UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක මිස සැප නැති අපාය

දුක මිස සැප නැති අපාය

පසුගිය ලිපි පෙලින් අට මහා නරකය ගැන සඳහන් වුණා. සතර අපායේ දුක මිස සැප නැහැ. සත්ත්ව ඝාතනය, සොරකම, කාමමිථ්‍යාචාරය, බොරුව, මත් ද්‍රව්‍ය පානය කිරීම, අධාර්මික ජීවිකාව සහ වෙළෙඳාම, මවට පියාට නොසැළකීම සහ තර්ජන ගර්ජන අපහාස කිරීම, පංචානන්තරීය පව් කිරීම, තෙරුවන්ට, පින්වතුන්ට , ගුණවතුන්ට නිග්‍රහ කිරීම, අසාධාරණ නඩු තීන්දු, බොරු චෝදනා ආදී අනේකවිධ පාපයන් සිදු කරන්නන්ට දරුණු විපාක ලබා දෙන්නේ අපායෙනි.

සතර අපාය අනන්ත දුක් ලබා දෙන තැනකි. මේ අපායන්ට පත් වූවෝ මින් මතු පව් නොකරන්නේ යැ’යි පොරොන්දු වෙමින්, දුක් අෙඳීනාවන් අපමණ නගති. මේ ගැන හොඳින් දැනුම්වත් ව පොත පතින් දැනුම ලබන්න. දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි තතු දැනකියාගෙන පවින් වැළකිය යුතු යි. ඒ සඳහා පින් දහම් කළ යුතු යි. දරුණු පව් කළ සැවොම අටමහා නරකයට වැටෙයි. ඒ වටා තවත් ඔසුපත් නරකයන් දහසයකි. සියලුම නරකාදී අපාය එකසිය තිස් හයකි. මෙහි ඇති නිරි සතුන් ප්‍රමාණය ගණනය කළ නොහැකිව, එක් අයකුට තවත් අයෙක් නොපෙනෙනා සේ නිරි සතුන් අපමණ වෙයි. සැවොම මුව රැකගෙන මින් මතු පව් නොකරන බවට සිතා ගත යුතු යි. ලොවුතුරා බුදු කෙනෙක් මෙලොව පහළ ව අපා දොරටු වසන සුගතියට පත්ව නිවන් මඟ විවර කළා. මේවා හොඳින් වටහාගෙන දානාදී කුසල කර්ම රැස්කරගෙන අපායෙන් වැළකීමට වෙහෙස මහන්සි වන්න. අපායකට වැටුණොත් නැවත ගොඩ එන්නට ලෙහෙසි පහසු නැහැ. මුගලන් මහ රහතන් වහන්සේ තම දේශනාවල දෙව් ලොව සහ අපායේ තතු මෙලෙස යැ’යි වදාළ සේක.

අද සඳහන් කරන්නේ තවත් නරකයන් කිහිපයක් ගැන යි. පළමු නරකය අම්බුද නරකය යි. මේ අපායට පත්වන්නේ ,මව් පියන්, වැඩිහිටි, සිල්වත් ගුණවත් උතුමන් පහත් අසුනක සිටියදී තමන් උස් ආසනවල වාසය කරන, තුනුරුවන්ට සිල්වත් ගුණවත් උතුමන්ට අවමන් කරන, දුදන වදනින් නිග්‍රහ අවමන් කරන, අයයි. මේ නරකයෙහි දුක අසීමිත වෙයි.

නිරබ් බුද නරකයෙහි ද දීර්ඝ කාලීන දුක සීමාවක් නැත. අධර්මිෂ්ඨ තහනම් වෙළෙඳාම් පහක් බුදුන් වහන්සේ දේශනා කර වදාළා. සත්ත්ව වෙළෙඳාම, ආයුධ වෙළෙඳාම,මස් වෙළෙඳාම, මත් ද්‍රව්‍ය වෙළෙඳාම, වහල් වෙළෙඳාම වෙයි. මේ මඟින් යමක් හරි හම්බ කරගෙන ජීවත් වෙනවා නම් විඳින්න වන දුක අපමණ යි. එසේනම්, ධාර්මික වෙළෙඳාමක් අවංකව කරනවා නම්, මරණින් මතු සුගතිගාමී විය හැකි යි. එසේනම්, ඒ සඳහා දිවි ගෙවිය යුත්තේ ධාර්මිකව යි.

අහහ නරකයෙහි උපත ලබන්නේ සූදුව ආදී ධන විනාශයට හේතු වන දෙයෙහි නිරතවන්නන් ය. මව් පිය, දූ දරුවන්ට නොසළකා සූදුවට විශාල ධනස්කන්ධයක් වැය කර, මව් පිය ,දූ දරුවන්ට නොසළකන්නන් උපත ලබන්නේ මෙම අපායෙහි ය. සූදුවෙන් විනාශ වන ඔවුන්ගේ ගේ දොර අඬ දබර ඇති වෙයි. ඒ අයට මෙලොව පරලොව සැමදා ඇත්තේ දුකම ය. මේ ගැන දැනගෙන සූදුවෙන් වැළකිය යුතු යි. එසේ ම අවේලාවේ වීථි සංචාරයෙන් පවා වැළකිය යුතු යි. එවිට මනුලොව හෝ දෙව් ලොව හෝ බඹලොව හෝ සුගතිගාමී වෙයි.

අටට නරකයෙහි උපත ලබන්නේ සතුන් මරා මස් කන්නන්, ප්‍රාණඝාතයට උදවු කරන්නන්, සෙල්ලමට හෝ සතුන් මැරීම, සත්ත්ව හිංසාව, රහත් උතුමන්, සිල්වතුන් මැරීම ආදී පව් කරන්නන්ට මෙම නරකයේ උපරිම දඬුවම් ලබා දෙයි. දිලිසෙන අවි ආයුධ වලින් අත පය කපා දමා, ගින්නට විසි කර දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්නේ මෙම නරකයේ ය. ඒ නිසා මෙවැනි දරුණු පාපයෙන් වැළකී පින් දහම් කරමින් සුගතිගාමී විය යුතු යි.

තවත් ඔසුපත් නරකයක් වශයෙන් සළකන අබබ නරකය අපමණ දුක් කම්කටොළු ඇති නරකාදියකි. සොරකම් කිරීම, අන්සතු දේ පැහැර ගැනීම, මංකොල්ල කෑම, සොර සිතින් රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම දෙයක් ගැනීමෙන් උපත ලබන්නේ අබබ නරකයේ ය. අදින්නාදානා ශික්ෂාපදය සුරැකුණොත් අබබ නරකයෙන් වැළකී අපමණ සැප ලබා සුගතිගාමී විය හැකි යි. එලෙස දුසිරිතෙන් වැළකෙන්නෝ කිසිවිටෙකත් දුගී මගී නොවී ධනවත් වෙයි.

කුමුඩු නරකයෙහි ද ඇත්තේ අපමණ දුක ය. නිර්දෝශී අයට දෝෂාරෝපණය කිරීම, තමන් උසස් කොට සැළකීම, සිල්වතෙක් නොවී මා සිල්වන්තයෙක්, ගුණවන්තයෙක් නැණවන්තයෙක් යැ’යි සැලකීම, එසේ ම ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන්ට, මව් පියන්ට ගුරුවරුන්ට දෝෂාරෝපණය කිරීම බොහෝ භයානක පවකි. සංසාරයේ අපමණ දුක් විඳින්න සිදු වෙයි. මනු ලොවට පැමිණියත් හොරි, දද,වණ, පිළිකා, කුෂ්ඨ රෝග සෑදී දුක් විඳියි. මොන ම අයුරකින්වත් සැනසුමක් නැත. කායික, මානසික වශයෙන් අපමණ දුක් විඳින්න සිදු වෙයි. අපායේ දී නම් කිසිම සමාවක් නැත. යම පල්ලන් පැමිණ සිරුර රහිමින් , අතපය කපා දමා, උල තබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙයි. මේ නරකය කෙතරම් බියකරුදැ’යි සඳහන් කළොත් ගිනි දැල් මධ්‍යයේ ම නිරි සතුන්ට වාසය කරන්නට ලැබෙයි. මේ නිසා කවුරුත් පවින් වැළකිය යුතු යි.

සෞගන්ධික නරකය ද අති බියකරු යි. අනන්ත දුක් ලබා දෙන තැනකි. නික්ලේශී බුදු ,පසේ බුදු, මහ රහතන් වහන්සේලාට නිග්‍රහ කිරීමෙන් මේ අපායට පත් වෙයි. කට පරිස්සම් නොකිරීමෙන් සෞගන්ධික නරකයේ උපත ලබයි. මේ නරකයේ නිරි සතුන්ගේ කටට නිතර ම අකුණු සැර වදියි. දිගු කාලීනව දුක් විඳින්න සිදු වෙයි. ඒ නිසා පරුෂ වදනින් තවත් කෙනෙකුට කිසි විටකත් බැණ නොවදින්න. එසේනම්, කවුරුත් කට පරිස්සම් කර, පාපයෙන් වැළකී, අපායෙන් අත් මිදෙන්න.

උප්පල නරකය ද බොහොම බියකරු යි. තෙරුවන්ට නින්දා අපහාස කරන්නන් උප්පල නරකයේ උපත ලබයි. මෙහි නිරි සතුන්ගේ සිරුරු ගිනි ජාලාවක් සේ ගින්නෙන් පිළිස්සෙ යි. ඒ නිසා ඇසෙන විලාප හඬ, එහෙ මෙහෙ දුව ඇවිදීම් සීමාවක් නැහැ. එහෙත් මේ දුකෙන් බේරෙන්නට බැහැ. මේ අනුව සිල්වත්, ගුණවත් උතුමන්ට නිග්‍රහ කිරීම කෙතරම් බියකරු ද? සිවුරක් පොරවාගත් කෙනෙකුට මෙන් ම සුදුවතින් සැරසුණු උපාසක උපාසිකාවකට කිසිම දිනෙක නිග්‍රහ නොකරන්න. මවට, පියාට,ගුරුවරයාට, වැඩිහිටියන්ට කිසිම දිනෙක නිග්‍රහ කරන්නට එපා.

බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සජ්ඣායනා කළොත් දෙව් ලොව උපත ලබයි. පියුමතුරා සහ සුමේධ සම්බුදු පියාණන් වහන්සේ වඩිද්දී ඉතිපිසෝ...ගාථාව සජ්ඣායනා කළ සැවොම දෙව් ලොව උපත ලබා ශාසනයේ නිවන් දකින්නට භාග්‍යවත් වූවා. ඒ නිසා කවුරුත් නිබඳව ම බුදු ගුණ, දහම් ගුණ ම මෙනෙහි කරන්න. මව් පිය, ගුරුවරු, කල්‍යාණ මිත්‍රයන්ගේ ගුණ, පැවසුවොත් කිසිවිටකත් නොවරදී. සුගතිගාමී ව සැපවත් දිවියක් ලද හැකි යි.

ලොවුතුරා මහ රහත් උතුමෝ ගැන ගුණ කථනය කරන,බෝධීන් වහන්සේට, සෑ රදුන් වහන්සේට , ප්‍රතිමා වහන්සේට, ධාතූන් වහන්සේලාට, ගෞරවයෙන් මල් පහන් ගිලන් පස , දාන මාන , පූජා කරන, පසඟ පිහිටුවා වඳීන, ගෞරවය දක්වන්නන්, ධර්ම දේශනා කරන, පින්වතුන් ධාතු කරඬු සේ බැබළෙ යි. වැඳුම් පිදුම් ලබන්නට සුදුස්සෝ මෙන්ම චුල්ල සෝතාපන්න එනම් සෝවාන් උත්තමයෙක් සේ පිවිතුරු ය. ඒ උත්තමයා කිසි විටකත් අපායගාමී නොවී නිවන් පසක් කර ගනියි.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]