UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වසරක් සපිරෙන අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි

අපවත් වී වසරක් සපිරෙන අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි

“යමහා ධම්මං විජානෙය්‍ය සමමාසමබුද්ධ දෙසිතං
සකකචචං තං නමසෙසය්‍ය අගගිහුතතං’ව බ්‍රාහමණො” ති,

“සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශිත පර්යාප්ති ධර්මය යමෙක් (හොඳින්) දන්නේ නම්, ඒ ධර්මය යමෙක් කෙරෙන් (හොඳින්) දැන ගත්තේ වී නම් ගිනි දෙවියන් පුදන බමුණකු සේ ඒ ආචාර්යනට සකස් කොට ඔහු වඳින්නේ ය.

(ඛු.නි. 1 – ධම්මපදය – බ්‍රාහ්මණ වග්ගය – ගාථා අංක 10 – පි. 120)

සැරියුත් මහ තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ වංශිකයෙකි. ‘ගිරග්ගසමජ්ජ’ සැණකෙළිය බලා කළකිරුණු මේ උපතිස්ස නම් බ්‍රාහ්මණ තරුණයා පස්වග මහණුන්ගෙන් කෙනෙකු වූ අස්සජි මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පැමිණිදා සිට අස්සජි මහ රහතන් වහන්සේ වැඩ වසන දිශාවට ඇඳිලි බැඳ වැඳ හිස දමා හැමදා නිදන්නේ ගුරු ගෞරවය සළකා ය. භික්ෂූන් වහන්සේ මෙය දැක “ශාරිපුත්‍ර මිසදිටුවෙකි, අදටත් දිශා නමස්කාරය කරන්නේය යි” සලකා බුදුරජාණන් වහන්සේට මේ බව සැළකළහ. තථාගතයන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේගේ අරමුණු දන්නා මුත්, එය උන්වහන්සේගෙන් විමසා, ‘මහණෙනි, ශාරිපුත්‍ර දිශා නමස්කාරයක් නො කරන්නේ ය. අස්සජී තෙරුන්ගෙන් දහම් අසා සෝවාන් ඵලයට පැමිණි දා පටන් ඒ නම ගුරුවරයාට නමස්කාර කිරීමක් කරන්නේ යයි ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කළ සේක.

විසිවන සියවසේ දෙවන දශකයේ ඌව වෙල්ලස්සයෙහි ඉපිද විසිඑක්වන සියවසේ දෙවන දසකයේ අවසාන භාගය තෙක් අවුරුදු 102 පමණ ආයු විඳ මෙයට වසරකට පෙර ඉකුත් වර්ෂයේ අපේ‍්‍රල් 03 දින අපවත් වී වදාළ අප කථානායක සසුන් කෙත බබළුවාලු සංඝ ශෝභන, දෛවි භාෂා විශාරද, සංස්කෘත චක්‍රවර්ති නාමලාභී ජිනසාසන කීර්ති, ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පණ්ඩිත ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවිය තුදුස් වසරකට වැඩි කාලයක් තම පෞද්ගලිකත්වයෙන් ඒකාලෝක කළ අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සරාභිධාන මහා යතිවරයාණෝ ගුරු ගෞරවයෙන් හෙබි කතඤ්ඤු කතවේදී සංඝ පිතෘවරයෙක් බව අප පවසන්නේ ගුණානුස්මරණයක් වශයෙන් සලකා ය. වසර 20කට ආසන්න කාලයක් සමීප සත්පුරුෂ ඇසුරකට වාසනාව ලැබූ අප උන්වහන්සේගෙන් උගත් දෑ ප්‍රමාණ කළ නො හැකි ය. අපවත්වීම සිදු වූ දිනට පස් දිනකට පෙර ද අප ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ මූලාසනයේ වැඩ හිඳිමින් මතු වූ දහම් ගැටලුවලට තීරණාත්මක පිළිතුරු සපයන ලද්දේ දහම් අධ්‍යාපනයේ දී තම ගුරුදේවෝත්-ලතමයන් වහන්සේලා මෙ කරුණ අපට පැහැදිලි කළේ මේ අයුරින් යැයි තම පැවිදි ගුරුන් මහත් ගෞවරයෙන් සිහිපත් කරමින් ය. මෙපමණක් නොව ඕනෑම බණ පොතක් පෙරළා කරුණු දක්වා ආපසු එය වැසූ පසු හැමවිට ම බණ පොතට වඳින අයුරු දකින විට දැක් වූ බුදු වදනට සුදුසු ආර්ය බුද්ධ පුත්‍රයෙක් ම නොවන්නාහුදැ යි, අපිට සිතුණු වාර කොපමණදැ යි නො දනිමු.

මෙපමණක් නොව සංඝනායකත්වයක් දැරූවකු වශයෙන් උන්වහන්සේගේ භූමිකාව මැනවින් හඳුනාගෙන සාසනික ගැටලුවක් මතු වූ, හැම විටම තම පෞද්ගලික මතය පොදුමතය බවට පත් නොකොට පාර්ශ්ව 22කින් සමන්විත සමස්ත සංඝ සභාවේ මතය තම මතය සේ දැක්වීමට තරම් පොදුමතය කෙරෙහි ගෞරව කළ උත්තමයෙකි. එසේ ම සංඝරත්නයේ පොදු මත කවරේදැ’යි පාලකයන්ට හෝ රටට දැනගන්නට අවශ්‍ය වූ විටක කිසියම් ප්‍රසිද්ධ නිවේදනයක් හැමවිට නිකුත් කළේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ මත ප්‍රකාශ වීමෙන් පසුව හෝ ඒවාට අනුගතව ම ය. නැතහොත් තෛ‍්‍රනිකායේ මතයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ විටක වුව ද තමා වෙත අත්සන් ලබාගැනීමට යමෙක් පළමුව ආවොත් මල්වතු – අස්ගිරි දෙපාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ අත්සන් ලබාගෙන තමා වෙත පැමිණිය යුතු බවට අනුශාසනා කළ අවස්ථා රාශියක් අපි දැක ඇත්තෙමු. මේ අයුරින් මෙවන් ගුණානුස්මරණ අවස්ථාවක දී සිහිපත් කළ හැකි මනුෂ්‍ය ගුණ, ජ්‍යෙෂ්ඨයන්ට සැලකීමේ ගුණ ආදී අනතිමානී ගුණ බොහෝ ය.

මෙවන් ගුණවත් සිතිවිලි හා ක්‍රියාකාරී ප්‍රවේශයක් තිබූ බුද්ධ ශ්‍රාවකයකු වෙත තිබිය යුතු උතුම් ගුණ සම්භාරයක් ඇතිව වැඩ විසූ අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර උත්තරීතර මහානාහිමියෝ අපවත්ව වර්ෂ පූර්ණ ගුණ සමරු ප්‍රධාන පින්කම් මෙවර උන්වහන්සේ 12 වන වියේ දී පැවිද්ද ලැබූ වැලිමඩ ඌව පරණගම සපුගොල්ල තපෝධනාරාම මූල මහා විහාරයේ දී එහි විහාරාධිපති නාහිමි ශිෂ්‍ය ශාස්ත්‍රපති සපුගොල්ල මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති - ශ්‍රී ජිනරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය වේල්ලවෙල උපනන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ මෙහෙයවීමෙන් 2018 අප්‍රේල් 03 වන දින දහවල හැත්තෑපස් නමකට අධික සංඝරත්නය විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් පවත්වා පුණ්‍යානුමෝදනා කිරීමට කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා අප නාහිමියෝ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නුගේගොඩ, පාගොඩ විජයාරාමයේ විහාරාධිපති, දර්ශනපති කරගහ උල්පත සුගතානන්ද හිමි සහභාගි වන අතර උඩරට අමරපුර ශ්‍රී සාමගී‍්‍ර සංඝ සභාවේ මහානායක ත්‍රිපිටකවේදී අතිපූජ්‍ය ගිරාඹේ මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ - උඩරට අමරපුර නිකායේ මහානායක ශාසනවංශාලංකාර සද්ධර්මභාණක පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද සහභාගිවීම විශේෂත්වයකි.

මේ අතර තවත් ගුණානුස්මරණ පුණ්‍යානුමෝදනා පින්කමක් අප මහානාහිමිපාණන් වහන්සේ බොහෝ කලක් වැඩ විසූ පාගොඩ විද්‍යා විජය ආරාමයේ දී 2018 අප්‍රේල් 02 දින රාත්‍රී 7.00 සිට 8.00 දක්වා විහාරාධිපති හිමිගේ අනුශාසනා පරිදි එම විහාරස්ථ දායක සභාව හා පාගොඩ භාවනා මධ්‍යස්ථානයේ දායක පිරිස් එකතුව ධර්මදේශනාවක් ඇතුල් කෝට්ටේ කොටුබැම්ම පාරේ සුනේත්‍රාරාමාධිපති ශාස්ත්‍රපති ඇලිකේවල සීලානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එමෙන් ම ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පාරේ ‘සිළුමිණ සෑය” මංගලාරාමයේ දී ද මහානාහිමිගේ ශිෂ්‍ය භාවනා කම්මට්ඨානාචාරිය පූජ්‍ය මහමෙව්නාවේ මංගල හිමිගේ අනුශාසකත්වයෙන් හා ත්‍රිපිටක මණ්ඩලයේ සහභාගීත්වයෙන් සංඝගත දක්ෂිණාවක් 2018.04.03 දින පවත්වා පින් අනුමෝදන් කිරීමට කටයුතු සංවිධානය කර තිබේ. අප මහානාහිමිපාණන් හට තමන් වහන්සේ කළ පින් හා මේ සියලු පින්කම් ද හේතු කොට සසර ගමන කෙටි වී ඉක්මන් නිවන්සුව අත්වේවා යි අපි ප්‍රාර්ථනා කරමු. -

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]