක සහ උපාසිකාවෝ කවුද?

02). බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අත්හළ යුතු යැයි වදාළ අන්ත දෙක නම් කරන්න?

03). බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පිළිබඳව කෙටි සටහනක් කරන්න.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]