UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන්ගේ බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය

බුදුරදුන්ගේ බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය

"දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ."

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගත වුණ නමවෙනි මස එළඹුණ දුරුතු පුන්පොහෝ දින ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදි සිදුවීම් රැසක් දුරතු පුන් පොහෝදා සිදුවී තිබේ.

දුරුතු පුන් පොහොය උදාවීමට පෙර බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප , නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිස වෙත වැඩමවා දහම් දෙසා පැවිදි කළ සේක. එහිදී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට “ආදිත්ත පරියාය” සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත්වු සේක.

ඒ සමඟම දුරුතු පුර පසළොස්වක පොහෝ දා උදාවෙමින් පැවතුණි. මේ කාලයේ මෙම ලංකාද්වීපයේ වාසය කළේ යක්ෂ, දේව හා නාග ගෝත්‍රිකයෝ ය. එදින අලුයම ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේ ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ මහානාග වනෝද්‍යානයේ යුද්ධ කිරීම පිණිස කඳවුරු බැඳගෙන සිටි විශාල යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් දුටු සේක. ඒ අය කෙරෙහිත්, අනාගත ලංකාවාසීන් කෙරෙහිත් අනුකම්පා සහගත වූ බුදුරජාණන් වහන්සේ ඍද්ධියෙන් මහියංගණයට වැඩම කොට මහියංගණ චෛත්‍යය පිහිටන ස්ථානයේ සම්කඩ අතුරා වැඩහිඳ ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා යක්ෂයින් පළවා හැර ලක්දිව සිව් දිගින් පැමිණි සුමන සමන් දෙවියන් ඇතුළු දෙව් පිරිස සරණ සීලයේ පිහිට වූ සේක. එලෙස යක්ෂයින් දමනය කර ගිරිදිවයිනට පළවා හැර, ඒ අවස්ථාවේ දී රැස්වුණා වූ දේව හා නාග පිරිස් තිසරණ ගැන්වීමෙන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ බුදුසසුන පිහිටුවීම පිණිස සිදු විය යුතු මූලික කරුණු රාශියක්ම සම්පූර්ණ කළ සේක.

බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වූ පිරිස අතර සුමන සමන් දෙවියෝ ද වූහ. නිරාමිස සතුටකින් හා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔද වැඩී ගිය සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පැවැත්වීමට සුදුසු පූජා වස්තුවක් ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතු මිටක් ගෙන සුමන සමන් දෙවියන්ට දුන් සේක. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී ම උන්වහන්සේ උදෙසා පුද සත්කාර කිරීම පිණිස පූජා වස්තු ලෙස කේශ ධාතුන් වහන්සේ ලබා දීම කිහිප අවස්ථාවක දී ම සිදු වී ඇති අතර, දුරුතු පුර පසළොස්වක පොහෝදා බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ට ලබා දුන්නේ ද එබඳු පූජා වස්තුවකි.

මහත් ගෞරවයෙන් යුක්තව එම කේශ ධාතුන් වහන්සේ භාරගත් සුමන සමන් දෙවියෝ ඒවා තැන්පත් කොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ සත් රියන් චෛත්‍යයක් කළෝය. ලක්දිව මුල් වරට ඉදිකරන ලද චෛත්‍යය ලෙස සැලකෙන්නේ මෙම චෛත්‍යය වන අතර දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක දී කරන ලද චෛත්‍යය අද මහියංගණ සෑ රදුන් ලෙස ප්‍රකට වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ දී ම ලක්දිව චෛත්‍යය වන්දනාව ආරම්භ වු බවත්, ඒ අනුව මෙරට බෞද්ධයෝ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් බෞද්ධ ප්‍රතිපත්තිය එකල විසූ ගෝත්‍රික ජනතාව අතර පැතිරෙන්නට වු බවත් ය.

මුල් කාලයේ දී ලක්දිව බුදු සසුනේ ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස මෙම මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සැලකිය හැකි බව පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද චිතකයෙන් සරභූ මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ලබා ගෙන එය මහියංගණ චෛත්‍යය තුළ නිධන් කොට සොළොස් රියන් කොට බැඳවීමෙනි. ඉන් අනතුරුව චූලාභය රජතුමා මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ තිස් රියන් කොට බැඳවීය . තවද ලක්දිව බුදුසසුනේ චිරස්ථිතිය පිණිස සටනට ගිය දුටුගැමුණු රජතුමා තම සටන් ව්‍යාපාරය ආරම්භ කළේ මහියංගණ චෛත්‍යය අසූ රියන් කොට බඳවා බුදුසසුන සුරැකීමට කළ අධිෂ්ඨානයක් සමඟම ය.

දුරුතු පුන් පොහෝදා මෙලෙස ලක්දිව බුදු සසුන ස්ථාපිත කිරීම පිණිස මූලික කටයුතු සැකසීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එදින ඍද්ධි බලයෙන් උරුවෙල් දනව්වට ම වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ දහසක් පමණ වූ පුරාණ ජටිල භික්ෂූන් වහන්සේ සමඟ රජගහනුවරට වැඩම කිරීම් ආරම්භ කළේද එ දිනමය. මේ පිරිස එකල දඹදිව කීර්තිමත් ජටිල පිරිසක් වූ අතර, බුදු සසුනේ පැහැදී, පැවිදි වීමෙන් අනතුරුව එතෙක් කලක් මිනිසුන් අතර පැවති මිථ්‍යා විශ්වාස දුරු කර ඔවුන් බුදු සව්වන් කිරීමේ මූලික අභිපාය අනුව මෙම යාත්‍රාව දුරුතු පුන් පොහෝදා ඇරඹිණි. බිම්බිසාර රජතුමා ඇතුළු විශාල පිරිසක් සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කොට බුදුදහමේ අචල ශ්‍රද්ධාවක් ඇති පිරිසක් බවට පත් වූයේද එදා උන්වහන්සේ ආරම්භ කරන ලද මෙම ධර්ම යාත්‍රාව නිසා ය. තවද මුල්ම ආරාම පූජාව සිදු වූයේ ද මෙම චාරිකාව නිසා ය.

කැලණි රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු පෙරහර සිදු කරනු ලබන්නේ ද දුරුතු පුර පසළොස්වක පොහෝ දා බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ ස්ථානයකි කැලණිය. එහිදී උන්වහන්සේ කැලණි ගඟෙන් දිය නා පරිභෝග කළ මැණික් පුටුවද කැලණි චෛත්‍යය තුළ නිදන් කර ඇති බවත්, ඒ උතුම් වැඩම වීම සිදුවූයේ වෙසක් පොහෝ දිනක බවත් සඳහන් වී ඇත. කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ මුල් අවස්ථාව සිහිපත් කරමින් කැලණි රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහර පවත්වනු ලැබේ.

දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ.

අප මෙවර දුරුතු පුරපසළොස්වක පොහෝ දින දාන , ශීල හා භාවනා දී ප්‍රතිපත්ති පූජාවක් සිදු කරමින් අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නියම අනුගාමිකයන් ලෙස නිවන පසක් කිරීමට පිළිවෙතින් පෙළ ගැසෙමු.

 

 දුරුතු පුර පසළොස්වක පෝය 


 දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 01 වනදා සඳුදා පූර්වභාග 11.45 ට ලබයි. 02 අඟහරුවාදා පූර්ව භාග 7.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 1 වනදා සඳුදා ය.

 

මී ළඟ පෝය ජනවාරි 8 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]