UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පලීගල නාරද නා හිමි

සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් පලීගල නාරද නා හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය මෙම 30 දා පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පලීගල නාරද නා හිමි

ඇහැලියගොඩ තොරණකඩ ශ්‍රී පුෂ්පාරාමය වර්තමානයේ ඉතාම දියුණු මට්ටමක පවතින්නේ පලීගල නාරද නායක ස්වාමීන් වහන්සේගේ මහත්වූ කැපවීම නිසාම ය. පළාතේ ඇති අංග සම්පූර්ණ විහාරස්ථාන අතරින් ශ්‍රී පුෂ්පාරාමයට හිමි වන්නේ ප්‍රමුඛ තැනකි.

පලීගල නාහිමියන් උපත ලබා ඇත්තේ 1961 මැයි මස 21 වන දිනය. බ්‍රාහ්මණගේ ජේමිස් සිංඤෝ හා වඩනම්බේ ආරච්චිලාගේ ජේන් නෝනා යන දම්පති යුවළ උන්වහන්සේගේ දයාබර මවුපියෝ වූහ. ප්‍රථමයෙන් ම සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් පලීගල රජමහා විහාරයේදී පැවිදි වීමට දින පවා යොදාගෙන තිබිය දී සිය පියාගේ සොයුරා වූ අමරපුර එක්නැලිගොඩ පාර්ශ්වයේ ඇහැලියගොඩ තොරණකඩ පුෂ්පාරාමාධිපති බුළුගහපිටියේ ධම්මාලංකාර නා හිමිගේ බලවත් ඉල්ලීම අනුව කලින් යොදාගත් දිනයට තොරණකඩ විහාරයේ පැවිදිවීමට නාරද හිමියන්ට සිදුවිය. ඒ අනුව පැවිද්ද සිදුවූයේ 1975 මාර්තු 28 දාය.

1981 දී උපසම්පදා වූ නාරද හිමියෝ අවිස්සාවේල්ල සුධර්මාරාම පිරිවෙනින් හා දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙනින් අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලදහ. පසුව පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා ගෙන ඇත. ජපන් හා රුසියන් භාෂා, උගතෙකු ද වන නාරද හිමියෝ සිය ගුරු සේවාව පලීගල විද්‍යාලයෙන් ඇරඹූහ. නාහිමියන්ගේ ගුරු සේවයේ දීප්තිමත්ම කාලය උදාවන්නේ ඇහැලියගොඩ ජාතික පාසලෙනි. වසර 22 ක් පමණ එම විදුහලේ සේවය කරමින් පාසල අධ්‍යාපනික භෞතික දෙඅංශයෙන්ම ඉදිරියට ගෙන ඒමට නාරද නාහිමියෝ විශාල දායකත්වයක් දැරූහ.

2004 වසරේ සිට මේ දක්වාම ඇහැලියගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරය දරමින් ප්‍රදේශයේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නැංවීම සඳහා සුවිශේෂී කැපවීමක් කරන නාරද නාහිමියෝ ඇහැලියගොඩ වත්මන් බෞද්ධ ප්‍රබෝධයේ නියමුවාණෝ ය.

මුල් යුගයේදී ඉතාම දුෂ්කර ගමන් මගක පැමිණි නාරද නාහිමියෝ සිය ජීවන අත්දැකීම් තුළින් ඒ සියලු අභියෝග ජය ගත් ආකාරය අනාගත භික්ෂු පරපුරට ආදර්ශයකි. සියලු අභියෝග ජය ගැනීමට උන්වහන්සේට පන්නරය ලැබී ඇත්තේ සිය ගුරු දේව කුරුවිට කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක බුළුගහපිටියේ ධම්මාලංකාර නාහිමියන්ගෙන් ලද ආභාෂය නිසාමය. නාරද, නාහිමියෝ කාරුණික, පරිත්‍යාගීලි, හිමිනමකි. එය වචනයට සීමා වූවක් නොව ප්‍රායෝගික කාරණයකි. උන්වහන්සේගේ කාරුණිකත්වය මෙන්ම පරිත්‍යාගීලිත්වය වඩාත්ම උතුරා ගියේ 2017 වසරේ පන්සල ඉදිරිපිට ඇති ආරබ්බඩ කන්ද නාය ගිය අවස්ථාවේ දී ය.

එම කන්ද නාය යෑමෙන් අවතැන් වූ 500 කට ආසන්න පිරිසට එකම සරණ ලැබුණේ නාරද නාහිමිගෙනි. එම කන්ද නාය යෑමෙන් මිය ගිය තිදෙනෙකුගේ මළ සිරුරු තබාගැනීමට තැනක් නොතිබු විට නාරද නාහිමියෝ වහා ඉදිරිපත්ව ඒ වන විටත් විවෘත කර නොතිබූ විහාරස්ථ නව දෙමහල් සංඝාවාස මන්දිරයේ එම මළ සිරුර තබා ගැනීමට ඉඩ සලසා දුන්නේ උන්වහන්සේගේ බෝසත් ගුණය ප්‍රකට කරවමිනි. එම දෙමහල් මන්දිරය විවෘත කිරීමට සිදුවූයේ නාය යෑමෙන් මිය ගිය අයගේ මළ සිරුර තැන්පත් කිරීමෙනි.

එපමණකින් නොනැවතුණු උන්වහන්සේ කන්ද නාය යෑමෙන් අවතැන් වූ 500 කට ආසන්න පිරිසක් මාසයක් පමණ පන්සලේ නතර කරගෙන කිසිම අඩුපාඩුවක් වීමට ඉඩ නොතබා එම අසරණ වු පිරිසට පිහිටවූයේ කාරුණීක පියෙකු දරුවන් බලාගන්නා ආකාරයටයි.

අමරපුර එක්නැලිගොඩ පාර්ශ්වයේ 2000 වසරේ සිට ප්‍රධාන ලේඛකාධිකාරි තනතුර දරන පලීගල නාරද නාහිමියෝ ස්වකීය නිකායේ අභිවෘද්ධියට මහත් සේවාවක් සිදුකළ අතර අන්තර් නිකායික සබඳතා වර්ධනයටද වැඩි කාලයක් වෙන් කළහ. එසේම සියම් හා රාමඤ්ඤ නිකායන්ගේ ද නාරද නාහිමියන්ට ඇත්තේ ඉහළ පිළිගැනීමකි.

අන්‍යාගමික පූජකවරුන් සමඟ ද සුහද සබඳතා පවත්වාගෙන යන පලීගල නාරද නාහිමියන්ට එම පූජකවරුන්ගෙන් ලැබෙන්නේ නොමද සහයකි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය දරුණුව තිබු යුගයේ දී පැවැති සාම සාකච්ඡා වට කීපයක් සඳහා ආගමික නායකයන් නියෝජනය කිරීමට වරම් ලද පලීගල නාරද නාහිමියෝ ඒ යුගයේදි උතුරටද වැඩම කළේ සැබෑ සාමයක් උදා කිරීමේ කාර්යයකට දායකත්වය දීමටය.

පලීගල නාහිමියන්ගේ සුවිසල් ජාතික,ආගමික, සමාජයීය, සේවාව ගැන පැහැදුණු අමරපුර එක්නැලිගොඩ පාර්ශ්වයේ කුරුවිට සරණංකර මහනාහිමියන් ප්‍රධාන සංඝ සභාව සබරගමුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය උන්වහන්සේට පිරිනමා ඇත. ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය මෙම මාර්තු 30 වන සිකුරදා සවස 1.30 ට කොටුගොඩ ධම්මාවාස අමරපුර නිකායේ උත්තරීතර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තොරණකඩ විහාරයේදි පැවැත්වේ. නාහිමියන්ගේ දුෂ්කර දිවිපෙවත හෙළිකරමින් ධර්ම ශ්‍රී තිලකවර්ධන ලියූ “නාරදවත” කෘතිය ද මෙහිදී එළිදැක්වේ. අභිනව නාහිමිට දිගාසිරි ලැබේවා.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]