UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රදුන්

ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රදුන්

බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ

සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලිනී පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ගං

ස්වර්ණමාලි මහා චෛත්‍යය ඉදිකර වන ලද පුණ්‍ය භූමිය මේ මහා භද්‍ර කල්පයෙහි පහළ වී වදාළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිවු බුදුරජාණන් වහන්සේලා විසින් ම සේවනය කරන ලද සමාපත්ති සුවයෙන් වැඩ සිටිමින් සිවු බුදුවරයන් වහන්සේලා විසින් ම පූජනීයත්වයට පත් කරන ලද පුණ්‍ය භූමියකි.

රුවන්වැලි මහා සෑය හඳුන්වන නම් ගණනාවක් ම භාවිත වේ. රුවන්වැලි මහා සෑය, හේමමාලී මහා සෑය, රත්නමාලී මහා සෑය, ස්වර්ණමාලී මහා සෑය නම් ඒ අතර වේ.

මේ මහා ස්තූපය ඉදිකරවීමට සූදානම් වූ මොහොතේ එම භූමිය තුළ රන් තෙළඹු ගසක් වූ අතර මහා සෑය ඉදිකිරීමට නම් එය ඉවත් කළ යුතු විය. එහෙත් එය විමානය කරගත් දිව්‍යාංගනාවක් වෘක්ෂ දේවිතාවියක් ලෙස වාසය කළාය.

ඒ දිව්‍යාංගනාව විමානය අතහැර යාමට අකැමැති වූවා ය. දුටුගැමුණු රජතුමා කිහිපවතාවක් ම ඒ ඉල්ලීම කළේය. දිව්‍යාංගනාව රජතුමා ඉදිරියේ පෙනී සිටිමින් ඉල්ලීමක් කළාය. මා මේ විමානය අතහැර වෙනත් දිශාවකට යන්නම් .මේ භූමිය තුළ ඉදිකරන ස්තූපයට මගේ නම යොදන්න. "ඔබේ නම කුමක්ද ?" රජතුමනි මගේ නම ස්වර්ණමාලී යැයි ඒ දිව්‍යාංගනාව පිළිතුරු දුන්නාය. ඒ දිව්‍යාංගනාව සිහිවීමට “ස්වර්ණමාලී “ නම මේ මහා ස්තූපයට යෙදු බව සඳහන් වේ.

රුවන්වැලි මහා සෑය ඉදිකරන පුණ්‍ය භූමිය පිළිබඳව අනුබුදු මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජතුමාට සඳහන් කළ බව දැක්වේ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වු සිවු බුදුරජාණන් වහන්සේලා විසින්ම සේවනය කරන ලද මේ උතුම් පුණ්‍ය භුමිය මත ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේ නිධන් කරමින් එකසිය විසි රියන් උස ස්වර්ණමාලී නාමයෙන් ප්‍රකට වන පූජනීය චෛත්‍යයක් මේ පුණ්‍ය භූමිය මත ඉදිවේවායි යනුවෙන් පෙන්වා වදාළහ. මිහිඳු මාහිමියන් දේශනා කළ ඒ විස්තරය අසා සිටි දේවානම්පියතිස්ස රජතුමාට එම චෛත්‍යය ඉදිකරවීමට ආශාවක් ඇතිවිය. මහරජ ඔබ විසින් කළ යුතු බොහෝ පින්කම් ඇති බවත් ඒ ස්තූපය ඉදිකිරීම පිණිස පෙරුම් පුරාගෙන පැමිණෙන මහා පුණ්‍යවන්තයෙකු අනාගතයේ ඔබේ මුණුබුරෙක් ලෙස ඉපිද ඒ මහා ස්තූපය කරවනවා යැයි දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මාහිමියන් විසින් දේශනා කළ හ.

ඉන් සතුටට පත් රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි සියලු විස්තර සෙල් ටැඹක කරවා චෛත්‍යය ඉදිවන පුණ්‍ය භූමිය මත ඒ සෙල් ටැඹ පිහිටුවන ලදී. එම විස්තරය රන්පත් තීරු කීපයක ලියා කරඬුවක බහා අනාගතයෙහි දුටුගැමුණු රජතුමන්හට ඒ විස්තරය සොයා චෛත්‍යය ඉදිකරවීමේ පහසුව සඳහා රජමැදුරේ තැන්පත් කළේ ය.

රුවන්වැලි මහා සෑයට අවශ්‍ය ගඩොල් ආදිය ලැබුණු ආකාරය ගැනත් රන්, රිදී, මුතු, මැණික් ආදි වටිනා සම්පත් ලැබුණු ආකාරයත් සිහියට නැගෙත්ම දෙවියන් මෙම මහා සෑය ඉදිකරවීමට අප්‍රමාණව කළ උදව් උපකාර අසිරිමත් ය. ස්වර්ණමාලි මහා සෑය ඉදිකරවීමට භූමිය සකස් කිරීම ආරම්භ කළේ වෙසක් පුන් පෝදිනක ය. එසේ පොළොව සකස් කිරීම ද මහා අසිරිමත් ය.

ස්වර්ණමාලී මහා සෑයේ කටයුතු ආරම්භ කිරීම සඳහා මුල්ගල තබන දිනයේ දී විවිධ දේශයන්හි වැඩ සිටි මහ රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් අහසින් මෙම උතුම් පුණ්‍ය භූමියට වැඩම කර වදාළහ.

අනාගතයෙහි මහා සෑයට වන උවදුරු දුරු කිරීමත් බොහෝ කාලයක් ස්ථිරව පැවතීම පිණිසත් එහි අත්තිවාරම ශක්තිමත් කළ යුතු හෙයින් ඍද්ධිබල සම්පන්න මහ රහතන් වහන්සේලා විසින් අධිෂ්ඨාන කොට චෛත්‍යයෙහි පේශා වළලු තුන නව වතාවක් ම ගිලා බැස්වු බවද සඳහන් වේ.

පේශා වළලුවලින් අනතුරුව ධාතු ගර්භය ඉදිකරවූ අතර අසු රියනක් දිග අසූ රියනක් උස අසූ රියනක් පළල සම චතුරශ්‍රාකාර ධාතු ගර්භයක් කරවා ඒ තුළ දුටුගැමුණූ මහ රජතුමා විසින් අලංකාර බෝධින් වහන්සේ නමක් සත්රුවනින් කරවු බවත් සඳහන් වේ. එම අලංකාර බෝධින් වහන්සේගේ කඳෙහි මුතු මැණික් වර්ග අතුරා සුවඳ පැන් පිරවූ රන් රිදී කළ තබා බෝධින් වහන්සේට නැගෙනහිර දිසාවෙන් බුද්ධත්වයට පත්වු ස්වරූපයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ද කරවු බව සඳහන් වේ. අසිරිමත් බුදු සිරිතෙහි විශේෂ සිදුවීම් රැසක් රන් රිදී මුතු,මැණික් ආදී ද්‍රව්‍යවලින් කරවා ඇති බවද දැක්වේ.

මේ අයුරෙන් ධාතු ගර්භය නිමවා දුටුගැමුණු මහ රජතුමා විසින් ධාතු ගර්භයෙහි කළ යුතු සියලු නිර්මාණ සිදු කළ හෙයින් ධාතුන් වහන්සේලා තැම්පත් කිරීමට සූදානම් කරනු ලැබී ය. ඒ සඳහා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වඩමවා ගෙන එන මෙන් මහ සඟ රුවනට අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් ආරාධනා කළේ ය.

සර්වඥ ධාතුන් වහන්සේ වැඩමවීමට සමත් ඍද්ධිබල සම්පන්න භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම පිණිස මහ සඟරුවන රැස්ව සාකච්ඡා කොට සෝනුත්තර නම් සාමණේර මහ රහතන් වහන්සේගේ ඍද්ධිමත් හැකියාව දුටු භික්ෂූන් වහන්සේ විසින් උන්වහන්සේ කැඳවූහ. දුටුගැමුණු මහ රජතුමා ධාතු ගර්භයෙහි කටයුතු අවසන් කර ධාතුන් වහන්සේලාද වැඩමවා දෙන මෙන් මහසඟරුවනට භාර කළ බව සඳහන් කළහ. එබැවින් ධාතුන් වහන්සේලා වැඩම කිරීමට උන්වහන්සේට භාර කළහ. මහ රහතන් වහන්සේලා විසින් සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳ විස්තර සහිතව බුද්ධ අධිෂ්ඨානයන් පිළිබඳවද රුවන්වැලි මහා සෑයේ පිහිටන සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳ පිරිනිවන් පෑමට පෙර බුදුරජාණන් වහන්සේ සක් දෙවියන් කැඳවා කළ විස්තරද දිවැසින් බලා සෝනුත්තර රහතන් වහන්සේ වෙත උපදෙස් ලබාදී සර්වඥ ධාතුන් වහන්සේලා රැගෙන ඒම භාර කළහ.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ශ්‍රී දේහය ආදාහනයෙන් පසු රාම ග්‍රාමයෙන් පැමිණි කෝලිය රජ දරුවන් වෙත ලබා දුන් සර්වඥ ධාතුන් වහන්සේලා ද්‍රෝණය රන් කරඬුවක තැන්පත් කර සැදැහැයෙන් වඩමවා ගෙන ගොස් තම රාජ්‍යයෙහි ගංගා නම් ගඟ අසල චෛත්‍යයක් ඉදි කර එහි තැන්පත් කරන ලදී. මෙසේ වන්දනාමාන කරමින් පැවැති එම චෛත්‍යය වසර ගණනාවකට පසු පැමිණි ගං වතුරෙන් බිඳී ගොස් එම ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබූ කරඬුව ගංගානම් ගඟ දිගේ පාවී ගොස් මහ සයුරට වන්හ. රන්වන් පාටින් දිලිසෙන එම කරඬුව දුටු මාංජෙරික නම් නාග භවනයෙහි නාගයන් මහා කෙළ නම් නා රජුන් දැනුවත් කළේය.ඒ අසා සතුටු වූ නා රජුන් නාග පිරිවරින් ගොස් මහත් සේ පුද සත්කාර කොට වඩමවා නාලොව සත්රුවනින් කළ දාගැබ තුළ ධා කරඬුව තැන්පත් කළේය. නා ලොව පුද ලද එම ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයෙහි තැන්පත් කිරීම පිණිස වැඩම වූයේ මාංජෙරික නම් වූ නාග භවනයෙහි නාගයන් විසින් ගෙන ගිය එම සර්වඥ ධාතුන් වහන්සේලා වේ.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් අජාසත්ත රජතුමාට දේශනා කරන ලද්දේද රාම ග්‍රාමයෙහි කෝලිය රජදරුවන්ට ලබා දුන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අනාගතයෙහි ලංකාද්වීපයෙහි රුවන්වැලි නම් මහ සෑයෙහි පිහිටන්නේ යැයි වදාළ බව සඳහන් වේ.

එදා දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයෙහි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට සූදානම් මොහොතෙහි දී උතුම් බුද්ධ අධිෂ්ඨානය මත ධා කරඬුව අහසට පැන නැගී බුදුරුව මැවී යමා මහ පෙළහර පෑමක් සිදු විය. ඒ උතුම් ප්‍රාතිහාර්ය දැක දුටුගැමුණු මහරජතුමන් ඇතුළු රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිස සතුටට පත් විය.

දුටුගැමුණු මහ රජතුමන් මහා සෑය ඉදිකරවා ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරවූ අතර චෛත්‍යයේ සියලු කොටස් නිමවීමට මත්තෙන් සිය සොයුරු තිස්ස කුමරු කැඳවා රාජ්‍ය පවරා මා මිය යන්නට පෙර මේ මහා සෑයෙහි සියලු කටයුතු නිමවා දකින්නට සලසන්නැයි ඉල්ලීමක් කළේය. එතුමන්ගේ සිත සතුටු කිරීමට මිය යන්නට පෙර උපක්‍රමයකින් හෝ චෛත්‍යයේ කටයුතු අවසන්ව ඇති බව සකස් කරවා රජු වෙත ඒ බව දැන්වීය. එවිට රජතුමා මරණාසන්නව පසුවන බව දිවැසින් දුටු ලක්ෂ ගණන් මහ රහතන් වහන්සේලා සිදුකළ පින්දහම් පිළිබඳව ද සිහිපත් කරවමින් දුටුගැමුණු රජතුමාගේ සිත පින්දහම් තුළ පිහිටුවීය. සද්ධාතිස්ස රජතුමා සහ භාතිය රජතුමා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් රුවන්වැලි මහ සෑයට පුද පුජා පැවැත්වූහ. හෙළ රජවරුන් අප්‍රමාණ ගෞරවයෙන් රුවන්වැලිමහ සෑ රදුන් වන්දනාමාන කළේය. අනුරාධපුර රාජධානිය බිඳ වැටීම් හේතුවෙන් ඒ කාලය තුළ ගරා වැටී ගිය එම මහා සෑය 1873 දී නාරංවිට සුමනසාර හිමියන් විසින් මහා සෑය ප්‍රතිසංස්කරණය කරවූහ. “අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍ය වර්ධන සමිතිය” පිහිටුවා හුනු පිරියම් කිරීමේ ආදි කටයුතු නිසි අයුරෙන් සිදු කරමින් අනාගත පරපුර උදෙසාත් මෙම මහා සෑය ආරක්ෂා කර ගැනීම පිණිස කටයුතු සිදුවේ.

වර්තමානය වන විට මහසෑයේ උස අඩි 338 කි. වට ප්‍රමාණය අඩි 942 කි. අක්කර පහක පමණ හතරැස් මළුවක් තුළ චෛත්‍යය නිර්මාණය වී ඇත.

ස්වර්ණමාලි මහා සෑයේ වාර්ෂික හුනු පිරියම් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරේ. ඉකුත් ජනවාරි 28 වනදා ආරම්භ වූ එම කටයුතු වලට සේවක පිරිස 35 දෙනෙකු පමණ සහභාගි වේ.

හුනු පිරියම් කිරීම සඳහා හුනු ටොන් දහයක් පමණ වැය වන අතර ලුණු මිටි පහළොවක් පමණද නිල් කිලෝ 200 ක් පමණද වැයවන බව එම සේවක පිරිසෙහි නියමුවා වන මතුගම වළල්ලාවිට කුමාරගේ සම්පත් මහතා කීය.

කුමාරගේ ඇක්මන් මහතාගේ මූලිකත්වයෙන් 1981 සිට 2007 වසර වන තෙක් එම හුනු පිරියම් කිරීමේ කටයුතු සිදුකර ඇති අතර ඒ මහතාගේ පුත් කුමාරගේ සම්පත් මහතාගේ මූලිකත්වයෙන් දැනට එම කටයුතු සිදු කෙරේ.

2008 සිට වසර හතරක් වෙනත් පිරිසක් හුනු පිරියම් කර ඇති අතර 2012 සිට තම සහෝදරයන් දෙදෙනා ද සමඟ ඒකරාශිවී එම කටයුතු සිදුකරන බව කුමාරගේ සම්පත් මහතා කීය.

පෙරවරු 6.30 සිට සවස 5.30 දක්වා එම කටයුතුවල නිරත වන අතර හුනු පිරියම් කරන කාලය තුළ මස් මාංශාදියෙන් වැළකී ඇප කැපවී එම කටයුතු සිදු කරන බව ද සම්පත් මහතා කීය.

පළමුව දුර්වර්ණ පෙර හුනු පිරියම් සූරා ඉවත් කිරීමෙන් පසු ස්වභාවික වැස්සෙන් ඒවා සේදීගිය පසු හුනු පිරියම් කිරීම ඇරඹේ.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පළමුව භාරහාර වී අරඹන හුනු පිරියම් කිරීම අවසානයේ මහ සෑරදුන් වෙත පුජාවක්ද පවත්වා අනතුරුව පෙර වූ භාරය ඔප්පු කරන බවද සම්පත් මහතා කීය.

උණ ගස් ආධාරයෙන් ඉනිමං බැඳ දිනකට තිස්පස් දෙනකු පමණ මාස 2 1/2ක් පමණ කාලයක් පුරා එම කටයුතුවල නිරතවන බවද ඒ මහතා කීය.

එදා රුවන්වැලි චෛත්‍යාරාමයෙහි වැඩ සිටි ඇතිනිමලේ ගුණරතන නා හිමියන් තම පියාට හුනු පිරියම් කිරීමේ කටයුතු භාර දී තිබූ අතර වර්තාමන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසින් එම කටයුතු භාර දෙන බවද සම්පත් මහතා කීය. රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අධීෂක්ෂණයෙන් එම කටයුතු සිදු කෙරේ.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]