UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීහළවත්ථු කතා: කළණ මිතුරු සැපත

සීහළවත්ථු කතා:

කළණ මිතුරු සැපත

"මාගේ කුටිය සමීපයෙහි එක් ඇතින්නක් විසී ය. ගැබිනි වූ කල ඇය එහි ම පැටියකු වැදුවාය. පැටියකු වැදූ පසුව පෙර වෛරක්කාරියක් වූ එක් යකින්නක් පැමිණ ඒ පැටවා කා දමන්නී ය. මේ උපද්‍රවයෙන් බොහෝ සේ පීඩිතව දුකෙන් සිටි ඒ ඇතින්නිය මේ ඇතා කුඩා අවදියේ දී මාගේ කුටිය වෙත පැමිණ ඇතින්නියගේ සොඬින් ඇත් පැටවා මාගේ අතෙහි තබා මට භාර කළාය."

සුරට්ඨ නම් ජනපදයෙහි ‘අච්චිමන්තසේල’ නමින් පර්වතයක් තිබුණි. එහි ගුහාවක ෂඩ් අභිඥා ලැබූ මහත් සෘද්ධි අනුභාවයෙන් යුතු රහතන් වහන්සේ නමක් වැඩ සිටි සේක. ඒ පර්වතය ඇසුරු කොට ගෙන එක්තරා ඇතෙකු ජීවත් විය. මේ ඇතා නිරතුරුව ම ඒ රහතන් වහන්සේට උපස්ථාන කළේ ය.

දිනක් දඩයමේ යමින් සිටි එක් වැද්දෙකු මේ ඇතා කැලයේ සැරිසරනවා දැක රාජ භවනට පැමිණ “දේවයන් වහන්ස, ශුභ ලකුණුවලින් යුතු ඔබතුමාට යෝග්‍ය වූ ඇතෙකු අසවල් ගමට ආසන්නව ඇති කැලයේ වෙසෙන්නේය යි කීවේය.

ඇතා දිනක් ස්වාමින් වහන්සේට උපස්ථාන කරමින් සිටිය දී රාජපුරුෂයන් පැමිණ ඇතා අල්ලා උජ්ජේනියට ගෙන යාමට සැරසුණ ද, ඇතා ස්වාමින් වහන්සේ වටේ කැරකෙමින් හඬන්නට විය.

ඇතා අසලට ගිය රහතන් වහන්සේ “නුඹ උජ්ජේනිට යනු. මම ද තොප සමඟ පැමිණෙමි” යි ඇතා අස්වැසූහ. ඉන්පසු උන්වහන්සේ රජතුමා ඉදිරියේ පෙනී සිට මෙසේ වදාළහ.

”මහරජතුමනි, එක් ඉල්ලීමක් සඳහා මම මෙසේ ඔබ ඉදිරියේ පෙනී සිටිමි. ඒ සඳහා අවස්ථාවක් දිය හැකි වේද?”

” ස්වාමිනි කොහේ සිට මෙහි වඩින්නෙහි ද? ඔබ වහන්සේ මාගෙන් කවර උපකාරයක් ඉල්ලන්නේ ද? කුමක් සඳහා මෙහි වැඩි සේක් ද?”

”මහරජතුමනි, මම සුරට්ඨ දේශයේ සිට උජ්ජේනියට පැමිණියෙමි. මෙසේ පැමිණියේ විලංගු දමා රජමාලිගයට ගෙන ආ ඇතා නිදහස් කරන ලෙස ඉල්ලීමට ය. එය ඉටුකරනු මැන.”

ස්වාමිනි, මේ ඇතා නිදහස් කර ගැනීමෙන් ඔබවහන්සේට ඇති යහපත කුමක් ද?

මහරජ, මේ ඇතා මාගේ ශිෂ්‍යයෙකි. උපස්ථායකයෙකි. මේ ඇතා නිදහස් නො කරන්නේ නම්, ඌ මිය යනු ඇත”.

ස්වාමිනි, මේ ඇතා ඔබ වහන්සේගේ ශිෂ්‍යයෙක් වන්නේ කෙසේ ද? උපස්ථායක වන්නේ කෙසේ ද? ඌ අද දිනම මරණයට පත් වන්නේ කෙසේ ද?”

මහරජ, සුරට්ඨ ජනපදයෙහි පුරාණයේ සිට ප්‍රකට වූ අච්චිමන්ත නම් පර්වතයක් වෙයි. ඒ පර්වතය අසල වූ ලෙනක මාගේ කුටිය තිබේ. මම එහි භාවනායෝගිව වසමි.

මාගේ කුටිය සමීපයෙහි එක් ඇතින්නක් විසී ය. ගැබිනි වූ කල ඇය එහි ම පැටියකු වැදුවාය. පැටියකු වැදූ පසුව පෙර වෛරක්කාරියක් වූ එක් යකින්නක් පැමිණ ඒ පැටවා කා දමන්නී ය. මේ උපද්‍රවයෙන් බොහෝ සේ පීඩිතව දුකෙන් සිටි ඒ ඇතින්නිය මේ ඇතා කුඩා අවදියේ දී මාගේ කුටිය වෙත පැමිණ ඇතින්නියගේ සොඬින් ඇත් පැටවා මාගේ අතෙහි තබා මට භාර කළාය. යකින්න ඇත් පැටවා අල්ලා ගන්නට බොහෝ වාර ගණනක් උත්සාහ කරද්්දී මම අතින් වසා ගතිමි. එසේ වූ කල පැටවා අල්ලා ගැනීමට යක්ෂණියට නොහැකි විය. ඇය බොහෝ වෙහෙසට පත් පැටවා ගැන ඇති ආශා අතහැර දමා පිටත්ව ගියා ය. මහරජ මෙසේ මට සබඳකම් ඇති මේ ඇතා එදා පටන් මට උපස්ථාන කරමින් මාගේ කුටිය අසලම නවාතැන් ගන්නේ ය. ඔහු මාගෙන් ආචාර ගුණ ධර්ම, ඉගෙනගත් බැවින් මාගේ ශිෂ්‍යයෙකු වේ. කුඩා කල පටන් මා සමඟ සම්බන්ධකම් ඇති මොහු මා නො දැක සිටියහොත්, මරණයට පත් වන්නේ ය. මේ ඇතා මා ගමන් කරන විට ගමන් කරයි. මා සිට ගත් විට සිට ගනියි. මා සෑ රදුන් වන්දනා කරනවිට වන්දනා කරයි. මා පිඬු පිණිස ගමට ගිය විට ඇතා කෑම සොයා වනයට ගොස් මා එනවිට නැවත කුටිය අසලට පැමිණෙයි. එදා යක්ෂණියගේ අතින් බේරාගත් මේ ඇතා අද ඔබගේ ග්‍රහණයට හසුවිය. ඔබ මේ සතා මුදවන්නේ නම් එය ඔබගේ සැපය පිණිස හේතුවෙයි.

”ස්වාමින් වහන්ස, මම මේ ඇතා මුදවන්නෙමි. ඔබවහන්සේ ගේ අවවාදයන් අනුග්‍රහයන් පිළිගනිමි. ස්වාමිනි, මට ද ධර්මය දේශනා කරනු මැනව. දුක් සහිත ඒ සතර අපායෙන් මා ද මුදවනු මැනව“ රජු කී ය.

රජුගෙන් මිදුණ ඒ ඇතා සතුටෙන් පී‍්‍රතියට පත්ව සුරට්ඨ දේශයට යන මඟට පිවිසියේ ය. රහතන් වහන්සේ රජුට ධර්මයෙන් අනුශාසනා කොට අහසට පැන නැගී තම ව්‍යවස්ථානය කරා වැඩි සේක.

කල්‍යාණ මිත්‍රයෙකු ඇසුරු කළ ඒ ඇතා යක්ෂණියගෙන් ද, රජුගෙන් ද මිදුණේය. බොහෝ කලක් ස්වාමින් වහන්සේට උපස්ථාන කර මරණින් පසු දෙව්ලොව උපත ලැබී ය.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]