UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැනසිලිදායක නිවහනක් ...

සැනසිලිදායක නිවහනක් ...

දුර්වලකම් හඳුනාගෙන ඒවායින් ඉවත්වීමට උත්සාහ නොකරන්නේ නම්, මොනතරම් අනාගත සැලසුම් සකස් කළ ද ඒවා අසාර්ථක උත්සාහයන් වනු ඇත. මේ නිසා වටිනා ඵලදායී ජීවිතයකට අවශ්‍ය කරුණු කිහිපයක් කරණීය මෙත්ත සූත්‍රයේ මූලික කරුණු ඇසුරෙන් සලකා බැලීම අද වැනි දිනයක වැදගත් වනු ඇතැයි සිතමි.

එක මොහොතක් හෝ අපතේ නොයවමින් දින චරියාවකට අනුව කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් තුළ මොනතරම් මෙහෙයක් ඉටුකර ඇති දැයි බලන්න. අපේ රටේ සිටි වැදගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ක්‍රමවත් වැඩසටහනකට අනුව දවස ගත කළ අයුරු ඉතිහාසය අපට කියා දෙයි. දෙවන පැරකුම්බා රජු නියමිත වේලාවට ආගමික වතාවත් ඉටුකළ අයුරුත්, රාජ්‍ය පාලකයකු ලෙස තම වගකීම් සඳහා දවස සැලසුම් කරගත් අයුරුත් අපට වැදගත් පාඩමකි.

දිනය සැලසුම් කිරීමේ දී, උදේ සහ සන්ධ්‍යාවෙහි සිදුකරනු ලබන ආගමික වතාවත් පිළිබඳවත් විශේෂයෙන් පොහෝ දිනයෙහි විහාරස්ථානයට ගොස් සිදුකළයුතු ආගමික වතාවත් ගැන ද මූලික අවධානය යොමුකරන්න. ඉගෙන ගන්නා ශිෂ්‍යයකු වශයෙන් තම දින චරියාව සකස් කරගත යුත්තේ බොදු හැදියාව සමඟ අධ්‍යාපනික ජීවිතය ද ගොඩනැංවෙන අයුරෙනි. අරුණට පළමු නැඟිටීමට පුරුදුවන්න. එය ප්‍රබෝධවත් ජීවිතයට මහත් ශක්තියකි. උදේ හිරුරැස් වැදීමෙන් ගස්වැල් පවා නව පණක් ලබයි. අප කරන කාර්යයන්හි ඵලදායීත්වයට අරුණ තුළින් ලබන පිබිදීම මහත් ශක්තියකි. ඒ තුළින් දවස තුළ කළයුතු කාර්භාරයට සූදානම් වීමේ වටිනා අවස්ථාව උදාවනු ඇත.

එදිනෙදා ගෙදර කටයුතු ඉටුකරගැනීමේ දී පවුලේ සමගි සම්බන්ධතාවය ඉතා වැදගත් ය. මෙහිදී සෑම කෙනෙක් ම අදාළ කාර්යයන්හි කොටස්කරුවකු වන අයුරින් බැඳී කටයුතු කරන්නේ නම්, එම නිවස සැනසිලිදායක තැනක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. ගෙදර හා සම්බන්ධ කාර්යය භාරය තනි අයෙකුට කරන්නට සිදුවුවහොත් මොනතරම් කායික හා මානසික පීඩනයකට ඔහු හෝ ඇය පත්වෙනවාදැයි බලන්න.

ජීවිතයේ වටිනාම දේ කුමක්දැයි කෙනෙකු ඇසුවොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? “මට මගේ පවුල තරම් වටිනා දෙයක් නැහැ” යනුවෙන් බොහෝ දෙනෙක් කියනු ඇත. පවුල් ජීවිතය සතුටින් පවත්වාගෙන යෑම සඳහා බොහෝ කරුණු හේතු වන්නට පුළුවන. දිනපතාම යටත් පිරිසෙන් පැයක පමණ කාලයක්වත් දරුවන් සමඟ මවුපියන් සමීපව කටයුතු කළ යුතුයි. විවිධ ක්‍රියාකාරකම් නිසා අපහසුතාවයක් ඇතිවන්නේ නම් සතියකට පැය කිහිපයක් වත් දරුවන් සමග ගත කිරීමට කාලය වෙන් කර ගත යුතුව ඇත. මවුපියන් දරුවන්ගේ ලෝකයෙන් දුරස්වීම සුබදායී නොවේ.

දරුවන් හා මවුපියන් අතර තිබෙන බැඳීම මෙහෙකරුවකුගෙන් හෝ වෙනත් වැඩිහිටියෙකුගෙන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකින් ලැබෙන්නේ නැත. දරුවන්ට ලැබිය යුතු මවුපිය ආදරය, සෙනෙහස, රැකවරණය නොලැබෙනවානම් මුදල් පසුපස හඹා ගොස් උපයන මුදලින් ඵල ප්‍රයෝජනයක් ඇත්දැයි සිතා බලන්න.

පවුල සමාගමකට උපමාකර දැක්වූයේ නම් එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන්නේ සැමියා හා බිරිඳයි. එදා පැරණි සමාජයේ ගෙදර සියලු කටයුතු කළේ බිරිඳ ය. සැමියා කුඹුරේ, හේනේ වැඩකට ආදායම ගෙනත් දුන්නේ බිරිඳ අතට ය. එම ආදායම වගකීම් හඳුනාගනිමින් පවුලේ දියුණුව සඳහා සමබරව යොදාගත් අයුරු අපි දනිමු. අද දෙදෙනාම බොහෝවිට රැකියාවක නියුක්ත ය. රැකියාවල ස්වභාවය පිළිබඳව දෙදෙනාටම අන්‍යෝන්‍ය අවබෝධය තිබිය යුතු ය. ඒ අනුව නිවසේ කටයුතුවලට බාධාවක් නොවන අයුරින් තම තමන් සතු කාර්ය භාරය කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය ය.

ජීවිතයක අධිෂ්ඨානයක්, ඉලක්කයක් තිබිය යුතු ය. ඉලක්කය හා බැඳුණු ආසාව, උනන්දුව ජීවිතය සාර්ථක කරයි. අභියෝග, ප්‍රශ්න, ගැටලු හමුවේ ඉදිරියට යෑම බුදුදහමෙහි සක්කෝ ගුණය ලෙස දක්වා ඇත. බෑ නොකියා පුළුවන් කියන අධිෂ්ඨානය අප තුළ ඇතිකර ගත යුතුව ඇත. දියුණුවේ ඉහළටම ගිය සමහර ජීවිත දෙස බලන්න. කම්කරු ජීවිත ගත කළ සමහර අය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ උසස් ම චරිත බවට පත් වී ඇති අයුරු දැක ගන්නට පුළුවන. උනන්දුව අධිෂ්ඨානය තිබේනම් ජය කණුව කරා ළංවීම අපහසු නොවනු ඇත.

තමන් කරන දේ අවංකව සෘජුව කරන්න. නිවැරැදි දේ හරිදේ තෝරාබේරාගෙන කටයුතු කිරීම තුළින් ඔබට හැමදාම සතුටුවිය හැකි ය. අයුක්ති සහගත, අසාධාරණ දේ සිදුකර පසුව එහි විපාක විඳින්නට සිදුවන්නේ ඔබටයි. එහිදී ඒ අසාධාරණ දේ කිරීමට පෙළඹවූ අය ඔබ සමඟ නැත. මේ නිසා කරන සෑම දෙයකදී ම අවංකව තම කාර්ය භාරය ඉටු කරන්නට උත්සාහ ගන්න.

සමාජය තුළ ජීවත්වීමේ දී අපගේ වරදක්, අඩු පාඩුවක් පෙන්වා දුන්විට එය පිළිගැන්මට අප සූදානම් විය යුතු ය. නොමග යන දරුවන් දෙස බලා මවුපියන් මොනතරම් මානසික පීඩනයකට පත්වෙනවා ද? ප්‍රේම සම්බන්ධතා, මත්පැන්, මත්කුඩු, ජංගම දුරකථන, පේස් බුක් හරහා මොනතරම් ළමා ජීවිත අගාධයට පත්ව තිබෙනවා ද? ගෙදර සාලය තිබෙන්නේ බාර් එකක් කර ගැනීමට නොවේ. මුළු පවුලම අගාධයට ඇදදමන මත්පැනින් වැළකීමට වර්ෂය ආරම්භයේ දීම අධිෂ්ඨානයක් ඇති කර ගන්න.

යම් කෙනෙකුට මෙලොවදී ලැබිය හැකි ඉහළම ධනය සතුටයි. තමන් කරන කාර්යය දෙස බලා සතුටු විය හැකි අයුරින් වගකීම් ඉටුකරන්න. ව්‍යාපාරිකයෙක් නම් තම ව්‍යාපාරය ලබන දියුණුව දෙස බලා සතුටු විය හැකි ය. රැකියාවක් කරන්නේ නම් තමාගේ රාජකාරිය දෙස බලා සතුටුවිය හැකි පරිදි කටයුතු කරන්න. යුතුකම් හා වගකීම් නිසි පරිදි ඉටු කිරීම තුළින් ලබන සතුට මුදලට ගත නොහැකි ය. අවංකත්වය පැත්තකට දමා අනියම් මගින් ලබන සතුට ඉක්මනින්ම වේදනාවක් බවට පත්වනු ඒකාන්ත ය.

නූතන තාක්ෂණික ලෝකයේ රූපවාහිනිය ඇතුළු විවිධ මාධ්‍ය තුළින් අතෘප්තිකර ලොවකට ඔබ ගෙනයන්නට උත්සාහ කරයි. ප්‍රචාරක මාධ්‍ය තුළින් පාරිභෝගිකයා දිනා ගැනීමට ගන්නා උත්සාහය හැම පැතිකඩකින් ම දැකගත හැකි ය. මේවා ලබා ගැනීමට රැකියා දෙක තුනකවත් නියැලෙන්නට සිදුවෙයි. මේ අතෘප්තිකර තත්ත්වය මිනිසා ආතතියට පත්කරයි. මේ ප්‍රචාරණවලට වහලෙකු නොවී අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේ පමණක් තෝරාබේරා ගෙන කටයුතු කිරීමට අප සූදානම් විය යුතු ය. අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල දී ගැනීමෙන් ආර්ථිකය කළමනාකරණය කළ හැකි දැයි බලන්න. බොහෝවිට මෙම භාණ්ඩ මිලදී ගෙන ඇත්තේ අවශ්‍යතාවයකට නොවේ. වෙනත් කෙනෙකු ගේ වර්ණනාවකට හෝ ප්‍රචාරක දැන්වීමකට හෝ තම ලොකුකම පෙන්වීමට හෝ වන්නට පුළුවන.

සමහර අයගේ ජීවිතය කාර්ය බහුල ය. තමන්ට කරන්නට බැරි මට්ටමට ව්‍යාපාර අරඹා ඇත. තමන් කරන කුමන හෝ කාර්යයක් ඇත්නම් එය අවුලක් නොවී පහසුවෙන්, හොඳට කිරීමට හැකිවිය යුතු ය. අපට කරන්නට පුළුවන් මට්මට, දිගටම කරගෙන යා හැකි අයුරින්, උසුලාගත හැකි අයුරින් අපේ කාර්ය භාරය සීමාකරගත යුතුයි. මෙය ‘අප්පකිච්ච’ නමින් සඳහන් ය. කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කළානම් එය සාර්ථක මට්ටමකට පැමිණි පසු ඒ හා සම්බන්ධ අනික් කොටසට අතතැබිය යුතුයි. කොයි ක්‍රමයකින් හෝ කරන්න බැරි තරමට වැඩ ගොඩක් පටලවා ගැනීම සියල්ලම අසාර්ථක තත්ත්වයට පත් කරයි. කාර්ය බහුල ජීවන ගමන ආතතියට මගකි. දවස පුරාම මැෂින් එකක් සේ වැඩ කළත් සතුටක් නැත්නම් එබඳු ජීවිතයක ඇති ඵලය කුමක් ද?

ශරීරයට අනවශ්‍ය ලෙස දුක්නොදී අනවශ්‍ය සුඛෝපභෝගී ජීවිතයකටත් පත්නොවී සැහැල්ලුවෙන් මධ්‍යම ප්‍රමාණයේ ජීවිතයක් ගත කරන අයුරු සිතන්න. ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම්, කෑම බීම යාන වාහන අනවශ්‍ය ඉහළ මට්ටමින් පරිහරණය කිරීමට නොසිතා තමන්ගේත්, පවුලේත් අවශ්‍යතා ඉටුවන අයුරින් කටයුතු කරන්නේ නම්, මොනතරම් සැනසිල්ලක් ලබනවාදැයි බලන්න. ඔබේ නිවසට එන අමුත්තන්ට පෙන්වීම සඳහා වටිනා භාණ්ඩවලින් ගෙය අලංකාර කර තැබීම අවශ්‍යදැයි බලන්න. බොහෝවිට ගෙදර අය ඒවා, පරිහරණය කරන්නේ නැත. ඒවා වසා පැත්තකින් තබා ඇත. එකම අරමුණ අන්‍යයන්ට ප්‍රදර්ශනයයි.

අපේ එදිනෙදා ජීවිතයේ දී ඉන්ද්‍රිය පාලනය ඉතා වැදගත් ය. පාලනයක් නැතිව ඉන්ද්‍රියන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ඉඩ සැලසීම අවාසනාවන්ත දුක්බර ජීවිතයකට මං පෙත් විවෘත කිරීමකි. ඇසට පේන රූප පස්සේ ගොස් මොන තරම් ජීවිත අකාලයේ විනාශ වී ඇත් ද? එකිනෙකාගේ ඕපාදූප කතා කරන අය මොනතරම් කාලය නාස්ති කරනවා ද? කේළාම් ඔබේ ජීවිතයට වදයකි. තමන්ටත්, අනුන්ටත් සමාජයටත් අහිතක් නොවන අයුරින් වචන පිටකිරීම ඔබ සතු වගකීමකි.

ඔබ යමක් කරන්න කලින් හොඳට හිතන්න. ගැටලුවක් ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් ස්ථානෝචිතව කටයුතු කරන්න. අතපසුවීම්, වැරැදීම්, අමතකවීම් සිදුවිය හැකි ය. තම කාර්යයන් නිවැරැදිව ඉටුකරලීමට නිපුණත්වය නොහොත් තැනට අවශ්‍ය බුද්ධිය අත්‍යවශ්‍ය ය. මෙහි සඳහන් කළ කරුණු ගැන පුළුල් මට්ටමින් සිතා මේ ලැබූ අවුරුද්ද ඵලදායී වර්ෂයක් බවට පත්කරගැනීමට ඔබ සතු වගකීමකි.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]