UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණ නිර්මාණ තරගය

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, ළමා සමාජයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ ඔබ වෙනුවෙන් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්වීමට තීරණය කළෙමු. පළමු ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වා “රාහුල පොඩි හාමුදුරුවෝ”, පහ ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා “පන්සිල් රැකීමේ අනුසස්”, නවවන ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා බුදු දහමයි – පරිසරයයි යන මාතෘකා යටතේ තරගය පැවැත්වෙයි. රචනා එවීමේ දී වචන 150 කට සීමා කරමින් නිර්මාණාත්මක නිර්මාණ අප වෙත එවන්න. හොඳම නිර්මාණ තුන උදෙසා තෑගි පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් පළකළ අංකය යි. නිර්මාණ අමාවක, අව අටවක, පසළොස්වක, පුර අටවක බුදුසරණ කලාපයන්හි පළ කරන්නෙමු. සංස්කාරිකා, “සදහම් අරණ”, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට නිර්මාණ එවිය හැක.


දුරුතු පොහොයේ වැදගත් සිදුවීම්

දින දර්ශන ක්‍රමයට අනුව එළැඹෙන ජනවාරි මාසය ශ්‍රී ලංකාවාසී අපට විශේෂිත වනුයේ දුරුතු පුන් පොහොය උදාවන නිසා ය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ලක්බිමට වැඩම කළේ මෙවන් පින්බර පොහෝ දිනක දී ය.

එදිනම මහියංගණයෙහි පිහිටි ‘මහානාග‘ නම් වූ උයනේ යක්ෂ ග්‍රෝත්‍රිකයන් දෙ පිරිසක් අතර මහත් අරගලයක් හටගෙන තිබිණි. මහා කාරුණිකයන් වහන්සේ එහි වැඩම කොට යක්ෂයන් බිය වද්දවා ‘ගිරි’ නම් දිවයින වෙතට යැවූ බව ධර්මයේ සඳහන් වේ. එදින එහි පැමිණි ‘සුමන’ නම් දෙවිඳුන් වන්දනාමාන කිරීමට සුදුසු දෙයක් ඉල්ලා සිටි අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ලබා දුන් කේශ ධාතුන් වහන්සේ තැන්පත් කොට ස්තූපයක් කරවූ බව ඉතිහාසගත කරුණකි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ලෝක සත්ත්වයාට ප්‍රථමවරට දේශනා කළේ ද දුරුතු පුන් පොහෝ දිනක දී ය. තවද, තුන් බෑ ජටිලයින් වූ උරුවේල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු එක්දහස් පන්සියයක් වූ ජටිල පිරිසට දහම් මාර්ගය විවර කර දුන්නේ ද මෙම පුන් පොහෝ දිනයේ දී ම ය.


දුරුතු පොහොය වර්ණනාව

සම්බුද්ධ චරිතාපදානයේ ඓතිහාසික පුවතක් සනිටුහන් කරන දුරුතු පොහොය ලක්දිව ශාසන ඉතිහාසයේ අනුස්මරණීය දිනයකි. බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් ම ලක්දිවට වැඩම කළේ මෙදින ය. එ නිසාම බෞද්ධ ඉතිහාසයේ මෙම සිදුවීම විශේෂ ගෞරවයක් උරුම කර දුන් ඓතිහාසික සිදුවීමක් ලෙස සලකයි. මේ බව මෙරට පැරණි ඉතිහාසය හෙළි කරන සෑම මූලාශ්‍රයකම සඳහන් ව තිබේ. එම මූලාශ්‍රවලින් දීපවංශය හා මහාවංශය කරන විස්තර පැරැණි ය. අනෙකුත් ඓතිහාසික වාර්තාවල ද මෙම පුවත පිළිබඳ තොරතුරු ලබා ගන්නට ඇත්තේ උක්ත වංස කතාවන්ගෙන් යැයි අනුමාන කිරීමට අවකාශ ඇත.


ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ

දළදා වහන්සේ අප රටට වැඩම කර තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 800ක් පමණ ගත වූ තැන ය. දහම් දිවයිනක් වූ ලක්දිවට දළදා වහන්සේ වැඩම කරවුයේ අනුරාධපුර යුගයෙහි කිත්සිරි මෙවන් රජු සමයේ ය.

ඛේම මහරහතන් වහන්සේ විසින් දළදා වහන්සේ කළිඟු රට බ්‍රහ්මදත්ත නම් රජුට බාර කළේ ආරක්ෂා කර ගනිමින්. වැඳුම් පිදුම් කිරීමට ය. දළදා වහන්සේ අවසන් වරට භාරකාරත්වය දැරුවේ ගුහසීව නම් රජතුමන් ය. දඹදිව සිට දළදා වහන්සේ ලක්දිවට වැඩම කෙරුණේ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ය.

ගුහසීව රජු සමඟ අසල්වැසි රජෙකුගේ සේනාවක් දළදා වහන්සේ අත්කර ගැනීම උදෙසා සටනට පැමිණි අතර, දන්ත කුමරු හා හේමමාලා කුමරිය ඉතාමත් දරුණු බියකරු අභියෝගයන්ට මුහුණ දුන්නේ ය. එම බාධක, අභියෝග සියල්ල ජය ගෙන දළදා වහන්සේ ලක්බිමට වැඩම කරවනු ලැබී ය. එසේ දළදා වහන්සේ මෙරට ට වැඩමකළ දිනයේ පටන් ලක්දිව වැසියෝ සිය පණමෙන් උන්වහන්සේ රැක ගත්හ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ පහස ලද දළදා වහන්සේ උදෙසා එදා පටන් අද දක්වාම බොහෝ පුද පුජා පවත්වති.


පෙර පින් කළ බව

පෙර පින් කළ
දන හැම කල
කුසලෙහි පල
ලබති විපුල

කළ පින් ඇති
දනෝ ගුණැති
පින්ම කරති
සුවපත් වෙති

ඔබ කළ පින
ගෙවෙයි නිතින
නො රැඳී පින
ලබනු නිවන


දුරුතු පොහොය......

බුදු දහමින් ලෝ තල වැජඹෙන කාලේ
මහ කරුණා බුදු නෙ තඟින් දුටු වේලේ
යක්ෂ පිරිස් සිටි මහියංගණ පෙදෙසේ
දමනය කිරීමට ලක්දිව වැඩම කරේ

ප්‍රථම වරට බුදුහිමි ලක්දිව වැඩියා
යක්ෂ පිරිස් සැමදෙන දමනය වූවා
සුමන නිරිඳු සෝවානින් සැනසූවා
මහ වෙහෙරක කේශ ධාතු වැඩ විසුවා

කැලණිය දුරුතු මංගල්‍යය ඇරඹෙන්නේ
නව වසරේ පොහොය දිනත් එළඹෙන්නේ
පහන් සිතින් වැඩ කටයුතු සිදුවන්නේ
තෙරුවන් ගුණ සුවඳින් සැම නැහැවෙන්නේ


විහාරයේ අසිරිය

අපේ පන්සලේ නම ජයසුමනාරාම පුරාණ රජමහා විහාරය යි. එය පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බුලුගහගොඩ ග්‍රාමයේ ය. අලංකාර උස්බිමක පිහිටා ඇති අපේ පන්සල ඉතාමත් රමණීය යි. පන්සල වටා කුඹුරු යායකි. රජ කාලයේ මෙම භූමිය ප්‍රයෝජනයට ගෙන ඇත්තේ ගොයම් පාගන කමතක් ලෙස ය. අපේ පන්සලේ ඇති දහම් පාසල ශ්‍රී රතනජෝති දහම් පාසල යි. දරු දැරියෝ දෙසියයක් පමණ එහි ඉගෙනුම ලබති. ඒ අය දැහැමි පුරවැසියන් කරන්නට ගුරුවරු වෙහෙසෙති. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බෝහෙට්ටියේ ආනන්ද ස්වාමින් වහන්සේ ය. උන්වහන්සේ අපේ පන්සල දියුණු කරන්නට විශාල වෙහෙසක් ගනිති.


පෙම්බර අම්මා

දස මාසයක් කුසතුළ මා තබා ගෙන
ඇති දැඩි කළා ඇය දුක් ගිනි දරා ගෙන
පාසල් යවා පොත පත මට කියා දෙන
දෙවි දේවතාවනි මගෙ අම්මා රකිනු මැන

අලුයම අවදි කරවා ආදර අම්මා
මා ළඟ ඉඳන් මට ඔවදන් දුන් අම්මා
බුදු බණ කියා දෙන මගෙ ආදර අම්මා
දොහොත් නඟා වඳීනෙමි පෙම්බර අම්මා


මුචලින්ද නාග දරණය

පින්සාර පින්බිම

චනිත මනුජිත්
6 ශ්‍රේණිය
ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලය, කඩවත
ඉසුර උත්පල විජේරත්න
5 ශ්‍රේණිය
ශ්‍රී රාහුල ප්‍රාථමික විදුහල, එප්පාවල

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]