UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු නෙතින් දුටුලෝකය

සම්බුදු නෙතින් දුටුලෝකය

ලෝකය තුළ ආගම් විශාල සංඛ්‍යාවක් තිබෙන අතර ඇතැම් ආගම් කිසියම් නිර්මාණයකින් ආරම්භ වෙයි. නිර්මාණයක් තුළින් ආරම්භ වන ආගම් නිර්මාණවාදී ආගම් වශයෙන් හඳුන්වයි. නිර්මාණවාදී ආගම් සහ ස්වභාවධර්මවාදී ආගම් වශයෙන් ආගම් කොටස් දෙකකට වර්ග කළ හැකියි. ස්වභාව ධර්මයත් සමඟ මේ ලෝකය පිහිටි බවත්,මේ ලෝකයෙහි සියල්ල සිදුවන්නේ ස්වභාව ධර්මය හා කර්මානුරූපීවය යන ඉගැන්වීම ස්වභාවධර්මවාදී ආගම් තුළ දැකිය හැකියි. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය පමණක් ස්වභාවධර්මවාදී ආගමක් වශයෙන් සාකච්ජා කළ හැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය තුළ නිර්මාණවාදී අදහසක් ප්‍රකාශ නොවෙයි.

ලෝකයෙහි ආරම්භය පිළිබඳව නොසිතිය යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. උතුම් සම්මා සම්බුද්ධත්වය ලබාගත් උත්තමයෙකු ලෙස තමන් වහන්සේ ඒ පිළිබඳ කරුණු දැනගත්ත ද පෘතග්ජන මානසික තත්ත්වය අනුව සිතා අවසන් කිරීමට නොහැකි නිසා ලෝකයේ ආරම්භය පිළිබඳ නොසිතිය යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ලෝක විෂයය අචින්ත්‍යයි. කෙතරම් සිතුව ද, චින්තාවකින්, සිතිවිල්ලකින් නිම කළ නොහැකි නිසා ආරම්භයක් පිළිබඳ සඳහන් කළ නොහැකියි. ස්වභාවධර්මවාදී ආගමක පවතින විශිෂ්ට ලක්ෂණය එයයි.

ලෝකය ආරම්භවූ ස්ථානයක් පිළිබඳ දේශනා කරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටි අවස්ථාෙවි දී අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කර ඇත.ඊට පෙර පැවැතුන ලෝකය විනාශව ගිය ආකාරයත්,එම ලෝක විනාශ වූ දවසේ සිට නැවත ආරම්භ වූ තැනින් අග්ගඤ්ඤ සුත්‍රය ආරම්භ කර ඇත. ලෝක විෂයය පිළිබඳ නොසෙවිය යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ ද එම හේතුව නිසයි.

වර්තමාන විද්‍යාවේ දියුණුවත් සමඟ විද්‍යාඥයන් ග්‍රහ ලෝක වෙත ගමන් කරමින් සිටිය ද ,තවදුරටත් අලුත් ග්‍රහ ලෝක හමුවන බවත් , තවත් ග්‍රහ ලෝක සොයාගැනීමට පවතින බවත් ප්‍රකාශ කරයි.එහි කෙළවරක් නොමැති බව බුද්ධ විෂයයට වැටහුණත්,සාමාන්‍ය විෂයයට එම තත්ත්වය නොදැනෙයි. ලෝක විෂය පිළිබඳ සෙවිමට බුදුරජාණන් වහන්සේ සතුව විශිෂ්ට ඥානයන් තිබූ නිසාම පළමු ධර්මදේශනාෙවි දීම විජ්ජා උදපාදී , ඤාණං උදපාදී යනුවෙන් වදාළ සේක. විජ්ජා උදපාදී යනු විශිෂ්ට ඤාණයයි. අප ලබන ඥානය ඉන්ද්‍රියන් තුළින් ලබාගන්නා ඉන්ද්‍රිය ඤාාණය යි. විශිෂ්ට ඥානය සැම දෙනාටම පිහිටන ඤාණයක් නොවෙයි. විශිෂ්ට ඥානය හෙවත් අතින්ද්‍රිය ඥානයන් මනස දියුණු කරගැනීමෙන් ම ලැබූවක් වෙයි. පරච්ත්ත විජානන ඥානය , චුතූපපාත ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය වැනි අතින්ද්‍රිය ඥානයන් උපයෝගී කරගනිමින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත.ලෝකයේ බොහෝ ආගම් පැවතුණද කිසිම ආගමික නායකයෙකුට අතින්ද්‍රිය ඥානයන් තිබූ බවට ඒ ආගම්වල මුල් පොත්පත්වලවත් සඳහන් ව නැත.

පුද්ගලයාගේ ජීවිතය තීරණය වනුයේ ඔහුගේ දැනුුම ,ඥානය,ප්‍රඥාව මතයි. යාන වාහන, මිල මුදල් , මුතු මැණික් ,ඉඩ කඩම්, කෙතරම් තිබුණ ද, පුද්ගලයා සතු ඥානය සහ චින්තනය අනුව ඔහුගේ ජීවිතය තිරණය වෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවලදී උන්වහන්සේ සතුව පැවතුන අතින්ද්‍රිය ඥානයන්ගේ දැනුම අපට වදාළ සේක. පෙර භවයන්හි මෙවැනි ආකාරයෙන් ජීවත්ව ඇති බවට වදාළහ. ජීවත්වන පුද්ගලයන් දෙස බලමින් ඔවුන්ගේ යම් යම් ස්වභාවයන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහිම දේශනා කළ අවස්ථා පිළිබඳ සඳහන් ව ඇත.

නිර්මාණවාදී ආගම් ලෝකය දෙස දකින ආකාරයත්,බුදුදහමේ බෞද්ධයන් ලෝකය දෙස දකින ආකාරයෙහිත් වෙනස් ස්වභාවයක් පවතී.

බුදුරජාණන් වහන්සේගේ අතින්ද්‍රිය ඥානය උපයෝගී කර ගනිමින් ලෝකය පිළිබඳව නොසෙවිය යුතු බවට දේශනා කළ එක් කාරණාවක් වෙයි.

පුද්ගලයා අනන්ත අප්‍රමාණ ආත්ම ගණනාවක ඉපදී ඇති බවට බුදු දහමේ සඳහන් වන නිසා පුද්ගලයා ගේ ආත්මයන් පිළිබඳ නොසෙවිය යුතු බවට බුදු දහම අවධාරණය කරන අනෙක් කාරණාවයි. අද ඉපදී ඇති සැම දෙනෙක්ම එක ආත්මයක හෝ ඊට පෙර අනන්ත ආත්ම ගණනාවක ඉපදී ඇති බවත්, තමන්ගේ මනස දියුණු කරගැනීමෙන් පමණක් තමන්ට දැකිය හැකි බවත් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ අනුව බෞද්ධ සම්ප්‍රදායට අනුව අද ඉපදී සිටින සැම පුද්ගලයෙක්ම ඊට පෙර කල්පාන්තර ආත්ම ගණනාවක ඉපදී ඇති බව වටහා ගත හැකියි. එය දැකිය නොහැකියි. තුනුරුවන් පිළිබඳ විශ්වාස කරන බෞද්ධයෙකුට පමණක් එය පිළිගත හැකියි. තුනුරුවන් විශ්වාස කරන පුද්ගලයා බෞද්ධයා වුවත් , තුනුරුවන් විශ්වාස නොකරන පිරිස් ද ඇතැම් විට සිටිය හැකියි. පුද්ගලයාගේ ඉපදීමේ කෙළවර කොතැන ද යනුවෙන් නොසෙවිය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද සාමාන්‍ය පෘතග්ජන මනසකට, පෘතග්ජන සිතකට එවැනි දේ සෙවීමෙන් ඇති ඵලක් නොවන නිසයි. එවැනි ආකාරයෙන් සොයාගෙන ගිය ද වර්තමාන ජීවිතයට එම දැනුම අවශ්‍ය නොවෙයි. වර්තමාන ජීවිතයේ දී තමන්ගේ සිත, කය, වචනය යන තුන් දොර රැකගෙන තමාගේ දියුණුව ගොඩනඟාගනිමින් පොදු සමාජයට උදවු උපකාර කළ යුතු බවට බුදු දහම උගන්වයි. බෞද්ධ සම්ප්‍රදාය තුළ සැම බෞද්ධයෙකු තුළම පවතින විශ්වාසය හා අවසාන අරමුණ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවන් අවබෝධ කරගැනීමයි. තම සිත, කය, වචනය යන තුන්දොරින් සිදුවන යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා නිමා නොවන සංසාර ගමනට එකතු වෙයි. තමන් තුළ ඇතිකරගනු ලබන අවබෝධය ද තමන්ට ඒකරාශී වෙයි. යහපත් දේ කරමින් යහපත් ආකාරයෙන් ජීවත් වන පිරිස යහපත් ආකාරයෙන් නැවත නැවත උප්පත්තිය ලබයි. මනුෂ්‍ය ආත්මයක උප්පත්තිය ලැබුව ද යස ඉසුරින් පිරුණු යහපත් ස්ථානයක උප්පත්තිය ලබයි.එම තත්ත්වයන් දිව්‍ය ලෝක සහ සතර අපායන් තුළින් පැහැදිලි කර ගත හැකියි.

කෙතරම් සැප සම්පත් තිබුණද, ඇතැමුන්ගේ සිතෙහි සතුටක් නොපැවතීම ද අකුසල කර්මයක් වෙයි. සිතෙහි සතුට නැති, කයෙහි සැහැල්ලුව නැති සතර අපායන් පිළිබඳ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාළ සේක.යහපත් දේ කළ විට සංසාර ජීවිතයෙහි සුඛ විහරණයෙන් යුක්තව ගමන් කළ හැකිවෙයි. සිත, කය වචනය යන තුන්දොරින් අයහපත් දේ කළ විට සංසාර ජීවිතයෙහි දුක් විඳිමින් ගමන් කළ හැකියි.සැහැල්ලුවෙන් යහපත්ව සංසාරය ගත කිරීමට පින් කළ යුතු වෙයි. අවබෝධයෙන් කටයුතු කරන පිරිස සංසාර ගමන කෙලවර කර නිවනට සමීප වෙයි. නිවනට සමීප වන ක්‍රියාවන් කුසල් වෙයි.

පින් සහ කුසලය අතර වෙනසක් පවතී. කුසලය යනු තමන් යහපත කළ යුතුය යන චේතනාවෙන් සමාජයට කරන යහපත් වැඩ කුසල් වෙයි. අපවිත්‍ර නරක චේතනාවන් මුල්කරගනිමින් ද සමාජයට යහපත් වැඩ කරයි. යහපත් චේතනාවන් මුල්කරගනිමින් යහපත් වැඩ මෙන්ම යහපත් චේතනාවෙන් කරන අයහපත් වැඩ ද පවතී. අයහපත් චේතනාවෙන් අයහපත් වැඩ ද කරයි.

ඇතැම් චේතනාවන් තුළ වංචනික ධර්ම ප්‍රබලව පවතී.එවැනි ක්‍රියාවන් හිදී කුසලයක් සිදුනොවෙයි . පින සමාජය දෙස බලයි. කුසලය තමා දෙස බලයි. තමාගේ පැත්ත බලන පුද්ගලයා තමාගේ චේතනාව දනී. වෙනත් පුද්ගලයෙකුට ප්‍රකාශ කළ ද එය සත්‍ය චේතනාවම නොවිය හැකියි.ලෝභ, දේවේශය, මෝහ යන තත්ත්වයන්ගෙන් මිදුණ ස්වභාවය කුසලය වෙයි.

නිවන් දැකීමෙන් සංසාර ගමන කෙළවර වෙයි. සැම බෞද්ධයාගේම බලාපොරොත්තුව නිවන් දැකීමයි.

 

වප් මස අමාවක පෝය


වප් මස අමාවක පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.13 ට ලබයි.
20 වනදා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය.


මී ළඟ පෝය ඔක්තෝබර් 27 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]